Gossip

“මම හැමදාම රාත්‍රියේ නින්දට යන්නේ භාවනා කරලා” – කැලිෆෝනියාවේ අණසක පැතිරූ අපේ රටේ කාන්තාව

මහනුවර උපත ලද අයෝමා කරුණාසේන නම් වූ ඇය අධ්‍යාපනය ලැබුවේ මහනුවර මහාමායා බාලිකා විද්‍යාලයේ.
බාලකාලයේ පටන්ම ව්‍යාපාර වෙනුවෙන් ඇගේ පැවැතුනේ පුදුමාකාර ඇල්මක් බැල්මක්. ඒ වගේම ඉවුම්, පිහුම්, මැහුම්, ගෙතුම් වැනි ගැහැණු දරුවෙකුට ගැලපෙන හැම සාස්තරයක් වෙනුවෙන්ම උපන්හපන්කම් පැවැති ඇගේ ව්‍යවසායකත්වය මල්පල ගැනුනේ කැලිෆෝනියාවේදී.
ඇමරිකානු ජාතික වෛරයෙක් සමග විවාහ වුණ ඇය 2000 වසරේ ඇමරිකා එක්සත් ජනපදයේ පදිංචිය ලත් ‘අයෝමා විලන්’ නම් වූ අපේ තරුණිය ‘සයුරේ මුතු ඇටය’ (Pearl of the Ocean) කාබනික ආපනශාලාව තුළින් ඇමරිකා එක්සත් ජනපදයේ ආහාර කලාව අමුතුම රටාවක් වෙනුවෙන් යොමු කිරීමට සමත් වූවා.
මේ නිසාම ඇය 2000 වසරේ ‘කැලිෆෝනියාවේ හොඳම ආපන ශාලාව’ වෙනුවෙන් සම්මානයත්, 2013 වසරේ Best Chefs America award winner in 2013 සම්මානයත් දිනා ගත්තා. ඇමරිකා එක්සත් ජනපදයේ හොඳම සූපවේදිනිය ලෙසින් සම්මාන ලත් ප‍්‍රථම ශ්‍රී ලාංකික කාන්තාව ඇයයි.

මේ අතර ඇය වයින් කර්මාන්තයට අත තිබ්බේ ඉතාම අහඹු විදිහට…අපි ඇයගෙන් ඒ ගැන තොරතුරු ඇසුවා..
“මම හැමදාම රාත්‍රියේ නින්දට යන්නේ භාවනා කරලා. ඒ වගේම අනාගතය පිළිබඳව යම් යම් දේවල් දකින අමුතුම ආකාරයේ හැකියාවක් මට තිබුණා. ඒ
වගේ දකින බොහෝ දේවල් සැබෑ වෙලා තිබෙනවා. මේ අතරේ මම දින කීපයක්ම පිට පිටම එකම හීනයක් දැක්කා. අශ්වයන්
කීප දෙනෙක් මිදි වත්තකට දුව ගෙන යනවා… දින තුනක් එකම විදිහට මේ හීනය දැක්කා.
හතරවැනි දවසේ මම දැක්කා පිරමිඩ වගේ ගොඩ ගහපු මිදි කඳු ගොඩක්. මට තවම මේ හීනය මොකක්ද කියල තේරුනේ නැහැ. ඊළඟට මම දැක්කා මිරිකිලා වැගිරෙන මිදි යුෂ දිහාවට අශ්වයන් දුවනවා. මම කල්පනා කළා මොකක්ද මේ හීනෙන් මට කියන්නේ…එකපාරටම මට හිතුනා වයින් නිෂ්්පාදනයක් කිරීමට..
ඒ වගේම ලංකාවේ ආහාරවලට ගැලපෙන වයින් නිෂ්පාදනයක් කළොත් යන අදහස මගේ හිතට ආවා…

ඒත් ඔබට වයින් නිෂ්පාදනය කරන්න පුළුවන්යැ…?
මගේ ආපනශාලාව කාබනික නිසා කැලිෆෝනියාවේ සුළු පරිමාණයේ ව්‍යාපාරිකයන් කීප දෙනෙක් මගෙන් ඉල්ලා හිටියා ඔවුන්ගේ වයින් මගේ ආපනශාලාවේ විකුණන්න. මම ඒ අයගෙන් ඇහුවා වයින් එකක් නිර්මාණය කරන්නේ කොහොමද…?
කියලා. ඒ් අය මගෙත් එකක් බොහොම හිතවත්. ඔවුන් සුළු පරිමාණයෙන් මිදි මිරිකා ගත් යුෂ අලෙවි කරනවා මිසක මම හිතන මගේ හීනයක් විදිහට ඇති වුණ අපේ ආහාර රටාවට ගැලපෙන වයින් නිෂ්පාදනය ගැන යමක් සඳහන් කරන්න දැන සිටියේ නැහැ. ”වයින් නිෂ්පාදනය වෙනුවෙන් විස්තරාත්මකව පියවර බොහොමයක් තිබෙනවා.” ඔවුන් මට කිව්වා..
මම අන්තර්ජාලයේ විවිධ විදිහට ගවේෂණය කළා. ‘ලෝකයේ ප‍්‍රමුඛතම වයින් නිෂ්පාදකයා…’ ‘ලෝකයේ සම්මානලාභී වයින් නිෂ්පාදකයා’ මේ හැම අවස්ථාවකම අන්තර්ජාලයෙන් පෙරිලා මට ලැබුණ එක නමක් තිබුණා. ඒ තමයි ‘පැට් පොල්සන්’ මම ඔහුගේ නිෂ්පාදන ආයතනයේ දුරකථන අංකයට කථා කළා..
පැට් පොල්සන් සම්බන්ධ කර ගැනීම පහසු කාර්යයක් නොවෙයි.
පැට් පොල්සන් ජාත්‍යන්තර කීර්තිය වගේම සම්මාන ලබා ගත් වයින් නිෂ්පාදකයෙක්. ඔහු ලෝකය වටා වයින් නිෂ්පාදනයට සහ ප‍්‍රදර්ශනය වෙනුවෙන් සංචාරයේ යෙදෙනවා.
මම දුරකථනයෙන් කතා කළාම ඔහුගේ ලේකම්වරිය මගෙන් විස්තර ඇහුවා.
මට ඔහු හමුවීමට අවශ්‍ය බව කීවාම ඔහු නැවත ඇමරිකාවට පැමිණෙන්නේ මාස හයකින් බවත් අවශ්‍ය උදව්වක් ලබා දීමට ඇයට හැකි බවත් කිව්වා. ඒත් මගේ අවශ්‍යතාවය පැට් පොල්සන් හමුවීමනේ..
දැන් මේ ලේකම්වරිය දැන ගත්තා මගේ ආපනශාලාවක් තිබෙන බව. ඇය උත්සාහ ගන්නේ ඔවුන්ගේ වයින් මට අලෙවි කරන්න. කොහොමවත් පැට් පොල්සන් මට සම්බන්ධ කරන්න ඇය කැමැත්තක් නැහැ.
මම පොඩි උප්පරවැට්ටියක් කළා..
මම ආපනශාලාවේ අංකයෙන් කතා කළොත් ඇය දැන් දන්නවා. ඒ නිසා මම ඇයට වෙනත් දුරකථනයකින් කථා කරල මේ විදිහට කිව්වා.
”පැට් මගේ යාළුවෙක්..එයා මාස හයකින් ඇමරිකාවට එනවා කිව්වා…මට වොයිස්මේල් එකට පණිවිඩයක් තියන්න පුළුවන්ද…?” අර කතා කරන අයෝමා මං බව නොදැන ඇය මාව වොයිස් මේල් එකට සම්බන්ධ කළා.
පැට් පොල්සන්ගෙන් ඇමතුමක්…
එක දවසක් මම ආපනශාලාවේ කටයුතු කරද්දී එක පාරටම දුරකථනයේ වොයිස්මේල් හඬ ආවා. සාමාන්‍යයෙන් මම සේවය කරන වේලාවට දුරකථන ඇමතුම් ගැන එතරම් උනන්දු නැහැ. වොයිස්මේල් එක නිසා මම බලද්දී ‘පැට් පොල්සන්..’ ඔහු මට කතා කරල කිව්වා තව දවස් දෙකකින් මම නැවත විදේශගත වෙනවා.අද පුළුවන් නම් දෙකට මාව මුණගැහෙන්න එන්න..
දැන් ඉතින් මොකද කරන්නේ…දෙකට..?තව පැය කීයද…ඒත් මේ අවස්ථාව මග හරින්නත් බැහැ. මම ආපනශාලාව වහලා ටැක්සියක් අරගෙන පැට් පොල්සන් මුණ ගැහෙන්න ගියා..
මගේ විස්තර අනුව ශි‍්‍ර ලංකාවේ කිව්වාම යාන්තම් ලංකාව ගැන මතකයක් තියෙන බවත් ඔහු කිව්වා.
ඇමරිකා එක්සත් ජනපදයේ ධවල මන්දිරයට වයින් නිෂ්පාදනය කරන්නෙත් ඔහු..වැඩි විස්තර කතා කරද්දී ගලපා ගෙන බලන විට 1989 වසරේ එවක ශි‍්‍ර ලංකාවේ ජනාධිපති ජේ. ආර් ජයවර්ධන ඇමරිකා එක්සත් ජනපදයේ සංචාරයක ගිය අවස්ථාවක ඒ වෙනුවෙන් වයින් නිෂ්පාදනය කරල තියෙන්නේ ඔහු… ශ්‍රී ලංකාව ගැන යාන්තමට තිබුනේ ඒ මතකය.
වයින් නිෂ්පාදනය කියන්නේ සරල වැඩක් නොවෙයි..
පැට් පොල්සන් මහතා මට මේ විදිහට කිව්වා…”අයෝමා.. වයින් හදනවා කියන්නේ සුළුපටු වැඩක් නොවෙයි, ඒ වෙනුවෙන් ඩොලර් මිලියන ගණනක් වැය වෙනවා.. කාලයත් ගත වෙනවා. ඒ වගේම ඔබට අවශ්‍ය වෙන්නේ ශ‍්‍රී ලංකාවේ ආහාරපානවලට ගැලපෙන වයින් වර්ගයක් හදන්න. මට ශී‍්‍ර ලංකාවේ ආහාර ගැන කිසිම අවබෝධයක් නැහැ. එහෙමනම් ඔබට පුළුවන්ද මට ඔබේ ආපනශාලාවේ බොජුන් පත්, ආහාර වට්ටෝරු, යොදන තුනපහ වැනි තොරතුරු සේරම තිබෙන පොත් ටික ගෙනත් දෙන්න?”
ආපනශාලාවක් පවත්වා ගෙන ගියාට මට වට්ටෝරු පොත් නැහැ.මම තවමත් උයන්නේ ලංකාවේ ඉද්දී අපේ අම්මා උයපු පිළිවෙලට…
ඒත් දැන් මට වයින් නිෂ්පාදනය කර ගන්න නම් පැට් පොල්සන් ඉල්ලා සිටිය සියලූ විස්තර ලබා දෙන්න ඕන. මම ඔහුගේ ඉල්ලීම් වෙනුවෙන් එකඟ වුණා. මම ආපසු එන්න සූදානම් වෙද්දී ඔහු මට මේ විදිහට කිව්වා..
”අයෝමා මම ඔබව ඉතාම අගය කරනවා.. ඔබ ආවේ හරියට ඉරක් පායනවා වගේ අමුතුම ආලෝකයක් අරගෙන… ඔයා අරමුණක් පිහිටුවා ගත්තා විතරක් නොවයි, අභියෝගයත් බාරගත්තා. මම ඔයාව බෙහෙවින් අගය කරනවා…” ඔහු කිව්වා..
වයින් සිහිනය සැබෑ වෙන්න සූදානම්….
ගමම පැට් පොල්සන් ඉල්ලා සිටි විදිහටම එක් එක් ආහාරය අරගෙන එහි රසය , හදන පිළිවෙල ගැන සටහන් කළා. මේ ආහාර අතරට ආප්ප, පිට්ටු, රොටී, සීනි සම්බල්, පොල් සම්බල්, විවිධ කටගැස්මවල් ආදී අපේ රටේ හැම ආහාරයක්ම ඇතුළත් වුණා. වයින් නිෂ්පාදනයෙන් පසුව එහි අයිතිය මට පැවරෙන නීතිමය ලියවිලිත් අත්සන් කළා.
දැන් කටයුතු සිද්ධ වෙනවා. විදඥයින් සම්බන්ධ වෙලා ඔවුන් ඉල්ලන හැම ආහාරයක්ම මම පිළියෙල කර ගෙන යනවා. සියලූම වර්ගයේ බත්, ලූනු මිරිස්, කොළකැඳ පවා මම අරගෙන ගියා. කොහොම වුණත් අවුරුදු හතරක්ම කැලිෆෝනියාවේ නාපාවැලි ප‍්‍රදේශයේදී අත්හදා බැලීම් සිදු වුණා. වාර 17 ක් අත්හදා බැලීම් කළා. මේ හැම අවස්ථාවකටම මටත් සම්බන්ධ වෙන්න කිව්වා.
දැන් ඉතින් නමක් තියන්න එපායැ..
වයින් නිෂ්පාදනයෙන් පසුව ඒ වෙනුවෙන් වෙළඳපොළට හඳුන්වා දෙන්න නමක් තියන්න එපායැ…වෙළඳ ප‍්‍රවර්ධන කණ්ඩායම එක හඬින්ම කියා හිටියේ ”අයෝමා මේක ඔයාගේ සැබෑ වුණ හීනයක්. මේ වයින් නිෂ්පාදනය පිටුපස තියෙන්නේ ඔයාගේ දැවැන්ත ධෛර්යයයි. ඒ නිසා අපි මේ වයින් වෙනුවෙන් ඔයාගේ නම තියමු.” ඔවුන් යෝජනා කළා.
ඒත් මේ වෙන කොට කැලිෆෝනියාවේ කිසිම වයින් නිෂ්පාදනයක කාන්තා රූපයක් හෝ නමක් යොදා ගෙන තිබුණේ නැහැ. එක්කෝ වයින් වීදුරුවක්…එහෙම නැත්නම් වයින් නිෂ්පාදන ආයතනයේ මුල් අකුරු කීපයක්. ඒත් දැන් ඔවුන්ගේ පෙරැුත්තය වයින් වෙනුවෙන් මගේ නම යොදන්න. කොහොම හරි අවසානයේදී ”අයෝමා රෙඞ් පර්ල්” සහ ”අයෝමා වයිට් පර්ල්” යනුවෙන් මේ නිෂ්පාදනවලට උප්පැන්න සහතික ලබා දුන්නා. වයින් ඇසුරුමක කාන්තාවකගේ රූපය යොදා ගත් මුල්ම අවස්ථාවත් එයයි. ඒකත් වාර්තාවක්. වෙළඳපොලට හඳුන්වා දෙන්න ඉස්සරින් මiසාර මටට්ම, ලේබල් ලියාපදිංචිය වැනි කටයුතු අවසානයේදී 2016 වසරේ මගේ වයින් නිෂ්පාදන වෙළඳපොළට හඳුන්වා දුන්නා.
වයින් හඳුන්වා දුන්නේ ”රෙස්ටොරන්ට් වීක” උත්සව සමයේදී..
2016 වසරේ කැලිෆෝනියාවේ පැවැත්වුණ ‘රෙස්ටොරන්ට් වීක්’ සතියේ මම වයින් වර්ග දෙකම ඉදිරිපත් කළා. මේ වෙනුවෙන් මම පොළොස් යොදා ගෙන සකස් කළ සොසේජස් එකකුත් හඳුන්වා දුන්නා. මේ දෙකටම ඉහළ ඉල්ලූමක් ලැබුණා. ආපනශාලාවේ වයින් පානය කරන අය තවත් බෝතලයක් දෙකක් අරගෙන යන්නත් මිලට ගත්තා.
මෙතැනින් නවතින්නද අදහස…?
නැහැ. දැන් ‘අයෝමා රෙඞ් පර්ල්’ සහ ‘අයෝමා වයිට් පර්ල්’ වයින් වර්ග දෙකේම නීත්‍යනුකූල අයිතිය මටයි. තවත් අලූත් නිෂ්පාදනයක් වෙනුවෙන් දැන් මම යොමුවෙලා ඉන්නවා. ඇමරිකානුවන් ආහාරවලින් පස්සේ අතුරුපසක් විදිහට කෝපි පානය කරනවා. කෝපි යොදා ගත් ‘කැපුචින් වයින්’ නිෂ්පාදනය මගේ මීළඟ නිෂ්පාදනය විදිහට ඉදිරියේදී වෙළඳපොළට හඳුන්වා දෙනවා. එය අතුරුපසක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්.
ශ්‍රී ලාංකික කාන්තාවක් කැලිෆෝනියාවේ වයින් නිෂ්පාදනය කළාට අපේ රටට තවම හඳුන්වා දීම ප‍්‍රමාදයිද..?
”මම ජනාධිපතිතුමාට ‘අයෝමා රෙඞ් පර්ල්’ සහ ‘අයෝමා වයිට් පර්ල්’ වර්ග ප‍්‍රදානය කරන්න දිනයක් ඉල්ලා තිබෙනවා. එහෙම ලැබුණ දිනට මම ශ්‍රී ලංකාවට එනවා. මේ වයින් වර්ග දෙකම ගැලපෙන්නේ අපේ රටේ ආහාරවලටයි. ඒ නිසා අපේ ගුවන් සමාගම් වගේම සංචාරක ව්‍යාපාරයට මේ නිෂ්පාදන හොඳින් ගැලපෙනවා. මේ වයින් රස බලන සංචාරකයින් ඒවා තමන්ගේ රටට යන විට සිහිවටන විදිහටත් රැගෙන යාවි. සංචාරකයින් සාමාන්‍යයන් සිහිවටන විදිහට අරගෙන යන්නේ වයින්. ඒ වගේ අවස්ථාවකදී මේ නිෂ්්පාදන ඔවුන් තෝරා ගනීවි.
කාන්තා ව්‍යවසායිකාවක් විදිහට ඔබේ පණිවිඩය..?
අපි කිසිම දවසක උත්සාහය අත්හරින්න හොඳ නැහැ. වරක් දෙවරක් නොව කිහිප වතාවක් වැටෙන්න පුළුවනි. ඒත් උත්සාහය අත් අරින්න එපා. ඉලක්කය හඹා යන්න. ජයග‍්‍රහණය තිබෙන්නේ එතැනයි.”

උපුටා ගැනීම – දිවයින පුවත්පත

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!