Gossip

මම සුනිමල්ගේ ෆෝන් එකට ගත්තා…බලනකොට එයත් හැප්පිලා – බූස්ස දුම්රිය අනතුරේ සංවේදී කතාවක්

“සුනිමල් මගේ යාලුවෙක්. ඒ අයගේ කට්ටිය ඇක්සිඩන්ට් වෙලා කියලා දැනගත්තහම මම එයාගේ ෆෝන් එකට කෝල් කරා දන්නේ නැතිව. බලන කොට යාලුවත් හැප්පිලා.”

මේ දුක්බර කතාව අසන්නට ලැබුණේ ගාල්ල, බූස්ස ප්‍රදේශයේදී.

ඒ, අද (01) එහි සිදුවූ දුම්රිය – ත්‍රීරෝද රථ අනතුරෙන් පසුවයි.

ගාල්ල, බූස්ස, රිල්ලඹ දුම්රිය හරස් මාර්ගයේදී ත්‍රිරෝද රථයක් අද උදෑසන 11ට පමණ දුම්රියක ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයින් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

දුම්රිය හරස් මාර්ගයේ ආලෝක සංඥා ක්‍රියාත්මක වී තිබියදී මෙම ත්‍රිරෝද රථය දුම්රිය මාර්ගය හරහා ධාවනය කිරීමට උත්සාහ කර ඇති බව පොලීසිය පැවසුවා.

ත්‍රීරෝද රථයේ පිටුපස කොටසේ බෙලිඅත්ත සිට වවුනියාව බලා ධාවනය වූ දුම්රියේ ගැටී විසිවී ගිය අතර ඉන් එගි ගමන් කරමින් සිටි සිව්දෙනා මරණයට පත්විය.

වැල්ලබඩ ප්‍රදේශයේ පදිංචි කාලිංග සුනිමල් ඔහුගේ බිරිඳ, පියා සහ බිරිඳගේ මව මෙම අනතුරින් මරණයට පත්වී තිබුණා.

ඔවුන් ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිනිය හමුවී විශ්‍රාම වැටුපකට අදාළ ලියකියවිලි භාරදී යළි නිවසට යමින් සිටින අතරතුර එම අවාසනාවන්ත සිද්ධියට මුහුණදී තිබුණා.

අසල්වැසි කාන්තාවක්: “අපේ ගේ ගාව ග්‍රාමසේවක මිස් ඉන්නේ. මගේ මහත්තයාට සුනිමල් අයියා සැලුට් එකක් ගහගෙන ආවේ. එයාලා වීල් එකේ ආවේ. පැන්ෂන් කොලයක් අත්සන් කරගන්න ඇවිල්ලා තිබ්බේ.”

අනතුරත් සමග එම ස්ථානයට පැමිණි ප්‍රදේශවාසීන් අනතුරට ලක්වූවන්ව ත්‍රීරිරෝද රථවලින් කරාපිටිය ශික්ෂණ රෝහලට රැගෙනයාමට යුහුසුළු විය.

“ඒ අයව උස්සලා, ත්‍රීවීල් වලට දාලා යැව්වා. නමුත් පස්සේ තමයි දැනගත්තේ හැප්පිලා තියෙන්නේ යාලුවෙක් කියලා. යාළුවගේ ඔලුව පැලිලා තිබුණේ. අම්මයි තාත්තයි එකට වැටිලා හිටියේ. එයාගේ වයිෆ් අපේ වත්ත ඇතුළේ වැටිලා හිටියේ. එයාව දැක්කේ විනාඩි 10කට විතර පස්සේ. මට හිතාගන්න බැරිවුණා මේ මොකක්ද වුණේ කියලා. මම දන්නේ නැතිව කෝල් කරලා තියෙන්නේ යාළුවගේ ෆෝන් එකට. එයාගේ කට්ටිය හැප්පිලා කියන්න. බලනකොට එයත් හැප්පිලා.”

“ගමේ හොඳ මිනිස්සු කට්ටියක්. මෙහෙ වැල්ලබඩ කියන ගමේ ම කට්ටියක්. ඒ අය හාර්ඩ්වෙයා එකක් කළේ.”

අනතුරින් මිය ගොස් තිබුණේ 46 හැවිරිදි කාලිංග සුනිමල්, ඔහුගේ බිරිඳ 48 හැවිරිදි ලසිකා කුමාරි මෙන්ඩිස්, සුනිමල් ගේ පියා 85 හැවිරිදි කාලිංග ජිනදාස සහ සුනිමල්ගේ බිරිඳගේ මව 83 හැවිරිදි මනිමෙල්දුර ඒමිස්හාමි.

අනතුරින් ආච්චි, සීයා, පියා සහ මව මියයන්නේ සුනිමල්ගේ දියණිය නිවසේ තනිකරමින්.

අනතුර සිදුවූ ස්ථානය අවට වෙසෙන පුද්ගලයින් පැවසුවේ මෙම දුම්රිය හරස් මාර්ගය ඉතා අනතුරුදායක ස්ථානයක් බවයි.

ගම්වැසියෙක්: “දවල් කාලෙට මේ ලයිට් හරියට පෙන්නේ නෑ. සමහර වෙලාවට ශබ්දෙත් නෑ. කෝච්චියේ හැප්පුනාට පස්සේ තමයි දන්නේ කෝච්චියේ හැප්පුනා කියලා. අපි ඉල්ලා සිටින්නේ…අපිට බල්බ් ඕනේ නෑ. මෙතනට ගේට්ටුවක් දාලා මේ මිනිස්සුන්ගේ ජීවිත බේරාගන්න ක්‍රමයක් හදලා දෙන්න.”

ගම්වැසියෙක්: “මේක මහ භයානක ස්ථානයක්. මීට පෙරත් අනතුරු ගණනාවක් මෙතැන සිද්ධ වුණා. කලින් අර පොල්ල දාලා තියෙද්දී එහෙම අනතුරු අඩුවුණා. මේ කලර් ලයිට් එක වෙලාවකට පත්තුවෙනවා. වෙලාවකට පත්තුවෙන්නේ නෑ. දවල්ට කොහොමත් ලයිට් එක පෙන්නේ නෑ”.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!