Gossip

“මම කියන්නේ කිසි කෙනෙකුට මම වගේ වෙන්න හදන්න එපා කියලා” – කුමාර් සංගක්කාර

කුමාර් සංගක්කාර කියන්නේ තවමත් හැමෝගෙම හදවතේ සිටින ක්‍රිකට් ක්‍රීඩකයෙක්. සංගක්කාර මේ දවස්වලනම් ඉන්නේ ඕස්ට්‍රේලියාවේ. වැඩ රාජකාරි මධ්‍යයේත් සංගක්කාර පුවත්පතක් සමග අදහස් දක්වා තිබුණා. මේ එම සාකච්ඡාවයි.

ඕස්ට්‍රේලියාවේ මොකද කරන්නෙ?
ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධ සාකච්ඡා කීපයකට සහභාගි වෙනවා. ලෝක ක්‍රිකට් කමිටු රැස්වීම් කිහිපයකුයි මේ දිනවල ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන්නෙ. ඉතිං ඒ සාකච්ඡා එක්ක දැන් කාර්යබහුලයි.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ටෙස්ට් ක්‍රිකට් තරග දින හතරකට අඩු කිරීම වගේ නව යෝජනා කීපයක් පසුගියදා නවසීලන්තයේ පැවති කමිටු රැස්වීමේදී සම්මත කරගත්තා?
ඔව්. අපි ක්‍රිකට් ක්‍රීඩාවේ වෙනස් කළ යුතු දේවල් සම්බන්ධයෙන් ගැඹුරු සාකච්ඡාවක ඉන්නවා. මේ ක්‍රීඩාව දීර්ඝ කාලයක් පවත්වාගෙන ගිහිල්ලා තියෙනවා. දැන් අවශ්‍ය ‍වෙන්නේ එය තවත් දිගු කාලයක් පවත්වාගෙන යාමයි. ඒ සම්බන්ධයෙන් ධනාත්මක සංශෝධන සිදු ‍වන්නේ එම්.සී.සී. එකෙන්. ඒ කියන්නේ මාර්ලිබෝර්න් ක්‍රිකට් සමාජයෙන්. තවත් විධියකට කීවොත් ලෝක ක්‍රිකට් කමිටුවෙන්. එයින් කෙරෙන්නේ එසේ සිදු විය යුතු සංශෝධන ගැන සාකච්ඡා කරන එකයි.

දින හතරේ ටෙස්ට් තරග ගැන ඔබ කුමක්ද හිතන්නෙ?
මෙහෙමයි. අපි හැම වෙලාවකම වෙනස් වෙන්න බය වෙන්න හොඳ නෑ. වෙනස් විය යුතුයි. ඒ වෙනස හුඟාක් සැලකිලිමත්ව අපි නිර්මාණය කරගන්න අවශ්‍යයි. අපි ඉන්නේ ස්වාධීන ක්‍රිකට් කමිටුවක. කාලීන දේවල් ඇතුළත් කිරීම, අනාගතයේ ක්‍රිකට් ක්‍රීඩාව සිදු විය යුතු ආකාරය ගැන කතා කිරීම, අවවාද ලබාදීම වගේ කරුණු රැසක් ලෝක ක්‍රිකට් කමිටුව සාකච්ඡා කරනවා.

තවදුරටත් විස්තර කළොත්?
උදාහරණයකට මේ ක්‍රීඩාව ගැන ප්‍රේක්ෂකයෝ හිතන්නෙ මොනවාද, ඔවුන්ගේ බලාපොරොත්තු මොනවාද ආදිය ගැනත් අපි හිතනවා. ඊළඟට ලෝක කුසලාන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියක් පවත්වන්නේ කොහොමද? තරග විකාශන අයිතිය ලබාදීලා අයි.සී.සී.යට මුදල් ලැබෙන ප්‍රමාණය ඉහළ දමාගන්නා ආකාරය සම්බන්ධයෙනුත් අපි කතා කරනවා. ඇත්තටම දැන් ටෙස්ට් විකාශන අයිතිය අලෙවි කරලා ලැබෙන මුදල ඉතා අඩු වෙමින් තිබෙනවා. අළු බඳුන, ඉන්දීය කණ්ඩායම සහභාගි වන තරග එක්ක පමණයි වැඩි ප්‍රේක්ෂක ප්‍රමාණයක් සහභාගි වන්නේ. මේ තත්ත්වයත් එක්ක ටෙස්ට් ක්‍රිකට් තරගවලට ප්‍රේක්ෂක අවධානය යොමුකරගැනීම අර්බුදයක්ව තිබෙනවා. මේ සම්බන්ධයෙන් ස්ථිර විසඳුම් සොයාගන්න අපි උත්සාහ ගත යුතුයි.

අන්තර්ජාතික ක්‍රිකට් සමුළුව ඇතුළේ වගකිවයුත්තෙක් ලෙස ඔබව ඉදිරියේදී දකින්න පුළුවන් වෙන බවද මේ කියන්නෙ?
නෑ. අන්තර් ජාතික ක්‍රිකට් සමුළුව කියන්නෙ ස්වාධීන ආයතනයක් නොවෙයි. එය ලෝකයේ සියලු ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල්වලින් කරන පත්කිරීම්වලට අනුකූලව සකස් වන සංයුතියක්. මගේ අරමුණක් නෑ අන්තර් ජාතික ක්‍රිකට් සමුළුව සමඟ එක්වෙන්න.

ඒ කියන්නේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පරිපාලනයට පැමිණීමේ අපේක්ෂාවකුත් නැ කියන එකද?
ඔව්. ඊටත් මගේ කිසිම බලාපොරොත්තුවක් නෑ. ඊට වඩා මට තවත් බොහෝ දේ කරන්න හැකි බවයි මම හිතන්නෙ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් අපි කතා කරමු. දැන් නව එක්දින නායකයෙක් පත් කරලා තියෙනවා. ඒ ඇන්ජලෝ මැතිව්ස්. ඔබ ඒ ගැන මොකද හිතන්නෙ?
ඇන්ජලෝ මැතිව්ස් කියන්නේ හොඳ නායකයෙක්. හොඳ පිතිකරුවෙක්. ඔහුට බොහෝ දේ කරන්න හැකියි. දිනේෂ් චන්දිමාල්, ලසිත් මාලිංග, රංගන හේරත්, දිමුත් කරුණාරත්න වගේ ක්‍රීඩකයන් රැසක් කෙරේ නායකත්වය සඳහා අපිට විශ්වාසය තබන්න පුළුවන්. මෙතැනදී ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව, පුහුණුකරුවා අරගෙන තියෙන්නේ හොඳ තීරණයක්. අපි ඇන්ජිට සුබ පතනවා. ඔහු කාලයක් සාර්ථක නායකයෙක් වශයෙන් කටයුතු කළා. නායකත්වය බාරගැනීම සඳහා ඔහු නැවත තීරණය කිරීම ඔහුගේ පෞද්ගලික තීරණයක්. ඒක කණ්ඩායමට හොඳ ආරංචියක් වේවි.

ඔබත් හොඳ නායකයෙක්. ඇත්තටම හොඳ නායකයකු වෙන්න අවශ්‍ය ගුණාංග මොනවාද?
නිසැකවම ඔහුට යහපත් පෞරුෂයක් තියෙන්න අවශ්‍යයි. තමන්ගේ ක්‍රීඩකයන් කවුද, ඔවුන් සතු සුවිශේෂීතාවන් මොනවද කියන කාරණය ගැන නායකයකු වුණාම අවබෝධයක් තිබිය යුතුයි. ඒවගේම ඕනෑම අවස්ථාවක් සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය ගැන නායකයාට සැලසුමක් තියෙන්න අවශ්‍යයි. ඒ සැලසුම අවශ්‍ය මොහොතක ක්ෂණිකව වෙනස් කරගනිමින් සෙසු ක්‍රීඩකයන් ඒ නව සැලසුමට හවුල් කරගන්න ඔහු දක්ෂ වෙන්න ඕනෑ. ඊළඟට තමන්ගේ සැලසුම් සෙසු ක්‍රීඩකයන්ගේ සැලසුම් බවට පත්කරගන්නටත් හැකියාවක් තිබිය යුතුයි. සියයට සියයක් කණ්ඩායමේ දක්ෂතා ලබාගන්න ඔහු දක්ෂ වීම වැදගත්.

ලෝක ක්‍රිකට් පිටියේ සාර්ථක නායකයන් කීප දෙනෙකු වර්තමාන සමාජයේ අපි දකිනවා. ස්ටීවන් ස්මිත් වගේ නායකයකු නිර්මාණය වුණු ආකාරය පුදුමාකාරයි.ඔහු හැදෙන රහස පිටුපස ඕස්ට්‍රේලියානු නායකයන් නිර්මාණය කිරීමේ ක්‍රියාවලියක් තිබෙනවා වෙන්න බැරිද?
ඇත්තෙන්ම එතැන තියෙන්නේ ඔහු තුළ පවතින දැඩි විශ්වාසය. ඕනෑම තත්ත්වයකදී නායකයකු කැළඹිලි සහගත නොවිය යුතුයි. තමන්ගේ ඉලක්කය මොකක්ද, එය සම්පූර්ණ කරගන්නේ කොහොමද, ඒ සඳහා තෝරාගත යුතු ගමන් මාර්ගය කුමක්ද යන කරුණු ස්ටීවන් ස්මිත් වගේ ක්‍රීඩකයෙකු හොඳින් යොදා ගන්නවා. ඔහු කරන්නේ තමන් ඉදිරියේ තියෙන අභියෝගයට සාර්ථකම පිළිතුර ගෙන එන එක. ඒ නිසයි ඔහු ඔබ කියන ආකාරයේ අතිසාර්ථක නායකයකු වන්නේ.

අපි ශ්‍රී ලංකාවේ පාසල් ක්‍රිකට් ක්‍රීඩාව ගැන කතා කරමු. අපි දන්නවා ඉස්සර හොඳ ක්‍රීඩකයන් පාසලෙන් ජාතික තලයට ආවා. දැන් ඒ දේ සිද්ධ වෙන්නේ අඩුවෙන්.
මෙහෙමයි. එතැන කිිසියම් අඩුවක් අපි දකිනවා. නමුත් දැන් ජාත්‍යන්තර ක්‍රිකට් හුඟාක් තරගකාරීයි. අපි කාටවත් බෑ ජාතික, ජාත්‍යන්තර පරතරය ලෙහෙසියෙන් පියවන්න. පාසල් ක්‍රිකට් ක්‍රීඩාවේදී කළ හැක්කේ හුඟාක් දක්ෂතා ඇතිව ක්‍රීඩකයන් නිර්මාණය කරගැනීමයි. දැන් ඇත්තටම ක්‍රිකට් ක්‍රීඩකයන් ජාත්‍යන්තරයට හඳුන්වා දිය හැක්කේ ක්‍රීඩා සමාජ මට්ටමෙන් ක්‍රීඩකයන් හඳුන්වාදීමෙනුයි.

එතකොට අපෙන් විශිෂ්ට ක්‍රීඩකයන් බිහි වෙන්න කල් ගතවෙන්නේ ඇයි?
එතැනදී අපේ අවුරුදු 19ත්, 23ත් අතර ක්‍රීඩා සමාජාන්තර වශයෙන් හොඳ අවස්ථාවක් නෑ කියන එක අපි පිළිගන්න අවශ්‍යයි. ඒ ක්‍රීඩකයන්ට හොඳ තරගාවලියක් ලබාදිය යුතුයි. එවිට ඔවුන් ජාත්‍යන්තරයට උචිත, දේශීය හා ජාත්‍යන්තර පරතරය අඩු ක්‍රීඩකයන් බවට පත්වෙනවා. ඒ පරතරය වැඩියෙන් තබාගතහොත් ක්‍රීඩකයකුට ජාත්‍යන්තර පිටියේ සාර්ථක වෙන්න තියෙන කාලය වැඩි යනවා. ඒක තමයි තියෙන විශාලම ගැටලුව. අපි හොඳ දේශීය තරග සැලැස්මක් හදාගන්න අවශ්‍ය වන්නේ ඒ නිසයි.

දැන් අපි ඔබේ කාර්යබහුලත්වය එක්ක පෞද්ගලික ජීවිතය පැත්තට නැඹුරු වෙමු. ඇත්තටම ඔබ සතුව දියුණු පෞරුෂයක් තියෙනවා. මේ දේ ඇති වුණේ ස්වභාවිකවද? පවුල් පසුබිමෙන්ද? එහෙමත් නැත්නම් ඔබ දැන උගත් පාසල ඔස්සේද?
මේ හැම දෙයක්ම පුද්ගලයකුගේ සාර්ථකත්වයට බලපානවා. මම මගේ මාපියන්ට, සහෝදර සහෝදරියන්ට හුඟාක් ළංවෙලා ජීවත් වුණා. ඒ අය කියන කරන දේවල් සමඟ සමීපව ජීවත් වුණා. ඒක හරිම ශක්තිමත් ජීවිතයක් නිර්මාණය කරනවා. අනෙක මගේ පාසල. එතැනින් මට බොහෝ දේ උකහාගන්න පුළුවන් වෙලා තියෙනවා. ඊළඟට මම ඇසුරු කරන සමාජය. එයත් වැදගත්. මම කරන සියලු දේට හොඳයි, ඔව් කියන අයට වඩා ධනාත්මක විවේචන කරන මිතුරන් අපි වටා සිටිය යුතුයි. මගේ ජීවිතය පුරා මම ඒ දේ ලබාගෙන තියෙනවා.

ඉංග්‍රීසි භාෂාවෙන් කටයුතු කිරීමේ පරිචය ඔබ මෙතරම් සාර්ථක කරගත්ත එක දැනගන්න හුඟාක් තරුණ පරපුර කැමතියි.
ඉංග්‍රීසි කියන්නෙ භාෂාවක්. එය ප්‍රයෝජනයට ගන්න බයවෙන්න හරි පැකිලෙන්න හරි එපා. එය සේවකයකු කරගන්න. එයට වහලකු වන්න එපා. පුළුවන් තරම් කියවන්න. බැරි බැරිව කතාකරන්න. එහෙම කතාකරන අයව හාස්‍යයට ලක්කරන්න එපා. එයයි ඉංග්‍රීසියේ දක්ෂතා වැඩි වර්ධනය කරගැනීමේ රහස.

කුමාර සංගක්කාර කියන්නෙ ශ්‍රී ලංකාව පමණක් නොවෙයි, ලෝකය තුළත් ඕනෑම තරුණයකුට හොඳ නිදර්ශන සපයන්නෙක්.
මම කියන්නේ කිසි කෙනෙකුට මම වගේ වෙන්න හදන්න එපා කියල. කුමාර සංගක්කාර කියන්නේ කුමාර සංගක්කාරටයි. ඔබ මා කිව්ව කාරණා මත පිහිටලා ඔබ තුළ සිටින ඔබට වර්ධනය වන්න ඉඩදෙන්න. එවිට අභියෝග කළ නොහැකි ඔබව ඔබට දැකගන්න හැකි වේවි.

උපුටා ගැනීමකි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!