Gossip

මම බෙනට් රත්නායක මහත්මයාගේ නිර්මාණවලට පෞද්ගලිකව ගොඩක් කැමතියි-අමිල කරුණානායක

පාතාල චරිතයේ රංගන අත්දැකීම කොහොමද?
මම මුලින් පාතාලයේ හිටියට පසුව මගේ ස්වරූපය වෙනස් කරගෙන මිනිසුන්ට හඳුනාගන්න බැරි විදියට ඇවිල්ලා මගේ අතින් වැරදි වුණු මිනිසුන්ට උදව් කරනවා. ඒ මම පාතාලේ ඉද්දි සිදුවුණු හදිසි අනතුරක් නිසා. එහිදී මම හිතනවා මෙතැනින් ඉවත්වෙන්න ඕනෑ කියලා. ජීවත්වෙන්න ඕනා නිසා පාතාලෙ වැඩවලට සම්බන්ධ වෙලා හිටියට රාමා කියන්නෙ ඇතුළෙන් හොඳ මනුෂ්‍යයෙක්. ඉතින් මේ චරිතයත් මට ලැබුණු වෙනස් චරිතයක්. මීට පෙරත් දුෂ්ට චරිත ඉදිරිපත් කරලා තියෙනවා. නමුත් මේ ටෙලිනාට්‍ය ඊට වඩා වෙනස්. මොකද මේ එකම ටෙලිනාට්‍යයේ විවිධාකාර විදියෙ චරිත රංගනයක් ඉදිරිපත් කරන්න තියෙන්නෙ. ඇත්තටම මම ගොඩක් කැමතියි මේ රංගනයට. එක තැනකට කොටුවෙන්නෙ නැතිව මේ විදියෙ රංගනයන් ලැබෙනවනම් ගොඩක් හොඳයි.

එකම කතාවක චරිතය තුන් ආකාරයකට කිරීමේ අපහසුවක් තියෙනවද?
මෙහිදී මුලින්ම පාතාලයේ සිදුවීම් රූපගත කරද්දී බයික්වලින් දාන පොඩිපොඩි වැඩ ටිකක් තිබුණා. එහිදී මේ නිෂ්පාදන කණ්ඩායම මුලින්ම තීරණය කරලා තිබුණෙ ඒ දේවල්වලට වෙනත් කෙනෙක් යොදවා ගන්නවා කියලා. නමුත් මට ඉස්සර ඉඳන්ම ඒ වගේ ත්‍රාසජනක වැඩ ටිකක් කරලා පුරුදුයි. ඒ නිසාම නිෂ්පාදන කණ්ඩායම තීරණය කළා ඒ දේවල්වලට මාවම සම්බන්ධ කරගන්න. මම කොහොමත් පාසලේදිත් මලල ක්‍රීඩා කළා. ඒ නිසා දුවන්න පනින්න දක්ෂතාවයක් තිබුණා.ඒ නිසා බයක් නැතිව ඒ අභියෝගයත් භාරගත්තා. පොඩි අපහසුතාවයක් තිබුණත් බෙනට් රත්නායක මහතාගේ අධ්‍යක්ෂණය යටතේ ගොඩක් දේවල් එතුමාගෙන් අහගෙන අවශ්‍ය විදියට කරගෙන ගියා. අද වෙද්දී ඉතින් බොහෝ දෙනෙක්ගෙන් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මොන අපහසුතා මැද හරි මේ දේවල් කරගෙන ගියත් ලැබෙන ප්‍රතිචාර ගැන සතුටක් තියෙනවා.

අමිල පුංචි තිරයට වඩා සිනමාවට නේද වැඩි දායකත්වය. ඉතින් ඇයි ටෙලි නිර්මාණයකට එන්න හිතුවේ?
ඔව් ඇත්තටම කැමති සිනමාවට. නමුත් මම මේ ටෙලිනාට්‍යයට දායක වුණේ බෙනට් රත්නායක මහත්මයා නිසා. මට මුලින්ම පෝරිසාදයා චිත්‍රපටයෙ රූගත කිරීම් කරද්දි බෙනට් රත්නායක මහත්මයාගේ පුතා උදාර රත්නායක මුණ ගැහෙනවා. එහිදී තමයි මේ ටෙලිනාට්‍යයට ඔහු මගේ නම යෝජනා කරලා තියෙන්නේ. ඉතින් නොහිතපු වෙලාවක මට මේ වෙනුවෙන් ඔහු දුරකථන ඇමතුමක් ලබා දෙනවා. මම බෙනට් රත්නායක මහත්මයාගේ නිර්මාණවලට පෞද්ගලිකව ගොඩක් කැමතියි. විශේෂයෙන්ම ‘‘අස්වැසුම’’ චිත්‍රපටයට. ඉතින් මම මෙය ටෙලිනාට්‍යයක්ද චිත්‍රපටයක්ද කියන දේ ගොඩක් හිතුවේ නැහැ. කොහොමත් මම මෙගා ටෙලිනාට්‍යවලට සම්බන්ධ වෙන්න නම් කිසිම කැමැත්තක් නැහැ. ඒ සිනමාවෙන් ලොකු ගමනක් යන්න බලාපොරොත්තු වන නිසා. නමුත් මේ වෙනුවෙන් සම්බන්ධ වුණේ බෙනට් රත්නායක මහතාගේ අධ්‍යක්ෂණයක් වීමත් සහ කොටස් 40 ක් වීමත් නිසා.

ඊට අමතරව මේ දිනවල නියැළෙන නිර්මාණ කටයුතු?
නිරෝෂන් ඉලේපෙරුම මහත්මයා අධ්‍යක්ෂණය කරන ටෙලි නිර්මාණයට දායක වෙලා ඉන්නවා. ඒ නිර්මාණයත් සීමිත කොටස් සංඛ්‍යාවක් නිසා. ඊට අමතරව මේ වෙද්දි රංගනයෙන් දායක වුණු චිත්‍රපට 3ක් අවසන් කරලා තියෙනවා. ඒ වගේම ඉදිරියෙදිත් තව නිර්මාණ කිහිපයකට ආරාධනා ලැබිලා තියෙනවා. ඒවයේ රූගත කිරීම් ඉදිරියේදී සිදුවෙයි.

අද රංගන ශිල්පියෙක් විදියට ඉන්න තැන ගැන මොකද හිතෙන්නෙ?
ඇත්තටම රංගන ශිල්පියෙක් වෙන්න ඕනැ කියන දේ ගැන මට ලොකු අරමුණක් තිබුණා. නමුත් මම ක්ෂේත්‍රයට එන්නෙ නිරූපණ ශිල්පියෙක් විදියට ‘‘ඵර ශ්‍රී ලංකා’’ ජයග්‍රහණය කරලා.නිරුපන ක්ෂේත්‍රයේ තමයි වැඩි දෙයක් කරගෙන හිටියේ. නමුත් නොහිතපු විදියට රංගන ශිල්පියෙක් වෙන්න අවස්ථාව ලැබුණා. ඒ ගැන ගොඩක් සතුටුයි. දැන් මගේ ලොකු බලාපොරොත්තුවක් තියෙන්නේ රංගනයෙන් ඉදිරියට යන්න. ඉතින් එකම චරිතයකට කොටු නොවී විවිධාකාර චරිත ඔස්සේ තවත් ගොඩක් දේවල් ඉගෙනගෙන ක්ෂේත්‍රයේ හොඳ නමක් තියාගෙන හොඳ නිර්මාණවලට සම්බන්ධවෙලා ඉදිරියටම යන්න තමයි හිතන්නේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!