Gossip

“මම එයාව කොහොම හරි මගේ ළඟින් තියා ගන්නවා. එයාගෙන් අයින් වෙලා ඉන්න දුකයි.” – හිමාලි සයුරංගි

හිමාලි සයුරංගි කියන්නේ රසික හදවත් ආරයෙන් වැළඳගත් ජනප්‍රිය නිළියක්.
මේ දවස්වල ඇය කරළියට ඇවිත් ඉන්නේ උදේනි කියන චරිතයෙන්. දෙවැනි ඉනිමේ අතිවිශිෂ්ඨ රංගනයක නියැලෙන හිමාලිගේ අලුත්ම තොරතුරු ගැන ඇය සතිඅන්ත පුවත්පතකට මේ විදිහට කියලා තිබුණා.

හිමාලි මේ දවස්වල පුංචි තිරයේ වෙනස් මුහුණුවර දෙකකින් පේන්න ඉන්නවා?
ඔව්, මේ දවස්වල මම සම්බන්ධ වුණු දෙවෙනි ඉනිම සහ තවත් ටෙලි නාට්‍ය දෙකක් විකාශය වෙනවා.
ඒ නිර්මාණ දෙකටම ආදරය කරන ප්‍රේක්ෂක පිරිසක් ඉන්නවා. දෙවෙනි ඉනිමේ උදේනිගේ චරිතයට බොහෝ අය ආදරය කරනවා. ඉදිරියේදී උදේනිගේ චරිතය වුණත් වෙනස් විදියට දැක බලාගන්න පුළුවන් වෙයි.

පසුගිය කාලේ දෙවෙනි ඉනිම නාට්‍යයෙන් කිහිප දෙනෙක් ඉවත් වුණා. ඊළඟ ඉවත් වීම ඔබ වෙන එකක් නැද්ද?
මෙගා නාට්‍යයකට යද්දි මම ඉවත් වෙන්නේ කොතැනින්ද කියලා දැනගෙන යන්න විදියක් නෑ.
නාට්‍යයක එක් කෙනකුට චරිතයක් හදන්න බෑ. ලියන කෙනා හරියට ලිව්වේ නැත්නම්, අධ්‍යක්‍ෂවරයා හරියට අධ්‍යක්‍ෂණය කළේ නැත්නම් රංගන ශිල්පියා හෝ ශිල්පිනිය හරියට රඟපෑවේ නැත්නම් ඒ චරිතය ප්‍රේක්ෂකයෝ වැලඳ ගන්නේ නෑ.
මාව වුණත් නාට්‍යයෙන් ඉවත් කරන්න නිෂ්පාදන කණ්ඩායමට අයිතියක් තියෙනවා.
තිරපිටපතේ හැටියට අවශ්‍ය තැනදී අපිව අයින් කළොත් ඒවට හිත රිද්දගන්න නරකයි. යම් නිර්මාණයක ප්‍රේක්ෂකයෝ ආදරය කරන චරිතයක් අයින් වුණොත් ඒකේ බලපෑම එල්ල වෙන්නේ නිෂ්පාදන කණ්ඩායමට.

කාලයක් ඔබ පුංචි තිරයේ පෙම්වතිය වුණා. සමහර රංගන ශිල්පිනියන් එකම චරිතවලට කොටු වෙද්දි ඔබට එහෙම වුණේ නෑ නේද?
මම මේ ක්‍ෂේත්‍රයට ඇවිත් අවුරුදු පහළොවක් වෙනවා.
මම අවුරුදු දහයක් විතර එක දිගට පුංචි තිරයේ පෙම්වතියගේ චරිතය කළා.
විවිධත්වයක් නැතිව එකම චරිතය කරද්දීත් එපා වෙනවානේ. මටත් වෙනස් වෙන්න ඕන වුණා.
මම තරුණ විදියටම පේන්න ඕන කියලා ඒකාකාරී වුණා නම් අපරාදේ. සමහරු කැමැති නැහැ දුප්පත් චරිතයක්වත් කරන්න.
වැරහැලි අඳින්නවත් සමහරු කැමති නැහැ. නමුත් මම එහෙම නැහැ. මට ඕනේ වුණේ වෙනස් චරිත කරන්න. එක එක මාදිලියේ චරිත කළාම ලැබෙන තෘප්තිය වැදගත්.

ඔබේ තෝරා ගැනීම් වැඩිද?
මම පිටපත කියවලා ඒක මට හරියනවද බලනවා. අධ්‍යක්‍ෂවරයා හොඳද බලනවා. ඒ දෙක ගැන තමයි මම සැලකිලිමත් වෙන්නේ.

තෝරා බේරා ගැනීම් නොකරන්න ඔබත් එක රාමුවකට කොටු වෙන්න තිබ්බා නේද?
ඔව්. සමහරු කැමැති විසිතුරු චරිත කරන්න විතරයි. ඒ වගේ අය සම්මාන අරගෙන එක තැන පල්වෙලා නැති වෙලා ගිය අවස්ථා තියෙනවා.
නමුත් විවිධ චරිත කළ අය තාමත් ක්‍ෂේත්‍රයේ රැඳිලා ඉන්නවා. මමත් කැමැතියි කරපු නැති චරිත කරන්න. මට එක රාමුවකට කොටු වෙන්න ඕන වුණේ නැහැ.

සමහරු කියනවා දැන් නිර්මාණවලට ලැබෙන ආරාධනා අඩුයි කියලා. ඔබ ක්‍ෂේත්‍රයට ඇවිත් කාලයක් වෙනවනේ. ඔබට නිර්මාණවලට ලැබෙන ආරාධනා අඩු වෙලාද?
මට කවදාවත් නිර්මාණවල අඩුවක් වුණේ නෑ. මම විවාහ වුණා, දරුවා ලැබුණා කියලාවත් මට වැඩ අඩු වුණේ නැහැ.
කවදාවත් මම වැඩ නැතිව ඉඳලා නැහැ. තමන්ගේ ප්‍රතිරූපය හදාගත්තට පස්සේ වැටීම් ඇති වෙන්නේ නෑ. මට හොඳ නිර්මාණ ලැබෙනවා. ඒ ගැන මට සතුටුයි.

ඔබ රංගනය, නිවේදනය, නර්තනය වගේ විවිධ ක්‍ෂේත්‍රවල ජීවත් වෙනවා. අපි නොදන්නා ඔබ තුළ තව කවුද ඉන්නේ?
මම ආදර්ශයට ගන්නේ ජැක්සන් ඇන්තනීව. ඔහුට මොනවද කරන්න බැරි. එක පුද්ගලයකුට හැකියාවන් ගණනාවක් තියෙනවා.
අපි හැමදාම අපි තුළ තියෙන හැකියාව හොයා ගන්න ඕන. මට කරන්න පුළුවන් දේවල් මම උත්සාහ කරලා බලනවා. මට ගායන හැකියාවත් තියෙනවා.
ප්‍රසංග වේදිකාවේ ගීත ගයන්න අවස්ථාව ලැබුණම මම ඒවටත් සම්බන්ධ වෙනවා. මට හොඳට ලියන්නත් හැකියාව තියෙනවා.
මම නිවේදන භූමිකාවේ ඉන්න කාලේ ගොඩක් දේවල් කියෙව්වා.
මට ගීත ලියන්නත් පුළුවන්. ඒ ලියන හැකියාවෙන් ලබන වසරේදී යමක් කරන්න හිතාගෙන ඉන්නවා. මම මට බැරි දේවල් නම් කරන්න යන්නේ නෑ.

ඔබේ නිවේදන භූමිකාවට බොහෝ දෙනෙක් ආදරය කළා. ඒ නිවේදන භූමිකාවට දැන් මොකද වෙලා තියෙන්නේ?
මම විවිධ උත්සවවල නිවේදන කටයුතුවලට එකතු වෙනවා. නමුත් ඒවා පොදු ජනතාවට දකින්න ලැබෙන්නේ නෑ.
මම නිහඬව ඒ වැඩ ටික කරගෙන යනවා. මට විවිධ වැඩසටහන් ඉදිරිපත් කරන්න ආරාධනා ලැබුණට ඒ ආරාධනා මම භාර ගත්තේ නැහැ.
නමුත් කාන්තා සහ ළමයින් වෙනුවෙන් වැඩසටහනක් හෝ වෙනත් හොඳ වැඩසටහනක් ඉදිරිපත් කරන්න ලැබුණොත් එයට සම්බන්ධ වෙන්න මම කැමැතියි.

ඔබ හඬකැවීම් ශිල්පිනියක් ලෙස හඬෙනුත් රසිකයන් දිනාගෙන තියෙනවා?
ඔව්, මම වෙළෙඳ දැන්වීම් සහ නාට්‍ය හඬකැවීම්වලටත් එකතු වෙනවා.
මගේ රඟපෑම වුණත් තීව්‍රව පේන්නේ මගේ කට හඬ සහ දෙබස් ඉදිරිපත් කිරීමේ ස්වභාවය නිසා.
ගුවන්විදුලි මාධ්‍යයේ හඬකැවීම් කියන්නේ වෙනස් මාධ්‍යයක්. මම ගුවන්විදුලියේ ඒ ශ්‍රේණියේ ශිල්පිනියක් නිසා මට හඬකැවීම්වලටත් ආරාධනා ලැබෙනවා.

කාලයකට පස්සේ සිනමා නිර්මාණයකටත් එකතු වුණා නේද?
සෝමරත්න දිසානායක මහත්මයාගේ ‘සුනාමි’ කියන චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් කළා.
ඒක ලබන වසරේ තිරගත වෙයි. මම සිනමා නිර්මාණවලට අඩුවෙන් සම්බන්ධ වුණේ. සිකුරු හතේ චිත්‍රපටයෙන් පස්සේ තමයි මට මේ වගේ හොඳ නිර්මාණයකට ආරාධනා ලැබුණේ. මේ චිත්‍රපටය තිරගත වුණාම වැටහෙයි අපි වගේ අය සිනමාවට කොච්චර අවශ්‍යද කියලා.

මුල් කාලීනව ඔබ වටා හිටපු ප්‍රේක්ෂක පිරිස තාමත් ඔබත් එක්ක ඉන්නවාද?
මට ගොඩක් ඉන්නේ වයසින් වැඩි ප්‍රේක්‍ෂක පිරිස. කථිකාචාර්යවරු, විදුහල්පතිවරු, ගුරුවරු වගේම බොහෝ පිරිසගෙන් මට ගෞරවය ලැබෙනවා. ඔවුන් තාමත් මට ලියුම්වලින් ප්‍රතිචාර දක්වනවා. සමහර ප්‍රතිචාරවලට ඇස්වලට කඳුළු එනවා.

ඔබ දුවකගේ මවක්. ඇය කලාවට ළැදිද?
එයාට හොඳ අධ්‍යාපනයක් ලබා දෙන එක තමයි මූලික දේ.
දුවව හඬකැවීම්වලට සම්බන්ධ කරන්න ගායනයට සම්බන්ධ කරන්න මගේ අකැමැත්තක් නැහැ. අධ්‍යාපනය වගේම සෞන්දර්ය පැත්තට දරුවෙක් යොමු වන එක හොඳයි.

ඔබ බොහෝ වැඩකටයුතු එක්ක කාර්යබහුලයිනේ. ඒ වැඩකටයුතු නිසා මවකගේ වගකීම් මඟහැරෙන්නේ නැද්ද?
බොහෝ වෙලාවට මම යන තැන්වල දුවව එක්ක යනවා. මට මේ කාලේ එයාගෙන් අයින් වෙලා ඉන්න දුකයි.
ඒ නිසා මම එයාව කොහොම හරි මගේ ළඟින් තියා ගන්නවා.

ඔබ අලුත් නිවහනක පදිංචියටත් ගියා නේද? ඒකත් ඔබේ ජීවිතේ තිබ්බ හීනයක්ද?
ඔව්. මගේ ජීවිතේ, රංගනයෙන් මම එකතු කරගත්ත මුදල්වලින් මම ගෙයක් හදාගත්තා. ඒ කැදැල්ලේ අපි සතුටින් ඉන්නවා.

උපුටා ගැනීම – මව්බිම පුවත්පත

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!