Gossip

“මම කෙළින් කතා කරන කෙනෙක් – මගේ නිදහස් කාලය වෙන්කර ගෙන තිබෙන්නෙ දේශපාලනයටයි” – ජගත් මනුවර්ණ

මනුවර්ණ මේ දවස්වල කලා තොරතුරු ගැන මුලින්ම සඳහන් කළොත්?
නව නිර්මාණකරුවන් කීප දෙනෙකුගේ චිත‍්‍රපටවලට පසුගිය කාලයේදී දායකත්වය ලබා දුන්නා. එයින් මලික් හෑගොඩ අධ්‍යක්‍ෂණය කළ ‘‘දැකලා පුරුදු කෙනෙක්’’ තිරගත වෙනවා. ඊට අමතරව චන්ද‍්‍ර වීරමන්ගෙ ‘‘ආයු’’ තිරගත වීමට නියමිතයි. ඊට අමතරව දෙයියන්ගෙ රටේ සහ පූරි ටෙලිනාට්‍ය ද්විත්වයේ රඟපෑවා. තවත් නාට්‍ය 10ක් 15 ක් විතර විකාශයට පෙළගැසී තිබෙනවා.

‘‘ගින්නෙන් උපන් සීතල’’ ගැන කතා කරමු. එහි ගමනායක චරිතය ගැන කොහොමද හිතන්නෙ?
විශේෂයෙන්ම මෙම සිනමා නිර්මාණය සඳහා දායකව සිටින රංගන ශිල්පි පිරිස ගැන පළමුව කතා කළ යුතුයි. සිනමාවේ සිටින සැබෑ දක්‍ෂ ප‍්‍රවීන පිරිසක් තමයි මෙහි රඟපාන්නෙ. නිර්මාණයකදී මට ලැබුණු විශාලතම පිරිස මෙයයි. මෙහි කතාව සහ එහි දේශපාලන ඉතිහාසයට ආදරය කරන කෙනෙක් මම. ඒ නිසා මේ චරිතය මම ආදරයෙන් කළා. මෙහි තිබෙන්නෙ මම ආදරය කරන චරිත. ඒ චරිතවලට දායක වූ පිරිසට මම ආදරෙයි. කොහොම වුණත්, මගේ රඟපෑම ගැන පේ‍්‍රක්‍ෂකයා තීරණය කරාවි. මෙම චිත‍්‍රපටයේ මේ නළු නිළි පිරිස සමග රඟපෑම මට ගෙන දුන්නෙ අමුතුම අත්දැකීමක්.

මෙච්චර ආසාවෙන් කතා කරන මේ චරිතය රඟපාද්දි මතකයේ රැඳී අවස්ථා සිහිපත් කළොත්?
‘‘ගින්නෙන් උපන් සීතල’’ සෑම දර්ශනයක්ම මට විශේෂයි. රූගත කරන්න දර්ශන තලයට ගියාම අපට ලොකු කාලයක් ගත කරන්න සිදුවුණා. දවසකට දර්ශන එක දෙකක් විතරයි රූගත කළේ. ඒ නිසා චරිතය සඳහා සූදානම් වීමට ලොකු කාලයක් අපට තිබුණා. කැමරා අධ්‍යක්‍ෂණය කළ ධනුෂ්ක ගුණතිලක සින්ගල් ෂොට්ස්වලට තමයි වැඩිපුර ගියේ. ඒ නිසා ඒ දර්ශනයට පෙනී සිටීම වෙනුවෙන් බොහෝ පුුුහුණු වීම් කළා. මේවා ඔක්කෝම හොඳ මතකයන්.

ප්‍රේක්ෂකයකු වී මෙය නරඹද්දී ඔබට මේ චිත‍්‍රපටය දැනෙනවාද? ඔබ මෙය විඳින්නෙ කොහොමද?
විජේවීර සහෝදරයාගේ චරිතය අළලා විවිධාකාරයෙන් නිර්මාණ කළ හැකියි. මෙහි ඔහුගෙ චරිතය වටා තමයි සෙසු චරිත ගලා යන්නෙ. අනුරුද්ධ මෙහි ප‍්‍රධාන චරිතය ලෙස විජේවීර චරිතය මූලික කර ගෙන මෙය නිර්මාණය කර තිබෙනවා. ඒක ඔහු දුටු මානයක්. ඒ වගේම තව කෙනෙකුට ඕනෑ නම් 71 සහ 89 සිදුවීම් අළලා නිර්මාණය කරන්න පුළුවනි. නමුත් මෙහි අනුරුද්ධ දුටු විජේවීරට මම හරි කැමතියි. මේ චිත‍්‍රපටයට සහ එහි චරිතවලට ප්‍රේක්ෂකයින් විශාල වශයෙන් ඇළුම් කරන වග පෙනෙනවා.

මනුවර්ණ සැබෑ ජීවිතයේදීත් විප්ලවකාරයෙක් වගෙයි අපට පෙනෙන්නෙ? ගමනායකව ඔබ දකින්නෙ කොහොමද?
මම සැබෑ ජීවිතයේ ඔහු දැකලා නැහැ. ඔහු මිය යන විට මා කුඩා දරුවෙක්. මා කියවපු මා ඇසූ ගමනායක කියන්නෙ එළියට නෑවිත් සැඟව සිටි ව්‍යාපාරයට විශාල කැපකිරීමත් කළ සහ විශාල දායකත්වයක් ලබාදුන් චරිතයක්. ඔහු පිළිබඳව තොරතුරු සොයා ගැනීම හරිම අසීරුයි. මා කියවා සොයාගත් සහ මා දුටු දේ නිර්මාණයට එක් කරන්න උත්සාහ ගත් විදිය සැබෑ ගමනායකට වඩා වෙනස් විය හැකියි. ලතින් ඇමෙරිකානු සිනමාකරුවකු වන හසලි ගාර්ෂියා බර්නල් ‘චේ ගුවේරා’ අළලා ‘ද මෝටර් සයිකල් ඩයිරීස්’ නමින් චිත‍්‍රපටයක් කළා. ඔහු ඊට වෙනස් අර්ථ කථනයක් දුන්නෙ. ඒ එක් උදාහරණයක්. ඒ විදියට ගත්තාම මම මෙහිදී මට ලැබුණු ගමනායක චරිතයට දුන්නෙ වෙනස් හැඩයක්. ගෙඩිය පිටින් ගමනායක වෙන්න මම ගියේ නැහැ. එහෙම කරන්න ගියා නම් මම අසාර්ථකයි.

මේ සියල්ලට අමතරව ඔබගේ සැබෑ ජීවිතය ගැන කිව්වොත්?
වෘත්තීය රංගන ශිල්පියෙක්. ඊට අමතරව රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන ශිල්පියෙක්. ඊට අමතරව දේශපාලන ක‍්‍රියාකාරිකයෙක්. මගේ නිදහස් කාලය වෙන්කර ගෙන තිබෙන්නෙ ඒ දේශපාලනයටයි. මේ සියල්ලට අමතරව වසර දෙකක කාලයක සිට මා අධ්‍යක්‍ෂණය කළ ‘‘මෘග සන්නිය’’ චිත‍්‍රපටයේ පසු නිෂ්පාදන කටයුතුවල යෙදී සිටිනවා.

ඇත්තටම ‘මනුවර්ණ’ කවුද?
ඒකට උත්තරයක් දෙන්න ලෙහෙසි නැහැ. මටත් හිතාගන්න බැහැ මා සම්බන්ධව ගවේෂණයක් මා කරලා නැහැ. කොහොම වුණත් මම කෙළින් කතා කරන කෙනෙක්. එතැනින් එහාට සඟවා ගෙන යමක් කතාකරන කෙනෙක් නෙවෙයි. මගේ මතුපිටින් පෙනෙන දේ තමයි ඇතුළාන්තයේ සිටින මම.

උපුටා ගැනීමකි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!