Gossip

“මම විතරයි ගෙදර හිටිය එකම පිරිමියා, ලයිට් සේරම නිවලා දැම්මා, මම ‍පොඩි ටෝච් එළියකින් තමයි මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ගේ ඇතුළට අරගෙන ගියේ”

ජනවාරි 8 මේ රටේ හැමෝටම අමතක නොවන දවසක්.
ඒ නව ආණ්ඩුවක් පිහිටුවා රටේ දේශපාලන වෙනසක් ඇති කළ දවස ජනවාරි 8 විදිහට හුඟදෙනෙක් විශ්වාස කිරීම.
ඊයේ දිනට මේ නව ආණ්ඩුව පත්වෙලා හරියටම වසර තුනක් සපිරුණා.
මීට අවුරුදු 3 කට කළින් ජනාධිපතිවරණ ප්‍රතිඵල නිකුත් වෙමින් තිබියදී වත්මන් ජනාධිපතිවරයා සිටි තැන ගැනත් එම අවස්ථාවේ සිදුවූ සියලු දේ ගැන පුවත්පතක පලවී තිබුණේ මෙලෙසින්.

ඉකුත් ජනපතිවරයණය දා රාත්‍රියේ ‍පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේනගේ ජීවිතාරක්ෂාව පැවැතියේ අනාරක්ෂිතවය. මේ නිසා ඔහු කිසිවෙකුටත් නොදන්වා එදින රාත්‍රිය ගත කළේ කුරුණෑගල දොඩම්ගස්ලන්දේ පිහිටි නිවසකය. එම නිවසේ අයිතිකරු කිරාන් අතපත්තුය. ව්‍යාපාරිකයකු හා ක්‍රීඩා පරිපාලකයකු ලෙස ප්‍රකටව හුන් ඔහුගේ මේ දේශපාලන සබඳතා අප්‍රකටය. බොහෝ කාලයක් මෛත්‍රීපාල සිරිසේනගේ ගමන් සගයා වූ කිරාන් අතපත්තු ජනපතිවරණය දා රාත්‍රී මෛත්‍රී ගත කළ තීරණාත්මක හෝරාව පිළිබඳ රහස් පත්තරයට
මුල්වරට හෙළි කළේ මෙසේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග ඔබේ සම්බන්ධය ඇතිවුණේ මොන කාලයේදීද?
1986 වසරේ සිට මම ශ්‍රී ලංකා නිදහස්
පක්ෂයට සම්බන්ධව වැඩ කටයුතු කරනවා.
ද ඔබ පක්ෂයේ කා සමගද කටයුතු කළේ?
අනුර බණ්ඩාරනායක සමගයි මා වැඩ කළේ. ඒ කාලයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අටදෙනයි. අනුර බණ්ඩාරනායක රාජකීය විද්‍යාලයේ සිටි අයෙක්. ඒ නිසා තමයි මට ඔහු සමග සම්බන්ධ වෙන්න ලැබුණේ. ඔහු දක්ෂ දේශපාලනඥයෙක්. සමහරු ඔහු කම්මැලි අයෙකු කියලා කියනවා. ඒත් ඒක මම පිළිගන්නේ නැහැ. එයා දවසට රැස්වීම් හත අටකට ගිහින් කතා කරනවා. ඔහු දක්ෂ කථිකයෙක්. ඔහු ළග ජරා වැඩ තිබුණේ නැහැ. දුර්වලකමකට තිබුණේ තරමක් මත්පැන් පානය කිරීම පමණයි.

අනුර බණ්ඩාරනායක හඳුනාගත්තේ කොහොමද?
මගේ යාළුවෙක්ගේ මාර්ගයෙන් තමයි ඔහු හඳුනාගත්තේ. අපි එක පාස‍ලේ ඉගෙනුම ලැබූ නිසා අනුර මා දැන සිටියා. අනුර ලංකාව වටේ රැස්වීම්වලට යන විට මම ඔහු සමග ගියා. රණසිංහ ප්‍රේමදාසට විරුද්ධව ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රැස්වීම්වලට මම ඔහු සමග ගියා. උතුරේ රැස්වීම්වලට, දකුණේ රැස්වීම්වලට ගියා. පළමුවෙනි වාහනේ අනුර බණ්ඩාරනායක ගියා. දෙවැනි වාහනේ ගියේ මම. දෙවැනි වාහනය පදවාගෙන ගියෙත් මම. ඒ වාහනේ ගියේ අනුර බණ්ඩාරනායකගේ ආරක්ෂක නිලධාරීන්. මැතිවරණය ඉවර වෙනතුරු මම ඔහු සමග සිටියා.

ඒත් ඒ මැතිවරණයෙන් රණසිංහ ප්‍රේමදාස ජයගත්තා. ඔහුට විරුද්ධව රට වටේ ගියා කියලා ඔබට කරදර වුණේ නැද්ද?
මම සුපුරුදු පරිදි ව්‍යාපාර කටයුතු කරගෙන ගියා.

ජනාධිපති ප්‍රේමදාසට ඔබ සමීප වෙන්නේ කොහොමද?
මම ජනාධිපතිවරණයේදී ප්‍රේමදාස මහත්තයාට විරුද්ධව වැඩ කළත් මගේ ව්‍යාපාර කටයුතුවලට බාධාවක් කළේ නැහැ. මගේ ව්‍යාපාර ක්‍රමයෙන් ඉහළට ආවා. මම ගැන පුවත්පත්වල වාර්තා පළවුණා. මේ කාලයේදී දවසක් තමන් හමුවෙන්න එන්න කියලා ප්‍රේමදාස ජනාධිපතිවරයා මට යහළුවෙකු මාර්ගයෙන් පණිවුඩයක් එවලා තිබුණා. ඒ අනුව මම දවසක් සුචරිතයට ගියා. ඒ වෙලාවේ වීරසිංහ මල්ලිමාරච්චි, ඇලික් අලුවිහාරේ, හැරල්ඩ් හේරත් ඇතුළු ඇමැතිවරු හිටියා. ඔහු මගෙන් ව්‍යාපාර කටයුතු දියුණු කරගත් ආකාරය ගැන විමසුවා.

එක්සත් ජාතික පක්ෂයට එකතුවෙන්න කියලා ජනපතිවරයා ආරාධනා කළේ නැද්ද?
ප්‍රේමදාස ජනාධිපතිතුමා හමුවුණාට මම එක්සත් ජාතික පක්ෂයට ගියේ නැහැ. ජනාධිපතිවරණයේදී ඔයා මට විරුද්ධව වැඩ කළ බව මම දන්නවා කියලා ප්‍රේමදාස මහත්තයා ඒ වෙලාවේ කිව්වා. මගෙන් අවශ්‍ය මොනවාද කියලා ඔහු ඇහුවා. ව්‍යාපාර කටයුතු කරගෙන යාමට වරායෙන් ඉඩමක් දෙන්න කියලා මම ඔහුගෙන් ඉල්ලුවා. ඉඩම පමණයි අවශ්‍ය, කිසිම ණයක් අවශ්‍ය නැති බවත් මම කිව්වා. මට වරායෙන් ඉඩමක් දෙන්න කියලා වරාය සභාපතිවරයාට ඒ වෙලාවේම නියෝග කළා. එහෙම වුණා කියලා මම ඔහු සමග එක්සත් ජාතික පක්ෂයේ දේශපාලනය කළේ නැහැ. මම ප්‍රේමදාස ජනාධිපතිවරයාට ගරු කළා. සුචරිතයෙන් දුප්පත් මිනිස්සුන්ට උදව් කරන විට මම ඒවාට උපකාර කළා. ඒත් මම ඔහු සමග රැස්වීම්වලට ගියේ නැහැ. අපි අතරේ හිතවත්කම පමණයි තිබුණේ.

චන්ද්‍රිකා යුගයේදී ඔබ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන කටයුතුවලට ක්‍රියාකාරීව සම්බන්ධ වූ බවක් අපි දුටුවේ නැහැ. ඒ කාලයේ ඔබ කාටද උදව් කළේ?
මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දාලා ගියේ නැහැ. 1994 වන විට අනුර බණ්ඩාරනායක එක්සත් ජාතික පක්ෂයට ගිහින් තිබුණා. චන්ද්‍රිකාගේ කාලයේදී මම දේශපාලනය කළේ නැහැ.

ඒ ඇයි?
මගේ ආයතනය දියුණු කරන්න ඒ කාලයේදී මම මහන්සි වුණා. ගෙදරිනුත් දේශපාලන වැඩවලින් ඈත් වෙලා ඉන්න කියලා කිව්වා. ඒ වගේම ඒ කා‍ලේ අනුර එක්සත් ජාතික පක්ෂයේ සිටියා. ඒකත් දේශපාලනයට සම්බන්ධ නොවෙන්න හේතුවක් වෙන්න ඇති.
ද මහින්ද රාජපක්ෂ පාලන කාලයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක ඔබේ තිබුණ සම්බන්ධය කුමක්ද?
මම ඒ කා‍ලේදී නැවත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩවලට සම්බන්ධ වුණා. ඒත් කලින් වගේ රැස්වීම්වලට ගියේ නැහැ. හැබැයි මම 2010 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ වෙනුවෙන් වැඩ කළා. ඔහු සමග සිටියා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයා නිසා තමයි මම ඔහු සමග සිටියේ. 2010 මහ මැතිවරණයේදී මම
‍පොළොන්නරුව දිස්ත්‍රික්කයේ නැවතිලා දේශපාලන වැඩ කළා. මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් මම වැඩ කළා.

ඔබට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මුලින්ම මුණගැසෙන්නේ කෙසේද?
මට 2008 වසරේදී තමයි ඔහු පළමුවෙන්ම හමුවෙන්නේ. ඔහු පිහිනුම් සංගමයේ සභාපති ධූරයට පත්වුණා. මම ‍ලේකම් ධූරයට පත්වුණා. ඔහු එම සංගමයේ සභාපති වෙලා ටික කාලයකින් මැතිවරණ ආවා. ඒ මැතිවරණවලදී මම ඔහුත් එක්ක රට පුරා ගියා.

ඔහු රැස්වීම්වලට යන්නේ කොහොමද?
ඔහු රැස්වීම්වලට තමන්ගේ වාහනයෙන් යන්නේ. උදේ අටට වාහනයට නැග්ගාට පස්සේ හවස්වන තුරු වාහනයෙන් තැනින් තැනට යමින් රැස්වීම්වල කතා කරනවා. ගෙදර යන්නේ රෑ දොළහට විතර. සමහර දවසට උදේට කන්නෙත් නැතිව වාහනයට නගිනවා.

රැස්වීම් පැවැත්වෙන දිනවලදී ඔහුගේ ආහාර රටාව වුණේ මොකක්ද?
වාහනයට නගින විට මම ක්‍රීම් ක්‍රැකර් බිස්කට් පැකට් දෙකක් ගන්නවා. ඒ ක්‍රීම් ක්‍රැකර් බිස්කට් කකා තමයි ඔහු රැස්වීම්වලට ගියේ. දවල් දවසට බනිස් ගෙඩියක් කාල තමයි රැස්වීම්වලට ගියේ. දවසක් රැස්වීමක් ඉවර කරලා තවත් රැස්වීමකට යන විට කදුරුවෙල හන්දියේ වාහනය නවත්වලා බනිස් ගෙඩි දෙකක් අරන්දෙන්න කියලා කිව්වා. මම වාහනයෙන් බැහැලා ගිහින් බනිස් ගෙඩි දෙකක් අරගෙන ආවා. ඒ විදියට තමයි ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් කැපවුණේ. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති ධුරය දක්වා ආවේ මේ වගේ දුෂ්කරතාවලට මුහුණදීමෙන් පසුවයි.

ඔබ මෛත්‍රී ගැන මෙතරම් දන්නේ කොහොමද?
මම 2008 අවුරුද්දේ ඉඳලා ඔහුගේ වාහනයේ ගිය මනුස්සයා. වාහනයේ රියැදුරුට වඩා වැඩි වෙලාවක් මම එතුමා සමග වාහනයේ ගිහින් තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ‍ලේකම්වරයා විදියට පක්ෂය ගොඩනැංවීමට ඔහු කළ කැපවීම ගැන මට ‍පොතක් වුණත් ලියන්න පුළුවන්. මෛත්‍රීපාල සිරිසේන
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් කළ කැපවීම මම දන්නවා. ඔහු එක දවසට රැස්වීම් පහළොවක විස්සක විතර කතා කරනවා.
‍පොළොන්නරුව දිස්ත්‍රික්කය කියන්නේ
දුෂ්කර දිස්ත්‍රික්කයක්. එහේ රැස්වීම් තියන එක දෙහිවල එක රැස්වීමක් තියලා මොරටුවේ දෙවැනි රැස්වීම තියනවා වගේ නමෛයි. එක තැනක රැස්වීමක් තියලා දෙවැනි රැස්වීමට කිලෝමීටර තිහ හතළිහක් දුෂ්කර මාර්ග ඔස්සේ යන්න වෙනවා. කැඩුණු පාරවල්වල පරණ ලැන්ඩ් කෲෂර් එකකින් අපි ගියේ. ඇමැතිවරයෙක් ලෙස ඔහු කළ කැපකිරීම් ගැන මට ඕනම තැනකදී බය නැතිව කියන්න පුළුවන්. පක්ෂ මහ ‍ලේකම් විදියට පක්ෂය වෙනුවෙන් වැඩ කළ හැටි මම ඇස් දෙකට දැකලා තිබෙනවා. ඔහු සමග වැඩිම වාර ගණනක් වාහනයේ ගිහින් තියෙන කෙනා මම. 2010 මැතිරණයේදී මෛත්‍රී, මහින්ද රාජපක්ෂ දිනවීමට කොතරම් මහන්සි වුණාද කියලා මම දන්නවා.

2010 ජනාධිපතිවරණයේදී ඔබ මොනවාද කළේ?
මම ඒ කා‍ලේ සුදු අරලියා හෝටලයේ නැවතිලා හිටියේ. පළමුවැනි රැස්වීමේ ඉඳලා අන්තිම රැස්වීම දක්වා මම වත්මන් ජනාධිපතිතුමා එක්ක වාහනයේ ගියා. ජනාධිපතිවරණයේදී පළමු රැස්වීම පැවැත්වුණේ අනුරාධපුරයේදී. ඒ රැස්වීම දවසේ අනුරාධපුර ජනාධිපති මන්දිරයට ගියේ අපි දෙන්නා එකට. මහින්ද රාජපක්ෂ, මර්වින් සිල්වා, කරුණාරත්න දිවුල්ගනේ, වත්මන් ජනාධිපතිතුමා සහ මම එක කෑම මේසේ කෑම කෑවේ.

එතකොට පළාත් සභා මැතිවරණවලදී මොනවාද කළේ?
උතුරු මැද පළාත් සභා මැතිවරණයේදී පළමු රැස්වීම තිබුණේ ‍පොළොන්නරුවේ. උතුරු මැද ඡන්දෙ වෙලාවේ උදේ ඉදලා හවස් වෙනකම් ක්‍රීම් ක්‍රැකර් බිස්කට් එකක් කාලා වතුර බිලා දේශපාලනය කළේ. වාහනයේ අපි යනවිට “කිරාන් බිස්කට් තියෙනවාද?” කියලා ඔහු අහනවා. එවිට මම බිස්කට් පැකට් එක දෙනවා. මම වාහනයට නගින හැම වෙලාවකම බිස්කට් පැකට් දෙකක් අරගෙන තමයි යන්නේ. වෙන අය චොපර්වලින් ඇවිත් රැස්වීමට ඉඳලා යනවා. ඒත් ජනාධිපතිතුමා මහ ‍පොළොවේ පය ගහලා දේශපාලනය කළ අයෙක්.
2012 උතුරු මැද පළාත් සභා මැතිවරණයේදී ඔහු සමග වාහනයේ මාස දෙකක් හිටියා. මම තමයි ළඟින්ම හිටියේ. ඊට පසුව වයඹ පළාත් සභා ඡන්දය ආවා. ඒ වෙලාවෙත් මම තමයි ඔහු සමග වාහනයේ ගියේ. අනෙක් නායකයන් සුපිරි හෝටල්වලට ගිහින් කෑම කන විට ඔහු ‍පොඩි කඩයකින් කාලා රැස්වීම්වලට ගියා. ලොකු ලොකු මුදලාලිලාගේ ගෙවල්වලින්,
අපේක්ෂකයන්ගේ ගෙවල්වල කන්න එන්න කිව්වත් ඔහු ‍පොඩි කඩයකින් කාල යනවා. අපි වයඹ ඡන්දෙ වෙලාවේ කොළඹ ඉඳලා රැස්වීම්වලට යනවා.
නැවත කොළඹ එන්නේ රෑ දොළහට එකට විතර.

මේ ගමන්වලදී අමතක නොවන දේවල් වෙලා නැද්ද?
2012 උතුරු මැද ඡන්දය වෙලාවේදී අරලගන්විල වතුර ටැංකියක් විවෘත කිරීමට නියමිතව තිබුණා. බැසිල් රාජපක්ෂ තමයි ඒක විවෘත කරන්න කොළඹ සිට එන්න නියමිතව තිබුණේ. ඒත් කොළඹට වැහැපු නිසා චොපර් එක එන්න පැය හතරක් ප්‍රමාද වුණා. බැසිල්ගේ චොපර් එක එනතුරු මමත් මෛත්‍රීත් පෙට්ටි කඩයකට වෙලා පැය තුන හතරක් ප්‍ලේන්ටි බිබි බලා සිටියා. රැස්වීම ඉවර වෙලා බැසිල් කෑම සූදානම් කර තිබූ සර්කිට් බංගලාවට ගියා. බැසිල් එක්ක හැමෝම ගියා. මේ රැස්වීමෙන් පස්සේ මෛත්‍රී කෑමට නොගොස් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ උත්සවයකට සහභාගි වෙන්න ගියේ බඩගින්නේ. බුෆේ එකෙන් සුඛෝපභෝගි කෑම කන්නේ නැතිව තමන් එන තුරු බලා සිටි අයගේ රැස්වීමට ඔහු ගියා. අපි එන අතරවාරයේදී කදුරුවෙල හන්දියේදී වාහනය නැවැත්තුවා. බනිස් ගෙඩි දෙකක් ගෙනැත් දෙන්න කියලා මට කිව්වා. මම තමයි ඒ වෙලාවේ බනිස් ගෙනැත් දුන්නේ. එදා ඒ රැස්වීම් ඉවර කරලා එන විට රෑ දොළහ පහුවෙලා.
වයඹ ඡන්දෙ වෙලාවේ රැස්වීම් ඉවර කරලා ආයිමත් කොළඹ එනවා. රැස්වීම් ඉවර වුණාට පස්සේ සුඛෝපභෝගී කෑම වේලවල් තිබුණත් ඒවාට යන්නේ නැතිව කොළඹ එනවා. එන අතරවාරයේදී ඔහු බිරිඳට දුරකථන ඇමතුමක් දීලා සුප් එකක් හදලා තියන්න කියනවා. ඒක තමයි ඔහුගේ රෑ කෑම. ඔහු දේශපාලනය කළේ සුඛෝපභෝගී ජීවිතයක් බලා‍පොරොත්තුවෙන් නොවෙයි. 2013 කුරුණැගල පක්ෂ සංවත්සරයට ගියේ මාත් එක්ක. උදේ ඔහු සම්මේලනය පැවැත්වෙන තැනට ගියා. එතැන වැඩ කටයුතු බලලා දවල් කෑමට සරුකෙත කියන හෝටලයට ගියා. දවල් කාලා “සරුකෙත” හෝට‍ලේ කාර්යාලයේ ඇඳක් දාලා ඔහුට විවේකය ගත කිරීමට මම අවස්ථාවක් දුන්නා. මේ විදියට දුක් වින්දේ
පක්ෂය වෙනුවෙන්. අනික් අය කාලා බිලා කරපු දේවල් අපි දන්නවා. අනික් අය චොපර්වල සංවත්සරට එන විට අපි එතැන ඉඳලා ආවේ. පක්ෂයේ රැස්වීම්වලට යන විට මෛත්‍රී කවදාවත් සුපිරි හෝටල්වලට ගියේ නැහැ. ගමනක් යන විට මුත්‍රා කිරීමට අවශ්‍ය වුණාම වෙන අය යන්නේ සුපිරි හෝටල්වලට. ඒත් මෙයා පාර අයිනේ තියෙන පුංචි තැනකට තමයි ඒ වගේ දේවලට යන්නේ. සමහර දවසකට ඒ වගේ අවශ්‍යතාවක් ඇතිවූ විට පාරේ තියෙන පෙට්‍රල් ෂෙඩ් එකකට යනවා. පසුගිය ජනාධිපතිවරණය දවසේ ඡන්දය දාන්න කොළඹ ඉඳලා ‍පොළොන්නරුවට යන විට ඒ අවශ්‍යතාව ඉටු කරගත්තේත් මැල්සිරිපුර පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ තැනකටයි.

2014 පක්ෂ සම්මේලනයේදී ඔබලා මොනවාද කළේ?
2014 සම්මේලනය තිබුණේ බදුල්‍ලේදී. අපි කලින් දවසේ බදුල්ලට ගියා. පක්ෂ සම්මේලනය අවසන් කරලා අපි දෙන්නාම නැවත ‍පොළොන්නරුවට ආවා.

මෛත්‍රීපාල සිරිසේනට මහින්ද රාජපක්ෂ පාලනය එපා වුණේ ඇයි?
2010 ජනාධිපතිවරණය අවස්ථාවේදී හිටපු ජනාධිපතිවරයා ‍පොරොන්දුවක් දුන්නා. ඒ තමයි මෛත්‍රීට අගමැති ධුරය දෙනවාය කියන දේ. මම සිටි තැනකදී තමයි ඔහු මෛත්‍රීට ‍පොළොන්නරුවේ සිටියා ඇති, දැන් කොළඹ ඇවිත් රටටම නායකත්වය දෙන්න කියලා කිව්වේ. එදා පැවැති රැස්වීමේදීත් ඔහු මේ බව කිව්වා. අපි හැමෝම හිතුවේ ඔහු අගමැති ධුරයට පත් කරනු ඇතැයි කියලයි. පසුව දවසකදී මට මහින්ද රාජපක්ෂ හමුවූ අවස්ථාවකදී මම කිව්වේ අගමැති ධුරය දිය යුතු පුද්ගලයාට දෙන්න කියලයි.

මෛත්‍රීපාල සිරිසේන ‍පොදු අපේක්ෂකයා වන බව ඔබ දැන සිටියාද?
මම දැන සිටියේ නැහැ. ඒත් මොනවා හරි සිදුවෙන බව මට දැනිලා හිටියේ. මොකද මම ඔහුගේ ගෙදරට යන අවස්ථාවලදී විවිධ පුද්ගලයන් ඇවිත් හිටියා. ඒ වෙලාවේ යමක් වෙනවා කියලා මම දැන සිටියා.
ද ඔහු ‍පොදු අපේක්ෂකයා ලෙස තරග කරන බව ප්‍රකාශ කළ දිනයේදී ඔබ සිටියේ කොහේද?
එදා මම කොළඹ හිටියේ නැහැ. ඒත් පහුවෙනිදාම මම ආවා. ඇවිත් ඔහු සමග හැම රැස්වීමකටම ගියා.

පොදු අපේක්ෂකයා ලෙස මෛත්‍රීපාල සිරිසේන ගිය පළමු රැස්වීම ඔබට මතකද?
ඔව්. මාතරදී තමයි ඒ රැස්වීම පැවැත්වුණේ. මමත් ජනාධිපතිතුමත් එකම වාහනයේ තමයි ගියේ. වාහනයේ යන විට මහත්මා ගාන්ධි ගැන ‍පොතක් කියවමින් ගියා. වාහනයෙන් බහින්න කලින් ‍පොත මගේ අතට දීලා කිරාන්, මම ස්ටේජ් එකේ කතාව පටන්ගන්න කලින් මේ ‍පොත මගේ අතට දෙන්න කියලා කිව්වා.

පසුගිය ජනාධිපතිවරණය සමයේදී පැවැති රැස්වීම් අතරින් අභියෝගාත්මක අවස්ථාවන් මොනවාද?
පැල්මඩුල්ල රැස්වීම මට අමතක වෙන්නේ නැහැ. එදා පැල්මඩුල්ල රැස්වීමේදී ගල් ගැහුවා. ජනාධිපතිතුමාගේ ඔළුව යන්තමට බේරුණේ.
එල්ලවුණ ගලක් ආරක්ෂක නිලධාරියෙකුගේ ඔළුවට වැදිලා තුවාල වුණා. එදා ඔහු නතරවෙන්න සිටි හෝටලය වෙනස් කළා. එදා ජනාධිපතිතුමා මරන්නයි හැදුවේ. එදා මම ඔහු නතර වෙන්න සිටි හෝටලයේ සිට ඇල්‍ලේ ඉහළම තිබෙන සෙවන් එජ් හෝටලයට අරගෙන ගියා.

ද ඔබ පසුගිය ජනාධිපතිවරණයේදීත් මෛත්‍රීපාල සිරිසේනගේ වාහනයේ ගිය සගයා. නමුත් ඔබ ව්‍යාපාරිකයෙක්. ඔබට මේවා අභියෝග වුණේ නැද්ද?
මට නොයෙක් තර්ජන තිබුණා. ඇතැම් විට දුරකථන ඇමැතුම්වලින් බලපෑම් එල්ල වුණා. ඒත් අනික් අය වගේ මම ඇඹරුණේ නැහැ. මම ජනාධිපතිතුමා එක්ක එකට ගමන් කළා. ඉස්සර ‍පොලීසියේ රාලහාමිලා තුන්දෙනයි හිටියේ. ජනාධිපති අපේක්ෂකයා වූ විට ‍පොලිස් විශේෂ කාර්ය බළකායේ එක ජීප් එකක් විතරයි දුන්නේ. මහවැලි ආරක්ෂක ඒකකයේ අය එතුමා ළඟින්ම හිටියා.

ජනාධිපතිවරණය සමයේදී ඔබට අමතක නොවන සිදුවීම් තිබුණාද?
මේ ජනාධිපතිතුමා චොපර්වල ගිහින් ජනාධිපතිවරණය ඉල්ලපු කෙනෙක් නමෛයි. ඔහු අන්තිම දවසේ තමයි චොපර් එකකින් ගියේ.

ජනාධිපතිවරණය පැවැත්වූ දිනයේදී ඔබලා මොනවාද කළේ?
ජනාධිපතිවරණයට පෙර දිනයේදී අපි කොළඹ සිට ‍පොළොන්නරුවට ගියා. අපි දෙන්නා එකම වාහනයේ ගියේ. යන විට වාහනයේ ඔහු නිදාගෙන ගියේ. ඒ අතර අපිට දුරකථන ඇමැතුම් ලැබුණා. ඉතාම විශ්වසනීය අයුරින් කිව්වේ හමුදාවේ අය කොළඹට දාන්න යනවා කියලයි. ඒ වෙලාවේ ඔහු නිදන නිසා ටික වේලාවකින් ඇමතුම සම්බන්ධ කරලා දෙන්නම් කිව්වා. ඔහු නැගිට්ටාට පස්සේ ඔවුන් දෙදෙනා දුරකථනයෙන් සම්බන්ධ කරවලා දුන්නා. එදා අපි දඹුල්‍ලේ “පෙරේරා ඇන්ඩ් සන්ස්” එකේ නවත්තලා තේ බිව්වා. තේ බිලා යන විට ඉනාමළුව හරියේදී තමයි ඡන්දේ දාල ඉවර වෙලා අපේ ගෙදර එනවා කියලා කිව්වේ. මට වහාම කුරුණෑගල ගිහින් අවශ්‍ය කටයුතු කරන්න කිව්වා. ඒක කාටවත් කියන්න එපා කිව්වා. ඔහු ඡන්දය දාලා එන්නේ කොහේද කියලා කවුරුවත් දැනගත්තේ නැහැ.

ඡන්දය දවසේ ඔබලා මොනවාද කළේ?
අපිට කරන්න කිසිම දෙයක් තිබුණේ නැහැ. ඡන්දෙ දවසේ පහමාරට හයට විතර දුරකථන ඇමතුමක් ලැබුණා. ඔහු මගෙන් ඇහුවේ කොහේද ඉන්නේ කියලයි. මම කොළඹ ඉන්නවා කියලා කිව්වා. එ අපේ දුරකථන ටැප් කරලා තිබෙන නිසා. ඒ වෙලාවේ ජනාධිපතිතුමත් මම කොළඹ එන්න පිටත් වෙනවා කියලා කිව්වා. ඒ කියන්නේ දොඩම්ගස්ලන්දේ මගේ ගෙදරට එන්න සූදානම් වෙන එක බව මම දැනගත්තා. මමත් සූදානම් පිට හිටියා.

මෛත්‍රීගේ ආරක්ෂාව වෙනුවෙන් මොනවාද කළේ?
අපිට වෙන කිසිම ආරක්ෂාවක් තිබුණේ නෑ. එදා ගෙදරදී ඔහුට තිබුණ එකම ආරක්ෂාව මම විතරයි. වෙන කවුරුවත් හිටියේ නෑ. මම විතරයි ගෙදර හිටි එකම පිරිමියා. ජනාධිපතිතුමා එන්න පැයකට විතර කලින් මගේ බිරිඳගේ සහෝදරයා ගෙදරට ගෙන්වාගත්තා. මගේ ගෙදර කන්දක් උඩ තිබෙන්නේ. ජනාධිපතිතුමා ඡන්දය දවසේ රෑ එනවා කියලා කවුරුවත් දැනගෙන හිටියේ නැහැ. මගේ නෝන විතරයි දැනගෙන හිටියේ. එදා ගෙදර සිටි සේවකයන් හැමෝම ගෙදරින් පිටත් කළා. මගේ ගෙදර ලයිට් දෙසීයක් පත්තු වෙනවා. ඒ ලයිට් සේරම නිවලා දැම්මා. ඔහු වාහනයෙන් ආවා. වාහනයෙන් බහින තැන ඉඳලා ටික දුරක් ගේ ළඟට යන්න පයින් යන්න වෙනවා. මම ‍පොඩි ටෝච් එළියකින් තමයි මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ගේ ඇතුළට අරගෙන ගියේ.

එතකොට ඔහුගේ පවු‍ලේ අය?
ඔහු ඇවිත් විනාඩි දහයකින් විතර තවත් වාහනයක් ආවා. ඒ වාහනයේ ආවේ ඔහුගේ බිරිඳ. ඇය කාර් එකෙන් බැහැලා මිස්ටර් කිරාන් ඔයා මේ රහස මගෙනුත් හැංගුවා කියලා කිව්වා. පසුව දූවරුන් හා පුතාත් ආවා.

ඔබේ නිවසට පැමිණි මෛත්‍රී මොකද කළේ?
ඔහු බොහෝම සැහැල්ලුවෙන් හිටියා. ඒ වන විටත් ජනාධිපතිවරණය ජයගෙන ඇති බව ඔහු දැන සිටියා. කිසිම දුරකථන ඇමතුමකට උත්තර දුන්නේ නෑ. රෑ නමයහමාරට විතර කෑම කාල මගේ කාමරයේ නිදාගත්තා. ඡන්ද ප්‍රතිඵල ඇහුවේ මමයි, ජනාධිපතිතුමාගේ පුතයි, බෑනයි. ඔහු නින්දට ගියේ තමන් මැතිවරණයෙන් ජයගෙන බව දැනගෙනයි. ඔහු නැගිට්ටේ උදේ හතරට විතර. උදේ පාන්දර රනිල් වික්‍රමසිංහ ඔහුට දුරකථන ඇමතුමක් දුන්නා.

එතකොට මහින්ද රාජපක්ෂ කතා කළේ?
උදේ පහට විතර මහින්ද රාජපක්ෂ කතා කළා. ඒ වෙලාවේ මම ළඟ හිටියේ. මහින්ද රාජපක්ෂ ඔහුට සුබ පැතුවා. ඒ වෙලාවේත් ඔහු මහින්ද රාජපක්ෂට කතා කළේ සර් කියලා. තැන්කියු සර් කියලා සුබපතන විට කිව්වා. ඔහුට සර් කියන්නේ නැතිව ඉන්න තිබුණා. ඒත් නිහතමානීව සර් කියලා කතා කළා.
ඉන් පසුව උදේ තේ බිලා අට වන විට නිවසින් පිටත් වෙන්න ඕන කියලා කිව්වා. උදේ හතට කිරිබත් කාලා අපි දෙන්නාම උදේ අටට ගෙදරින් පිටත් වුණා.

කොළඹදී මොකද කළේ?
කොළඹ ගෙදරට ඇවිත් විනාඩි පහක් විතර ඉඳලා මැතිවරණ ‍ලේකම් කාර්යාලයට ආවා. පසුව මම නැවත දොඩම්ගස්ලන්දට ගියා. දිවුරුම් දෙන වෙලාවේ මම මගේ ගෙදර හිටියේ.

ඔබට ජනාධිපතිතුමා තනතුරක් දෙන්න කතා කළේ නැද්ද?
ටික දවසකින් ජනාධිපතිතුමා මට කතා කළා. දැව සංස්ථාවේ සභාපති ධුරය ගන්න කියලා කිව්වා. ඒත් මම ඒ තනතුර ගත්තේ නැහැ. මගේ කේෂ්ත්‍රය වන්නේ මාර්කටිං ක්ෂේත්‍රයයි. ඒ නිසා තමයි එය භාරගත්තේ නැත්තේ. පසුව සතොස සභාපති ධුරය දුන්නා. මම එය භාරගත්තා. සතොස සභාපතිව සිටියදී එම ආයතනය ලැබූ පාඩුව අවම කළා. පසුව මම අසනීපව රෝහල් ගත කළ අවස්ථාවේදී සතොස සභාපති ධුරයෙන් මම ඉවත් කර තිබෙනවා.

ජනාධිපතිතුමා හමුවෙලා ඔබට තනතුරක් ඉල්ලාගන්න පුළුවන් නේ?
දැන් අපි වයසට ගිහිං නේ ඉන්නේ. ඒත් ජනාධිපතිතුමා එක්කම තමයි මම පසුගිය මැයි දිනයේත් ගාල්ලට ගියේ.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!