Gossip

“මම එනකම් එයා බලාගෙන හිටියා” – දිල්මින් – “ඒක ඉතින් එයාගෙ පෞද්ගලික ජීවිතේ” – දිල්හානි

ඔහු නමින් දිල්මින් පෙරේරා. එහෙම කිව්වට ඔහුව කවුරුත් හඳුනන එකක් නෑ. මොකද කාලෙක ඉඳල අධ්‍යාපන කටයුතු නිසා විදේශ ගතවෙලා සිටින නිසා. දිල්මින් කියන්නෙ අපේ රටේ ප‍්‍රවීණ කලාකරුවන් දෙපළක් වන ප්‍රියංකර පෙරේරාගෙත් දිල්හානි අශෝකමාලාගේත් එකම පුතා. මේ දිනවල නිවාඩුවකට ලංකාවට ඇවිත් ඉන්න දිල්මින් රංගන කටයුත්තකට අත ගහලා. ඉතින් මේ ඔවුන් තිදෙනා සති අන්ත පුවත්පතක් සමග කෙරූ සාකච්ඡාවක්.

දිල්මින් කවදද ලංකාවට ආවේ?
දැන් මාස දෙක තුනක් වෙනව මම ඇවිල්ල.

විදේශගතවෙලා මොනවද කරන්නෙ?
මම ඇමරිකාවෙ මිනසෝටා ප‍්‍රාන්තයේ විශ්ව විද්‍යාලයක ඒවියේෂන් මැනේජ්මන්ට් උපාධිය හදාරනවා. දැනට අවසන් වසරේ අධ්‍යාපන කටයුතුවල මම නිරතවෙලා ඉන්නෙ.

කොච්චර කාලෙකට පස්සෙද මෙවර ලංකාවට ආවෙ
වැඩි කාලයක් නෑ. අවුරුද්දකට පස්සෙ. හැම අවුරුද්දෙම මම ලංකාවට ඇවිත් ගියා.

ඒ විදියට ඇවිත් යන්න නිවාඩු ලැබෙනවද
මේ වතාවෙනම් පොඩි බ්රේක් එකක් ගත්තෙ වෙනසකටත් එක්ක.

අපිටනම් ආරංචි ගර්ල් ෆ්‍රෙන්ඩ්ගේ ආරාධනාවකට ලංකාවට ආව කියලයි.
නෑ නෑ එහෙම ආරාධනාවක් ලැබුණෙ නෑ. ඒත් මම එනකම් එයා බලාගෙන හිටියා.

එයා කවුද කියල කියමුද?
එයාද? එයා ගෑනු ළමයෙක්. නර්තනය වැඩිදුර හදාරමින් සහ උගන්වමින් ඉන්නවා.

දිල්මින්ගෙ වැඩවලට ගොඩක් උදව් කරනවත් ඇති
ඔව් පුළුවන් හැම උදව්වක්ම කරනව. සිංදු ලියන්නත් අදහස් දෙන වෙලාවල් තියෙනවා. කොහොමත් මම සිංදුවක් හැදුවම මුලින්ම යවන්නෙත් එයාට.

ඔයාගෙ සිංදුවකට එයාගෙ විෂුවල් එකක් කරන්න අදහසක් නැද්ද?
නිර්මාණය අනුව තමයි එහෙම දෙයක් වෙනවනම් වෙන්නෙ. නැතුව එයාවම දාන්න ඕන කියල දෙයක් නෑ. ඉදිරියේදී බලමු ඉතින්.

මේ නිවාඩුවෙත් ගීත කිහිපයක්ම කරාලු නේද?
ඔව්. ආලෙන් මා කියල මමම රචනා කරල තනුවක් දාපු ගීතයක් සනුක වික‍්‍රමසිංහ සංගීතවත් කරල යූ ටියුබ් හරහා එළිදැක්වූවා. දේවිකා කුමාරි කියල මගේ හිතවත් අක්ක කෙනෙක් ලියපු ගීතයක් තියෙනවා එහි තනු නිර්මාණය සහ සංගීතය මගේ. අනිත් ගීතයට මම තනුව දාල ඉවරයි උමා අසේනි කියන ගීත රචකය එය රචනා කරමින් ඉන්නවා. ඒ වැඩ ඉක්මනින්ම නිමා කරනවා.

ආයේ කවදද ඇමරිකාවට යන්නේ?
තව මාස දෙකකින් විතර මට යන්න වෙනවා.

ඒ යන්න ඉස්සෙල්ල මේ ගීත මාධ්‍යයට දීලද යන්නෙ?
අනිවාර්යයෙන්ම. මේව හැමෝටමම අහල බලන්න දීල තමයි යන්නෙ. නැත්නම් මට මේ ගීතවලට මොනවගේ ප‍්‍රතිචාර ලැබෙයිද කියල දැනගන්න විදියකුත් නැහැනේ.

වැඩිපුර ඉන්න කැමති ලංකාවෙද ඇමරිකාවෙද?
විශේෂත්වයක් නෑ. මේ රටවල් දෙකේම ඉන්න කැමතියි. මම දැන් එහාටත් හුරුවෙලානෙ ඉන්නෙ.

දිල්හානි අශෝකමාලා – ප්‍රියංකර පෙරේරා කියන්නෙ අපේ රටේ ප‍්‍රසිද්ධ චරිත දෙකක්. මේ දෙන්නගෙ පුතා වීම ගැන මොකද හිතන්නෙ.
මට එහෙම විශේෂයක් හිතෙන්නෙ නෑ. ඒ ඉතින් මගේ අම්මයි තාත්තයිනෙ. එච්චරයි.

අම්ම තාත්තගෙ ජනප්‍රියත්වය හරහා ප‍්‍රයෝජන ගන්න අදහසක් නැද්ද?
ඒ දෙන්නගෙ ප‍්‍රසිද්ධිය හරහා මම ප‍්‍රයෝජන ගන්න ඕන නෑ. මගේ මහන්සියෙන් මගේම දෙයක් කරගෙන ඉදිරියට යන්නයි මම ආස. හැබැයි ඒ දෙන්න නිසා මට සමහර දොරවල් ඇරිල තියෙනවා. මේ ආර්ටිකල් එක වුණත් ඒ දෙන්නගෙ නම හරහා තමයි මට ලැබෙන්නෙ කියන එක මම දන්නවා.

ඔබ පියාගේ ගීත ගායනා කරනව අපට ඇහෙන්නෙම නැති තරම්?
තාත්ත බොහෝ වෙලාවට කියන්නෙත් ඔහුගෙන් රසිකයො ඉල්ලන්නෙත් මම දකින විදියට සීයගෙ ගීත. අවස්ථාවක් ලැබුණම මමත් ඒ ගීත ගායනා කරනවා. මේ කාලෙ මහන්සි වෙන්නෙ මගේම ගීත හදාගන්න. මගේ ගීත ගායනා කරන අතරේ තමයි මම සීයගෙ සිංදුවක් කියන්නේ.

අම්ම නිසා රඟපෑමට ආරාධනා ලැබුණොත්?
මේ දිනවල රඟපෑමට ආරාධනාවක් ලැබිල මම ඒ ආරාධනාව භාරගෙනයි ඉන්නෙ. හැබැයි ඒ අම්ම නිසාම නෙමෙයි. වෛද්‍ය නියෝමාල් පෙරේරා අධ්‍යක්‍ෂණය කරන දඩඉඩ චිත‍්‍රපටය තමයි ඒක. සංගීතඥයකුගෙ චරිතයක් මට තියෙන්නේ.

තාත්තගෙන් ඔබේ සංගීත කටයුතුවලට ලැබෙන්නෙ මොන වගේ සහයෝගයක්ද?
කුඩා කාලෙ ඉඳල තාත්ත මාව සංගීත අංශයෙන් හරි මාර්ගයට ගේන්න ගොඩක් මහන්සි වෙලා මා තුළ තිබුණ දක්‍ෂතා ඔපමට්ටම් කරල දුන්නා. අද මට ඕන දේ කරන්න නිදහස තියෙනවා. ඒත් අදටත් මම කරන කියන දේ ගැන අවබෝධයෙන් තමයි ඉන්නෙ.

ප්‍රියංකර

අද වන විට ඔබ සංගීත ක්‍ෂේත‍්‍රයට සමුදීලද?
සංගීත ක්‍ෂෙත‍්‍රයට සමුදීල නැහැ. ඒත් පොඩි එපාවීමක් නම් තියෙනවා. ඇත්තටම කියනව නම් එළිමහන් සංදර්ශනවලට සහභාගි වෙන්න අද වෙද්දි මගේ කැමැත්තක් නෑ. ගෘහස්ත සංදර්ශනවලට තමයි වැඩිපුර සහභාගි වෙන්නෙ.

කාලෙකින් අලුත් ගීත එකතුවක් කළේ නැහැ නේද?
ගීත නම් ඕන තරම් කරල තියෙනවා. ඒත් ඒව දාගන්න තැනක් නැහැ. හැම නාලිකාවකටම වගේ දීල තියෙනව ඒත් ප‍්‍රචාරය වෙන්නෙ නැතිකම තමයි තියෙන්නෙ. දැන් තියෙනවනෙ සල්ලි දීල ගීත ප‍්‍රචාරය කරගන්න ක‍්‍රම. මට එහෙම දේවල් කොහෙත්ම අවශ්‍ය නැහැ. ඒ නිසා ඒව මගේ ප‍්‍රශ්න නෙමෙයි. වෘත්තීය මට්ටමින් මගේ වැඩකටයුතු අවුලක් වෙන්නෙ නැතුව කරගන්න පුළුවන් වාතාවරණයක් මට තියෙනවා.

දැන් ඉස්සර වගේ ප‍්‍රසංගවලට ආරාධනා නෑ කිව්වොත්?
ආරාධනා නම් ඕන තරම් තියෙනවා. ඒත් ලැබුණ පළියට භාරගන්නෙ නෑ. තෝරල බේරල තමයි සහභාගි වෙන්නෙ. මේ වෙද්දි ඔරියන්ටල් වැඩ තමයි සීයට අනූවක් භාරගන්නේ. එවැනි ආරාධනා තියෙද්දි අනෙක් ආරාධනා කොහොමටත් මගහරිනවා. සති අන්තවල සංදර්ශනවලට බොහෝවිට ආරාධනා ලැබෙනවමයි. ඒත් මම කැමති විදියෙ එකකට සහභාගි වෙන්න තියෙනව නම් ඒක මට දාහෙන් සම්පතක් අර වගේ තැන්වල රස්තියාදු වෙනවට වඩා.

එකම පුතා දිල්මින්ගෙ හැකියාවන් ගැන මොකද හිතෙන්නෙ?
සතුටුයි. පුංචි කාලෙ ඉඳල ඔහු තුළ යම් හැකියාවක් තියෙන බව හඳුන ගත්ත නිසා සංගීත ගුරුවරු දෙන්නෙක් ලවා ඒ සඳහා අඩිතාලම දැමුවා. දැන් එයාගෙ වැඩ එයා තනියම කරගන්නවා. ළඟදි එයාගෙම නිර්මාණ කිහිපයක් එයා හදාගත්ත. කාටවත් වහල් නොවී ඒ ක‍්‍රමයට ජීවත් වෙන එක ගැන සතුටුයි. ඒ වගේම ඒක මගේ තාත්තටත් කරන ලොකු ගෞරවයක්.

අද හැම තැනම වගේ පිය පුතු ප‍්‍රසංග පැවැත්වෙනවා. නරකද පුතා එක්ක එකතුවෙලා එවැනි ප‍්‍රසංගයක් කළොත්?
ඔය පියපුතු කියන නම ඇත්තටම මම හදපු එකක්. පිය පුතු කියල බිස්නස් රෙජිස්ට්‍රේෂන් එකක් තියෙනව මගේ. දැන් ඉතින් හැම තැනම පිය පුතු ප‍්‍රසංග තියෙනවා. තාත්තල ජීවත්ව ඉන්දෙද්දි ඒ සිංදු කියපු පුතාල ටික දෙනයි ඉන්නේ. මම ඒ අතරේ ඉන්නවා. ඒ විදියට තාත්තලගෙ සිංදු අභාවයට යන්න නොදී පුතාල කියන එක ඇත්තටම හොඳ දෙයක්. මොකද ඒ ගීත ඉදිරි පරම්පරාවල් වලටත් යනවනෙ. පිය පුතු සංකල්පය ගැන මම සන්තෝෂ වෙනව. මගෙත් පුතාගෙත් ප‍්‍රසංග ගැන කතා කළොත් ඒ සඳහා බොහෝ ආරාධනා ලැබිල තියෙනව. මොන බජව්ව දාන්නත් මගේ පුතාගෙ අධ්‍යාපන කටයුතු සාර්ථකව අවසන් වෙන්න ඕන. දැනට ඒකටයි මම මුල් තැන දෙන්නෙ.

දිල්හානි

දැන් තෝරා බේරාගෙන වගේ රඟපාන්නෙ?
අනිවාර්යයෙන්ම තෝරල බේරල තමයි රඟපාන්නෙ. ඒ කියන්නෙ මට ගැලපෙන්න ඕනෑ. මට දෙයක් කරන්න තියෙන්න ඕනෙ. මොනව හරි අපි කරන දේ තුළින් ආශ්වාදයක් තියෙන්නත් ඕනනෙ. ඉතින් මේ කියන මූලික කාරණා ටික සම්පූර්ණ වෙනව නම් මම එවැනි නිර්මාණවලට මගේ රංගන දායකත්වය ලබා දෙනවා.

පහුගිය කාලෙ වෙනස්ම ආකාරයේ නිර්මාණයකට දායක වුණා?
හැබැයි දායක වුණාට මම තාම ඒ චිත‍්‍රපටය දැකල නෑ. මම ඒ කතාවට කැමතියි. ඒ වගේම මට එහි කරන්න දෙයක් තිබුණ. එවැනි චරිත අපට ජීවිත කාලයේ හමුවෙලා තියෙනවා. මානසික රෝගියෙකුට සමාජය සලකන්න ඕන කොහොමද ඒ මිනිස්සු දිහා කොහොමද බලන්න ඕන කියන දේ තමයි ඒ චිත‍්‍රපටයෙන් කතා කෙරෙන්නෙ. මම ඒ ගැන කිසිම අවතක්සේරුවක් නෑ. ඉතා උවමනාවෙන් සහ සතුටින් රඟපෑ චිත‍්‍රපටයක්.

නිර්මාණයක් බාරගනිද්දි අධ්‍යක්‍ෂවරයා ගැන විශේෂ සැලකිල්ලක් දක්වනවද?
පෞද්ගලිකවම මම හරිම කැමතියි අධ්‍යක්‍ෂවරයා හොඳයි නම්. හැබැයි අවාසනාවකට අපිට හැම තැනදිම එහෙම හමුවෙන්නෙ නෑ. එහෙම හම්බ වෙනකම් කිය කිය හිටියොත් වෘත්තියමය වශයෙන් කටුක බවට මුහුණ දෙන්න වෙනවා. ඒ තුළ අපේ රටේ හොඳයි නරකයි කියන දෙකත් එක්කම යන්න වෙලා තියෙනව. හොඳම අධ්‍යක්‍ෂවරු හමුවෙනවට හරිම කැමතියි. ඒ වුණාට එහෙම වෙන්නෙ නෑ.

එදා සහ අද සිනමාවේ වෙනස ඔබ දකින්නේ කොහොමද?
එදා සහ අද සිනමාව සැසැඳුවොත් තාක්‍ෂණය පැත්තෙන් – මිනිස්සුන්ගෙ පැත්තෙන් රඟපෑමේ පැත්තෙන් – හැසිරීමේ පැත්තෙන් සංස්කෘතිය පැත්තෙන් ඇතුළු හැම පැත්තෙන්ම සියල්ල වෙනස්.

එකම පුතා මේ වෙනකොට වැඩිපුර නැඹුරු පියාගේ වෘත්තියට. රංගනය කියන ඔබේ වෘත්තිය පැත්තට ඔහු නැඹුරු කරන්නට සිතෙන්නේ නැද්ද?
මම කවදාවත් හිතුවෙ නෑ පුතාව ඒ පැත්තට නැඹුරු කරන්න ඕන මේ පැත්තට නැඹුරු කරන්න ඕන කියල. අධ්‍යාපනය මූලිකව. එයාගෙ සතුට වෙනුවෙන් නියැළෙන කලා කටයුත්තෙ නියැළුනාට කමක් නෑ. ඒත් එයා මුල් තැන දිය යුත්තේ අධ්‍යාපනයට. ඉගෙනගෙන රැකියාවක් කරන අතරෙ කලාවේ නියැළුනාට ප‍්‍රශ්නයක් නෑ. පුංචි කාලෙ ඉඳල සංගීතයට වැඩි නැඹුරුවක් තියෙනව. මේ වෙද්දි රංගනයටත් පොඩ්ඩක් විතර යොමුවෙලා.

සැමියත් පුතත් එක්ක එකම නිර්මාණයකට දායක වෙන්න කැමති නැද්ද?
ඇත්තටම නෑ. ප්‍රියංකර එක්ක වුණත් මම කැමරා ඉදිරියේ රඟපාන එක නවත්තල ගොඩක් කල්. එයාගෙ බිරිඳ විදියටත් මගෙ පුතාගෙ අම්ම විදියටත් අපි තුන්දෙනාට තුන්දෙනා මේ ඉන්න විදිය හොඳට ඇති.

එකම පුතා දිල්මින් රංගන ශිල්පිනියක් ලේලිය ලෙස තෝරා ගත්තොත්?
ඒක ඉතින් එයාගෙ පෞද්ගලික ජීවිතේ. ඒවට අපේ බලපෑම් නෑ. ලේලි ඉතින් කවුරු වුණත් එයාට හොඳ නම් සහ හොඳින් ඉන්න පුළුවන් නම් අපිට ප‍්‍රශ්නයක් නෑ.

උපුටා ගැනීමකි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!