Gossip

මම ඉදිරියේදී යූ ටියුබ් චැනල් එකක් කරන්නත් හිතාගෙන ඉන්නවා මවු පදවියෙන් පස්සේ ශරීර හැඩය නිසි ලෙස පවත්වාගන්නේ කොහොමද කියන දැනුවත්භාවය ලබාදෙන්න – අයිශාරා අතුකෝරාල

අයිශාරා අතුකෝරාල කිවුවහම නොදන්න කෙනෙක් නැති තරම්.ඇය මේ ලගදී ලංකාවට ඇවිත් තිබුණා.ඇයගේ අලුත් විස්තර සති අන්ත පුවත් පතකට ඇය කියලා තිබුණේ මෙහෙමයි.

අයිශාරා පවුලත් එක්කම මේ පාර ලංකාවට ආවේ විශේෂ සැලසුමකටද?
පොඩි දුවගේ උපන්දිනය සමරන්න සහ මගේ තාත්තාගේ උපන්දිනය වෙනුවෙන් එයාලා එක්ක ඉන්න තමයි මේ පාර ලංකාවට ආවේ. චූටි දුවටත් දැන් අවුරුද්දක්.

දැන් චූටි දුවගෙත් හුරතල් වයස නේද?
අපේ චූටි දුව මේගන් පලිහවඩන. එයා දැන් හරි දඟයි. දැන් එයාගේ පස්සෙන්ම ඉන්න ඕන වයස. මාත් එක්ක තමයි වැඩිපුරම ඉන්නේ. ලංකාවට ආවට පස්සේ ආච්චිලා, සීයලා එක්කත් එකතුවෙලා, හැමෝගෙම ආදරය දිනාගෙන ඉන්නවා.

දුවට මේගන් කියන නම තියන්නත් විශේෂ කාරණාවක් තිබුණද?
සැමියා තමයි චූටි දුවගේ නම තිබ්බේ. මගේ සැමියාගේ අම්මගෙයි, ආච්චිගෙයි නමට සමාන වෙන්න තමයි ඒ නම තිබ්බේ. එයාගේ අම්මගේ නම මාග්‍රිට්, ආච්චිගේ නම මාග්‍රට්. ඒ නම් ග්‍රීක් නම්. එහි තේරුම මුතු ඇටය. ඒ නමේම මොඩර්න් වර්ෂන් එක විදිහට තමයි මේගන් කියන නම දුවට දැම්මේ.

ලොකු දුව කලාවට ළැදිද?
ලොකු දුව පාසල් යනවා. එයා දැන් හත වසරේ. ලන්ඩන්වල ශ්‍රී ලංකන් පාසලක් තියෙනවා. එයා ඒකේ තමයි ඉගෙන ගන්නේ. පැතුම් ධනංසූරිය සර් යටතේ ‘කාලගෝල’ නාට්‍යයේ අපේ දුවත් රඟපානවා. එයත් රඟපෑමට ආසයි. සර් වුණත් කියනවා දුව දක්ෂයි කියලා. එයා පළමුවැනි වතාවට තමයි රඟපාන්නේ. බලමු ඉදිරියේදී එයා මොන ක්ෂේත්‍රය තෝරගනියිද කියලා.

මවු පදවියෙන් පස්සේ අයිශාරා ශරීර හැඩය පවත්වා ගන්න කැපවෙලා වගේ?
ඔව්. මම ඒ වෙනුවෙන් ශාරීරික අභ්‍යාස කරනවා. ඒ වගේම මම ඉදිරියේදී යූ ටියුබ් චැනල් එකක් කරන්නත් හිතාගෙන ඉන්නවා. මවු පදවියෙන් පස්සේ ශරීර හැඩය නිසි ලෙස පවත්වාගන්නේ කොහොමද කියන දැනුවත්භාවය ලබාදෙන්න තමයි ඒ යූ ටියුබ් චැනල් එක කරන්න ඉන්නේ.

නයිට් රයිඩර් චිත්‍රපටයට අයිශාරා සම්බන්ධ වෙන්න හිටියා කියන්නේ ඇත්තද?
ඔව්. නයිට් රයිඩර් එකට මම සම්බන්ධ වෙන්න හිටියා. නමුත් ඒක කරන එක මඟහැරුණා.

නයිට් රයිඩර් මඟහැරුණට අලුත් වැඩක් කරන්න යනවලු නේද?
ඔව්. නයිට් රයිඩර් කරන්න බැරි වුණාට කලණගෙයි, කසුන්ගෙයි අපෙයි තිබුණ හිතවත්කම එහෙමමයි. දැන් කලණයි, කසුනුයි එක්ක අලුත් වැඩකට සම්බන්ධ වෙන්න කතා කරගෙන යනවා. අපි අතර තිබ්බ ඒ හිතවත්කම නිසාමයි මට ඔවුන්ගේ ඊළඟ නිර්මාණයට ආරාධනා කළේ. අයිශාරා දැන් සීමා දාගෙනද වැඩ කරන්නේ ඉස්සරත් මම වැඩ කරද්දී යම් යම් සීමා තිබුණා. ඉතිං දැනුත් ඒ සීමා තියාගෙන තමයි වැඩ කරන්නේ.

රංගන කටයුතුවලට එකතු වෙද්දී සැමියාගේ අදහස් ගැනත් හිතනවද?
ඔව්. සැමියාගේ කැමැත්ත ඇතිව තමයි මම වැඩ කරන්නේ. එයා වැරදි දෙයක් මට තෝරලා දෙන්නේ නැහැ. ඒ වගේම කලා කටයුතුවලට සම්බන්ධ වෙනවට එයාගේ අකැමැත්තකුත් නැහැ.

සීමා දාගෙන වැඩ කළොත් බොහෝ වැඩ මඟහැරෙන්න පුළුවන්. ඒ ගැන තැකීමක් නැද්ද?
අපිට කරන්න පුළුවන් සීමාව තේරුම් ගත්ත, එයට එකඟ වෙච්ච නිර්මාණකරුවෝ පිරිසක් ඉන්නවනේ. ඔවුන් මට නිර්මාණවලට ආරාධනා කළොත් මට පුළුවන් විදිහට මම ඒ නිර්මාණවලට සම්බන්ධ වෙනවා. මං කරන සීමාව තේරුම් ගත්ත පිරිස එක්ක වැඩ කළාම ඇති.

ලංකාවට පදිංචියට එන්න අදහසක් නැද්ද?
ලංකාවට පදිංචියට එන්න අදහසක් තියෙනවා. සැමියත් කැමැතියි ලංකාවට එන්න. අපේ නෑදෑයෝ හැමෝම ඉන්නෙත් ලංකාවේ. ලංකාවට එන්න සුදුසු තත්ත්වයන් හදාගෙන තමයි ලංකාවට එන්නේ.

විදේශගතව ගෙවන ජීවිතයටද ලංකාවේ ජීවත්වෙන්නද වඩාත් කැමැති?
විදේශගත ජීවිතයේ වරදක් නැහැ. පවුලේ කවුරුවත් එහේ නැති නිසා තනිවෙලා වගේ හැඟීමක් තියෙනවා. ඒ වගේම විදේශගත වෙලා ඉන්නකොට කැමැති කලා කටයුත්තක් කරගන්නත් අමාරුයි. අපේ හැමෝම ලංකාවේ ඉන්න නිසා ලංකාවේ ඉන්න කැමැතියි. ඒ නිසා ලංකාවට එන්න බලාගෙන ඉන්නවා.

ලංකාවේ අය විදේශගත වෙන්න දඟලද්දී විදේශගත වෙලා හිටපු ඔබ ලංකාවේ පදිංචියට එන්න හිතන එක අභියෝගයක් නෙමෙයිද? ඒකේ අභියෝගයක් තියෙනවා. අපේ දරුවන්ගේ අනාගතය ගැනත් හිතලා සියලු දේ සැලසුම් කරගෙන තමයි ලංකාවට එන්නේ. ලංකාවෙන් යන්න කලින් අයිශාරා වේදිකාවටත් සම්බන්ධ වුණා.

ආයෙත් වේදිකාවට එකතු වෙන්න අදහසක් නැද්ද?
වේදිකාව එක්කත් රැඳෙන්න ආසයි. ලංකාවේ පදිංචි වෙන්න ලැබුණොත් නැවත වේදිකාවට එකතු වෙනවා. ජයන්ත චන්ද්‍රසිරි මහත්මයාගේ හංකිති දහතුන වේදිකා නාට්‍යයෙන් පස්සේ තවත් වේදිකා නාට්‍යවලට සම්බන්ධ වෙන්න ආරාධනා ලැබුණා. නමුත් ලංකාවේ හිටපු නැති නිසා ඒ නිර්මාණවලට සම්බන්ධ වෙන්න ලැබුණේ නැහැ.

නීතිඥවරියක් වෙන හීනය අතහැරලද?
නැහැ. උපාධිය අවසන් කරලා තියෙන්නේ. ලංකාවේ ඉන්න ආවම ඉතිරි වැඩකටයුතු අවසන් කරලා නීති ක්ෂේත්‍රයෙන් වැඩ කරන්න තමයි හිතාගෙන ඉන්නේ.

අයිශාරා, ලංකාවේ නොහිටියත් ප්‍රේක්ෂක ප්‍රතිචාර අඩු නැතුව ඇති?
‘පැණි මකුළුවෝ’ චිත්‍රපටය නිසා බොහෝ අයගේ මතකයේ මම ඉන්නවා. ලංකාවේ නොහිටියත් ප්‍රේක්ෂකයන්ට මාව අමතක වෙලා නැහැ. ඒ ප්‍රේක්ෂකයෝ මම කරන අලුත් වැඩ ගැන අහනවා. ප්‍රදීප් ධර්මදාසගේ ‘අයිස් ක්‍රීම්’ චිත්‍රපටයට මම සම්බන්ධ වුණා. ඉතිං ඉදිරියේදී එය තිරගත වෙයි කියලා හිතනවා.

උපුටා ගැනීමකි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!