Gossip

“මම බොහොම ඉවසීමෙන් බලා සිටි නිසාම මම බලාපොරොත්තු වුණු කෙනෙක් මට ලැබුණා” – යුගදිවියට පා තැබූ ජනප්‍රිය ගායන ශිල්පිනී දීපිකා ප්‍රියදර්ශනී හඬ අවදි කරයි

ආදරය කියන්නේ මහ පුදුමාකාර ජීවිත පෙරළියක් ඇති කරන ළයාන්විත හැඟීමක්.
ඒ හැඟීම ප්‍රතික්ෂේප කරලා ජීවත්වෙන්න හැඟීම් දැනීම් තියෙන කවුරුත් උත්සාහ ගන්නව තියා හිතන්නෙවත් නැහැ. ඒක තමයි ඇත්ත. ඒක තමයි යථාර්ථය.
මිනිස්සු හැටියට අපි හැමෝම ආදරය හොයනවා. ආදරය පතනවා. ඒ වගේම ආදරය විඳිනවා.
ඒත් සමහර වෙලාවට ඒ ආදරය අපි හිතන පතන වෙලාවටම හම්බ වෙන්නෙත් නැහැ. ප්‍රමාද වෙනවා.
දීපිකා ප්‍රියදර්ශනි කියන ආදරණීය ගායිකාවත් පසුගියදා අලුත් ජීවිතයක් පටන් ගත්තා.
මේ ඒ ගැන සතිඅන්ත පුවත්පතක ලියවී තිබූ ලිපියක්.

” මම ආදරය ගැන හුඟාක් ගීත ගායනා කරල තියෙනවා. ඒ ගීත ඇතුළේ මම බොහෝවිට ආදරය විඳල තියෙනවා.. ඒ වගේම ගොඩාක් දෙනෙක් මගේ හඩින් ගැයුණු ආදර ගීත ගැන කතා කරල තියෙනවා..”
” අද මම ඒ ආදරය හැබෑවටම විඳිනවා.. ඒ ආදරය මට ලැබෙනවා.. කාලයක් පුරාවට ඉවසීමෙන් බලාපොරොත්තු වුණු දේ අද මට හිමි වී තියෙනවා..”
දීපිකා ආදරණීය විදියට අපිත් එක්ක කියනවා. ඒ වචන හැසිරවීම් නම් හරිම ලස්සනයි. හැඟුම්බරයි.

දීපිකාට මේ ආදරය උරුම කර දුන් ඉරණම්කාරයා මුණගැහුණේ කොහොමද..?
” චාමිකව මම මුලින්ම හඳුනගන්නේ ගීත රචකයෙක් විදියට.. මම ඒ ගීතය ගායනා කරන්න භාර ගත්තට පස්සේ අපි නිතර කතා කරනවා..
අදහස් හුවමාරු කරගන්නව.. ඔන්න ඔය යාළුකම තමයි අපි අතර බැඳීමක් ඇතිවන තත්ත්වය දක්වා ගමන් කරන්නේ..ඊට පස්සේ අපි අපේ වැඩිහිටියන්ට මේ ගැන කියනවා.. ඒක ඇත්තටම මහ පුදුමාකාර කතාවක්..,”
දීපිකා කවදත් යහපත් දේ කතා කරන කෙනෙක්..ඒ වෙලාවට ඇගේ මුහුණේ ඉරියව්වල පවා ආදරණීය ස්වරූපයක් ගන්නවා. අදත් එහෙමයි.
ආදර කතාව පටන් ගන්න කොටම ඇය මේ පිළිබඳව මුලින්ම කිව්වේ ප්‍රවීණ ගීත රචකයකු වූ නැසීගිය ධර්මසිරි ගමගේ මහතාගේ නැඟණිය ලතා ගමගේ මහත්මියට.
ඒ ඇය දීපිකාලගේ පවුලේ ළඟම හිතවතියක් නිසා.
‘මගේ අම්මා ඉන්නේ හුඟාක් අසනීපෙන්… ඒ නිසාම තමයි මම ලතා ගමගේ මහත්මියගේ උදවු පැතුවේ..ඇය ඊට මැදිහත් වුණේ අම්මා කෙනෙක් වගේ..,”
ඔය විදිහට දීපිකාගේ අලුත් ජීවිතේ හැමදේම ලස්සනට පිළිවෙළට සිදුවුණා..ඒ අනුව තමයි විවාහය සිදුවන්නේ..ඒ වගේම පසුගිය 27 වැනිදා විවාහ ලියාපදිංචි කරන උත්සවය පවා අපූරුවට සිදුවුණේ.
“මම බොහොම ඉවසීමෙන් බලා සිටි නිසාම මම බලාපොරොත්තු වුණු කෙනෙක් මට ලැබුණා.. පසුගිය කාලය පුරාවටම මම බලාසිටියේ නියම වෙලාවට මට නියම ආදරයක් ලැබේවි කියන සිතිවිල්ලෙන්..ඒක මට ලැබුණා.. මම ආදරයට හුඟාක් ආදරය කරන කෙනෙක්..ඒ නිසාම ඒ ආදරයට මම හදවතින්ම ආදරය කරනවා..,”
“මගේ අම්මා හැම වෙලාවෙම මගෙන් ඇහුවේ “ඔයා කසාද බඳින්නේ නැද්ද ළමයෝ” කියලා.. එයා ඒ සතුට මගෙන් බලාපොරොත්තු වුණා.. ප්‍රාර්ථනා කළා.. අද මම ඒ සතුට ඇයට දුන්නා..මම වැඩියෙන්ම සතුටු ඒ ගැන..”
දීපිකා ආදරණීය විදියට කියනවා.
දීපිකාගේ අතගත්ත මනාල මහත්තයා වෘත්තියෙන් බැංකු නිලධාරියෙක්..මේ වෙද්දි කටාර් රටේ තමයි සේවය කරන්නේ. ඒවගේම ඔහු සංගීතයට බෙහෙවින් ළැදි පවුලක කෙනෙක්.. මාරවිල ප්‍රදේශයේ තමයි පදිංචිය.
“ඒ පවුලේ අයත් බොහොම ගූණ යහපත් උදවිය..ඇත්තටම මට අද ඒ පැත්තෙනුත් තියෙන්නේ ලොකු සතුටක්..”
දීපිකා නැවත කිව්වේ අර සුපුරුදු ආදරණීය සිනහව මතු කරමින්.
ගැහැනියකගේ ජීවිතේ ලස්සනම දවස තමයි ඇගේ විවාහය. දැන් ඒ දවසට ගැහැනියක් විදියට දීපිකාත් සූදානම් වෙනවා. ඒක ඇත්තටම අර අපි කලින් කිව්ව වගේ ආදරණීය අත්දැකීමක්.

උපුටා ගැනීම – මව්බිම පුවත්පත

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!