Gossip

“මට සුදුසුම සහකරුවා සමඟ විවාහ වෙන්න අවස්ථාව හිමිවුණා – ගෙවීගිය අතීතය පිළිබඳ පසුතැවිලි වන්නේ නැහැ” – දීපිකා ප්‍රියදර්ශනී

ඉතාම කුඩා අවධියේදී පවා දඟකාර ගති ස්වභාවයන් මා සතු වූයේ නැහැ. එම අවධියේදීත් නිහැඩියාවට මා වඩාත් ප්‍රිය කළා. සෑමවිටම චිත්‍ර ඇඳීම පොත්පත් කියවීම හා ගායනය වැනි නිර්මාණාත්මක කර්තව්‍යයක මා නිරත වූ බව මගේ මවුපියන්ද පවසනවා. එදා පටන් මා තුළ පැවති කලාවට හිතැති හා නිහඬ ස්වභාවය අදටත් එලෙසින්ම පවතිනවා. මගේ නිවෙස තුළ දිස්වෙන නිහඬ පරිසරය හා ස්වාභාවික පරිසරයත් මේ ආකාරයට නිර්මාණය වී තිබෙන්නේ මා එම ස්වභාවයට වඩාත් ප්‍රියකරන නිසාවෙනුයි.

කුඩා අවධියේ පටන්ම දහම් අධ්‍යාපනයට මා තුළ සුවිශේෂී ළැදියාවක් පැවැතුණා. මම දහම් පාසලට පිවිසෙන්නේ අවුරුදු 4ක් පමණ වන ඉතාම ළාබාල අවධියේ පටන්මයි. පන්සල් භූමියට එහි පරිසරයට හා දහම් අධ්‍යාපනයටත් මා විශේෂයෙන් නැඹුරු වූවා. එය සංසාරගත බැඳීමක් ලෙසත් මා හට හැඟෙනවා. මගේ නිවෙසට පසුව මනසට වඩාත් සුවදායි හැඟීමක් ගෙන දෙන ස්ථානය වූයේ දහම් පාසලයි.

ළදරු පාසලේදී මට හමුවන ලැනරෝල් ගුරුතුමිය ඉතාම ආදරණීය ගුරු මවක්. මා සතු වූ ගායනය, වාදනය හා චිත්‍ර ඇඳීම් වැනි සහජ හැකියාවන් ත්‍රිත්වයම හඳුනා ගත්තේ ඈ විසිනුයි. ඇය පන්තියේ නොමැති අවස්ථාවන්හිදී පියානෝව තෙක් මා උස නැති වුවත් මට හැකි අයුරින් එය වාදනය කිරීමට මා උත්සාහ ගනු ලැබුවා. පියානෝව මා වඩාත් ප්‍රියකරන ආදරණීයම සංගීත භාණ්ඩයක්. ඇයගේ කතා බහ හැසිරීම හා කාර්යන් පවා ඉතාම ආකර්ෂණීයයි. ගුරුවරියක ලෙස ඇයගේ පිළිවෙළ ඇඳුම් පැලඳුම්වලින්ද කැපී පෙනෙනවා. ඇගෙන් ලද ආභාසයත් පසුකාලීනව ගුරු මවක වූ මට වඩාත් බලපෑමක් ඇති කිරීමට සමත් වුණා.

ඇය ධර්මයට හා දහම් අධ්‍යාපනයට යොමු විය යුතුයි.
“මම පළමු ශ්‍රේණියේ සිටම අධ්‍යාපනය හැදෑරුවේ නුගේගොඩ අනුලා විද්‍යාලයෙන්. නමුත් පාසලට වඩා මම දහම් අධ්‍යාපනයට ප්‍රිය කළා. මසකට වරක් දහම් පාසලේ පැවැත්වෙන සභාවට මම අනිවාර්යයෙන් ගායනයක් ඉදිරිපත් කළා. මගේ ගායනය ඉදිරිපත් කරන තුරු සෑම දෙනාම බලා සිටින්නේ නොඉවසිල්ලෙන්. මට වැඩිමහල් සොහොයුරෙක්, වැඩිමහල් සොයුරියක් හා බාල සොයුරියක් සිටිනවා. නමුත් අනපේක්ෂිත ලෙස මගේ වැඩිමහල් සොයුරිය අප අතරින් සමුගන්නේ මගේ උපත සිදුවීමත් සමඟමයි. මෙම ඛේදනීය සිදුවීම මගේ ජීවිතය දහම් මාර්ගයට යොමු කළ සුවිශේෂී සිදුවීමක් වුණා.

දහම් අධ්‍යාපනයට අන් කවරකටත් වඩා මා ප්‍රිය කළේත් මේ හේතුවෙන්. මගේ උපත සිදුවීමට රෝහලට යෑමට සූදානම් වන මවට ඇඳුම් බෑගය සකසාදී තිබෙන්නේත් ඇය අතින්මයි. ඒ වනවිට ඇය අවුරුදු 3ක් පමණ වන කුඩා දැරිවියක්. ඒ වනවිටත් ඇය පිරිත් ශ්‍රවණය වැනි දැහැමි කටයුතුවලට ප්‍රිය කළ බව මගේ මවුපියන් මා සමඟ කියා සිටියා. මා මෙතරම් දහමට යොමුවීමට ඇයගේ වියෝවීමත් මට විශාල බලපෑමක් ඇති කරවන්නක් වුණා.

දහම් අධ්‍යාපනයට වැඩි උනන්දුවක් දැක්වූ මා සමස්ත ලංකා තරගාවලියේ පද්‍ය ගායනා අංශයෙන් පිට පිට වතාවන් 6ක් ශ්‍රී ලංකාවෙන්ම ප්‍රථම ස්ථානය දිනා ගන්නටත් සමත් වුණා. මෙලෙස ඉතාම සුන්දර අර්ථාන්විත ළමා වියක අත්දැකීම් විඳ ගැනීමේ භාග්‍යය අප හට හිමිවුණා. නමුත් වත්මන් සමාජයේ බොහෝ මනුෂ්‍යයන්ගේ සිත් සතන් තුළ වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව වැනි දුෂ්චරිත ස්වභාවයන් දැක ගැනීමට හැකි වන්නේ සාහිත්‍ය කලාව මෙන්ම දහම් අධ්‍යාපනය ඔවුන්ගෙන් ගිලිහී යෑම හේතුවෙනි. විශේෂයෙන්ම ඕනෑම මනුෂ්‍යයකුගේ ජීවිතය ඒකාලෝක වන්නට නම් නිසි දහම් අධ්‍යාපනයක් ලැබිය යුතුමයි. පසුගිය දිනවල අපට මුහුණපාන්නට සිදුවූ ඛේදනීය ඉරණම නිසි දහම් මඟට යොමුනොවූ පිරිසකගේ කුරිරු ප්‍රහාරයක් වන බව අපි සියලුදෙනාටම වැටහෙනවා. මේ සිදුවීමෙන් පසු එම අවාසනාවන්ත සිදුවීම සිදුවූ කටුවාපිටිය කිතුනු දේවස්ථානයට මා ගිය පසු මට ඉතාම සුවිශේෂී සිදුවීමක් දැක ගන්නට හැකි වුණා. එම කුරිරු ත්‍රස්ත ප්‍රහාරයෙන් සිය බිරිය හා දරුවා මියගිය එක් පුරුෂයෙක් පල්ලියේ සුන්බුන් ඉවත් කිරීමේ කටයුතුවලට සහාය වෙමින් පූජකතුමන්ගෙන් තවදුරටත් එහි කාර්යන් ගැන විමසා සිටියා. මගේ පැමිණීමට ස්තුති කරමින් ඔහු කියා සිටියේ ඔහුගේ බිරිය හා දරුවා සෑම සතියකම දේවස්ථානයේ පූජාවන්ට නිරන්තරයෙන් සහභාගි වන බවයි.

ඔහුගේ හැසිරීම මගේ සිත පුදුමයට පත් කළ සිදුවීමක් වුණා. මෙතරම් ව්‍යසනයකින් සිය පවුලම අහිමි වුවත් ඔහුගේ සිත අභ්‍යන්තරයේ මෛත්‍රිය, කරුණාව තවමත් ඉතිරිව ඇති බව මා හට වැටහුණා. ඔහුට එම ශික්ෂණය, කරුණාව හිමිව ඇත්තේ ඔහු අදහන ආගම මුල්කරගෙනයි. මෙම සිදුවීම් මාලාවන්ට මුල්වූ මරාගෙන මැරෙන පුද්ගලයන්ට එවැනි දහමක පහස නොලැබී යෑම මුළු මහත් සමාජයකටම මරණය සමීප කරවන්නට තරම් සමත්වූ ඛේදනීය සිදුවීමක් වුණා.

කිසිදු ආගමකින් ප්‍රාණඝාතයට අනුබල දීමක් සිදුවන්නේ නැහැ. තම කුස තුළ වැඩෙන දරුවා සමඟ ම්ලේච්ඡ ත්‍රස්තයන් ලෙස මියයන කාන්තාවකට කිසිදු දිනක උතුම් මාතෘත්වය හිමිකර ගැනීමට අවකාශ හිමි වන්නේ නැහැ. මේ නිසා බෞද්ධයන් වන අපට හිමිව ඇති අති උතුම් ශ්‍රී සද්ධර්මය හා දහම් අධ්‍යාපනය ඉතාම සුවිශේෂී වන්නක් දහම් අධ්‍යාපනයට නැඹුරු වීමෙන් අප ශ්‍රවණය කරන පිරිත්, දේශනා හා බණ කතා ආදියෙන් සමාජයට වඩාත් හිතකර සද්ගුණවත් දීවිපෙවෙතකට අප නිතැතින්ම පෙලඹෙනවා. එය අප ලැබූ සුවිශේෂී භාග්‍යයක්.”

ඇය තම හැකියාවෙන් හා උගත්කමින් මතු පරපුරට සේවයක් කළ යුතුයි
“පාසල් අවධියේදීත් මා කැපී පෙනෙන චරිතයක් වූයේ මා සතුවූ ගායන හැකියාව නිසයි. පළමු ශ්‍රේණියේදී මගේ ගුරුතුමිය මා සතු ගායන හැකියාව මෙන්ම දෑතින්ම චිත්‍ර ඇඳීමට තිබූ හැකියාවත් හඳුනා ගත්තා. අප සතු සහජ හැකියාවන් අපේ මවුපියන්ට පසුව හඳුනාගන්නේ දෙවැනි මව වන ගුරුවරියයි. එවැනි සුන්දර නිර්මාණශීලී ළමා අවධියක් මට හිමිව තිබුණා.
මගේ පියා ඉන්ජිනේරුවරයෙක් වශයෙන්ද මව හෙදියක් ලෙසද වෘත්තීන්හි නිරත වූ නිසාවෙන් වෛද්‍යවරියක වීමේ කැමැත්තක් මා සතු වුණා. නමුත් වෛද්‍ය අංශයෙන් විශ්වවිද්‍යාලයට පිවිසීමට ලකුණු ප්‍රමාණවත් නොවීම හේතුවෙන් කලා විෂය ධාරාව හදාරා පසුව මා අධ්‍යාපනවේදී උපාධිය හිමිකර ගනු ලැබුවේ ගුරුවරියක වීමේ අපේක්ෂාවෙන්.
දරුවන් පිළිබඳ දැඩි සෙනෙහසක් මා සතුවූ නිසා මගේ පළමු ගුරු පත්වීමෙන්ම මා ඉල්ලා සිටියේ 5 වැනි ශ්‍රේණියයි. මගේ පළමු පත්වීම හිමිවුණේ ගොරකාන කනිෂ්ඨ විද්‍යාලයට. එය තරමක් දුෂ්කර පාසලක්. සෞන්දර්ය විෂයක් ලෙස සංගීතය උගන්වන විට පාසලේ සියලුම සිසුන් එයට ඉතාම උනන්දුවෙන් සහභාගි වුණා. නමුත් එම පාසලේ සිටි මුස්ලිම් දරුවන්ට ඔවුන්ගේ ආගමික පසුබිම හරහා සංගීත අධ්‍යාපනයට අවකාශයක් හිමි වුණේ නැහැ. මේ නිසා දරුවන් සංගීතයට ප්‍රිය කළත් මවුපියන් නිරන්තරයෙන්ම පාසලට පැමිණ ඔවුන් එයට විරුද්ධ වන බව කියා සිටියත් එම බාධක මැද මම දරුවන්ට සංගීතය ලබාදෙන්නටත් උනන්දු වුණා. එය තරමක් දුෂ්කර පාසලක් වූ නිසා සංගීත භාණ්ඩ ආදිය මිලදී ගන්නට පාසලේ ප්‍රසංග හා කැට මඟින් මුදල් එක් රැස් කිරීමටත් දරුවන් සමඟ මාද එක්ව කටයුතු කළා.

ඒ වනවිටත් මම ජනප්‍රිය කලාකාරිනියක් වුවත් ඒ සියල්ල පසෙකලා පාසලට පැමිණ විට මා සාමාන්‍ය ගුරුවරියක ලෙස මගේ වෘත්තියට දැඩි කැපවීමෙන් කටයුතු කළා. ඒ දරුවන් සමඟ ගත කළ අවධිය ඉතාම සුන්දරයි. අවුරුදු හතරක් පමණ ගොරකාන විදුහලේ සේවය කර ඉන් අනතුරුව නුගේගොඩ අනුලා විද්‍යාලය හා අවසානයට කොළඹ විශාඛා විද්‍යාලයේ ගුරුවරියක ලෙසත් සේවය කිරීමට මට අවකාශ හිමිවුණා. විවිධ පරාසයන් සහිත පාසල් තුනක සේවය කර වසර විසිඅටක ගුරු සේවයේ අත්දැකීම් ලබාගැනීමට හැකිවීමත් මට හිමි වූ භාග්‍යයක්. දරුවන්ට බෙහෙවින්ම ආදරය කරන ගුරු මවක් ලෙස මගේ සංගීත දැනුම ලබා දෙන්නට සෞන්දර්ය ශාලිකාව නමින් මගේම සංගීත ආයතනයක් පසුව ආරම්භ කළා.”

ඇය කාර්යබහුල වුවද තම පෞද්ගලික ජීවිතයට මුල් තැන දිය යුතුයි
“තාරුණ්‍යය ඉතාම සරල සුන්දර මතකයන් රාශියක් අපේ ජීවිතයට සමීප කරවන්නට සමත් වන අවධියක්. නමුත් අතීතය දෙස හැරී බලන විට තාරුණ්‍යයේ ඇතැම් සුන්දර අත්දැකීම් කාර්යබහුලත්වය හේතුවෙන් මා අතින් ගිලිහි ගියාදෝ යැයි හැඟෙන අවස්ථාවන් තිබෙනවා. තරුණ්‍යයේ අත්විඳින බොහෝමයක් අත්දැකීම් මේ හේතුවෙන් මා අත්දකින්නේ මේ වර්තමානයේදියි. කුඩා අවධියේ පටන්ම කලාවට සමීප වූ මා හට හිමිවූයේ ඉතාම කාර්යබහුල දිවිපෙවෙතක්. පාසල් වේලාවෙන් පසු සවස් යාමයේ ජාතික රූපවාහිනියේ ටයි මාමාගේ වැඩසටහන් සඳහාත් සහභාගි වන්නට මා හට සිදුවුණා. ඉන් අනතුරුව තරුණ වියේදී කලාකාරිනියක් හා ගුරුවරියක් ලෙස වෘත්තීය ජීවිතයද කාර්යබහුලව ගතකරන්නටත් සිදුවුණා. මේ කටයුතු සියල්ල මධ්‍යයේ තාරුණ්‍යය කෙමෙන් ගෙවී ගියේ මටත් නොදැනීමයි.”

ඇය කිසිවිටෙක ගෙවුණු අතීතය ගැන පසුතැවිලි නොවිය යුතුයි
“විවාහය අත්‍යවශ්‍යම දෙයක් ලෙස මා දකින්නේ නැහැ. වත්මන් යුවතියන් තම ශක්‍යතා වැඩි දියුණු කර ගනිමින් වෙනස් වූ වෘත්තීන්වල වඩාත් සාර්ථකව නියැළෙනවා. මමත් යම් අවධියක මගේ ජීවිතයේ ප්‍රමුඛත්වයදී තිබුණේ වෘත්තියටයි. වෘත්තියට ප්‍රමුඛත්වය ලබාදෙමින් වඩාත් කාර්යබහුල වනවිට කාලයක් සමඟ ගෙවී යන තාරුණ්‍යය පිළිබඳ සිතුවිල්ලත් අපෙන් ගිලිහී යනවා. එම අවධියේ යෞවනියක ලෙස අත්විඳීමට තිබූ බොහොමයක් අවස්ථා ගිලිහී ගිය බව මට සිහියට නැඟෙන්නේ මේ වනවිටයි. නමුත් මම කිසිවිටෙකත් ගෙවීගිය අතීතය පිළිබඳ පසුතැවිලි වන්නේ නැහැ. මට හිමිවන සෑම දෙයක්ම ඉතාම සතුටින් උපේක්ෂාවෙන් පිළිගනු ලබනවා.

නමුත් ඇතැම් පුද්ගලයන් අපට හමුවන්නේ ඉතාම අනපේක්ෂිත අයුරින්. එම පුද්ගලයා තමාට වඩාත් සුදුසු යැයි හැඟෙන විට ඔහු හෝ ඇය හා විවාහ වීමට අප දෙවරක් සිතා සිටින්නේ නැහැ. මමත් ඒ සුන්දර අත්දැකීම අත්විඳින තවත් කාන්තාවක්. අවිවාහකව සිටීමේ අදහසක් මා තුළ කිසි දිනෙක තිබුණේ නැහැ. මට සුදුසු යැයි හැඟුණු පුද්ගලයකු මින් පෙර මට හමුවූයේ නැහැ. යම් පුද්ගලයකු හා විවාහ වීමට නම් ඔහු හෝ ඇය කෙරෙහි හදපත්ලෙන්ම ඇතිවන සුවිශේෂී හැඟීමක් ඔබ සතු විය යුතුයි.”

ඇය තම මවුපියන් හොඳින් රැකබලා ගත යුතුයි
“මගේ පියා හා මා අතර පැවැතියේ ඉතාම සෙනෙහෙබර බැඳීමක්. ඔහුගේ වියෝව මට විශාල කම්පනයක් ඇති කළ සිදුවීමක් වුණා. ඉන් අනතුරුව මගේ මෑණියන් හොඳින් රැකබලා පෝෂණය කර ගැනීම මාගේ ඒකායන අපේක්ෂාව වූවා. දැන් ඇයට අවුරුදු 85ක්. මගේ පියාගේ වියෝවීමෙන් පසු මම හැමවිටම ඇය සමීපයෙන්ම රැඳෙමින් ඇයට ශක්තියක් වුණා. එදා පටන් අද වනතුරු මාගේ කාර්යයන් වෙනුවෙන් ඇය කිසි විටෙකත් වෙහෙසීමට පත්නොකිරීම පිළිබඳ මා තුළ පවතින්නේ විශාල සතුටක්. මගේ ජිවිතයේ බොහෝ කැපකිරීම් සිදුකළේ මගේ මවට අවශ්‍ය සියලු සැප සම්පත් ලබාදීමේ අපෙක්ෂාවෙන්. ඇයව පෝෂණය කරමින් ඇය ධර්ම මාර්ගයට යොමුකර වඩාත් සුවදායී ජීවිතයක් ඇයට ලබාදීමට හැකි වීම මා ලද සුවිශේෂී භාග්‍යයක් ලෙස මා දකිනවා.

සියලු සැප සම්පත් හිමිකර දෙමින් ඇයව තෘප්තිමත් කළද මගේ විවාහය පිළිබඳ ඇය නිරන්තරයෙන්ම මා හට කියා සිටියා. අවසානයේ ඇයගේ එකම ප්‍රාර්ථනය ඉටු කරමින් මා හට සුදුසුම සහකරුවා සමඟ විවාහවීමටත් මට අවස්ථාව හිමිවුණා.”

විවාහ ජිවිතයේදී ඇය බොහෝ කැප කිරීම් කළ යුතුයි
“සැබැවින්ම අප දෙදෙනාගේ හමුවීම අහඹු සිදුවීමක්. ඔහු ගීත රචකයෙක්. ඔහු මගේ ගීතවලට ප්‍රිය කරන මගේ ආදරණීය රසිකයෙක්. ඔහු විදෙස්ගතව සිටි අවධියේදී මගේ ගීත පිළිබඳ දුරකථනයෙන් විමසා සිටියා. කාලයක් සමඟම අප දෙදෙනා අතර පැවැති කතාබහ වඩාත් සමීප ඇසුරක් බවට පත්වෙමින් අවසානයේ විවාහය තෙක් පැමිණියා. සැබැවින්ම විවාහ ජීවිතය මට තරමක් නුහුරු අත්දැකීමත් වුණා.

සියලු කාර්යයන් ස්වාධීනව සිදුකරගත් මා හට විවාහ ජීවිතයේ අත්දැකීම තරමක් ආගන්තුකයි. ස්වාධීනව කටයුතු කළ සෑම කාන්තාවකටම මෙය පොදු අත්දැකීමක්. නමුත් අපි කාලයත් සමඟ තම සහකරු සමඟ අනේ‍යාන්‍ය අවබෝධයෙන් කටයුතු කරමින් තම වගකීම් නොපිරිහෙළා ඉටු කිරීමට වගබලාගත යුතුයි. විෂම වූ පරිසරයන්හි හැදී වැඩෙන දෙදෙනෙකු එක්ව ගමන් කරන විවාහ දිවිය තුළ ඉවසීම යන සාධකය දැඩිව පැවැතිය යුතුයි. ජීවිතයේ මුහුණපාන ඕනෑම කටුක අවස්ථාවකදී ඉවසීමේ ගුණය නිරන්තරයෙන්ම මා තුළ පවතින්නක්. ඕනෑම අසීරු අවස්ථාවක් හමුවේ වුවත් දැඩිව ඉවසීමෙන් කටයුතු කිරීමේ හැකියාව මා සතුයි. එය මා සහජයෙන්ම ලද ගුණයක්. මෙතෙක් දිවිය තුළ අහිමි වූ කිසිවක් පිළිබඳ මා පසුතැවිලි වන්නේ නැහැ. අපට යම් යම් දේ අහිමි වී ගිය මුත් එය හඹා යමින් ඒ පිළිබඳ ළතවීමෙන් කිසිදු සැනසීමක් ලබාගත නොහැකියි.

දැන් එය සිදුවී අවසන්. තවදුරටත් එයට ද්වේෂ කරමින් හඬා වැටෙමින් කාලය මිඩංගු කිරීම නිෂ්ඵල ක්‍රියාවක්. ඒ පසුපස හඹායෑම තමන්ගේ මනසටත් විශාල පීඩනයක් ගෙන දෙන්නක්. කාන්තාවක් සිය පවුල් දිවිය තුළ විශ්වසනීයත්වය රැක ගැනීමට වඩාත් සැලකිලිමත්ව කටයුතු කිරීම ඉතාම වැදගත්. විවාහය වඩාත් වගකීම් සහගත බැඳීමක්. දෙදෙනෙක් එක් කිරීමට වඩා දෙදෙනෙක් විරසක කිරීමට එක්වන පිරිස වැඩියි. මම එවැනි චරිත දැක තිබෙනවා. මේ නිසා කාන්තාවක් විවාහයෙන් පසුව තමාගේ කාර්යයන් පිළිබඳ පෙරටත් වඩා සැලකිලිමත්වීම වැදගත් කාරණයක්.”

ඇය කිසිවිටෙක කිසිවකුට පරිභව නොකළ යුතුයි
“මම කාන්තාවන්ට දැඩිසේ කියා සිටින තවත් කාරණයක් තිබෙනවා. ඇය වචන හැසිරවීමේදී වඩාත් විචක්ෂණශීලීව සිතා බැලිය යුතුයි යන්නයි. යම් පුද්ගලයකුගේ යම් ක්‍රියාවක් නෙත ගැටුණද ඉන් කිසිවකුගේ චරිතයට කැළලක් ඇති කරන්නේ නම් එය කිසිවකුටත් නොපවසන්න. එම ගුණය කාන්තාවකගේ ජීවිතයට වඩාත් වැදගත් වන්නක්. එවැනි දේ පිළිබඳව ඔබෙන් විමසීම් කළද එය නොදුටු ආකාරයට පිළිතුරු දෙන්න. මගෙන් එවැනි සිදුවීම් පිළිබඳ විමසීම් කරන කිසිදු අයකුට අන් අයට පරිභව කෙරෙන කිසිදු වදනක් පිට නොකිරීමට මම නිරන්තරයෙන්ම සැලකිලිමත් වෙනවා.”

ඇය අන් අයගේ ජීවිතවලට එබිකම් නොකළ යුතුයි.
“යම් දිනක උතුම් මාතෘත්වය හිමිකර ගන්නා කාන්තාවක් සතුව මෙවැනි ගුණාංග තිබීම වැදගත්. අප යම් අයෙක්ට පරිභව කළහොත් එය නැවත තමා කරා නිතැතින්ම පැමිණෙන බවත් ඔබ සිහි තබා ගන්න. ඒ අනුව ද්වේෂ සිතින් යම් චරිතයකට පරිභව කළහොත් එය ඔබටත් එම ඉරණමට මුහුණදීමට සිදුවීම නම් ඒකාන්තයි.
පළමුව ඔබ තමන්ව ස්වයංව අධ්‍යයන කරන්න. ඔබ සතු දුර්වලතා හොඳින් හඳුනා ගන්න. එම දුර්වලතා දිනෙන් දින අවම කර ගනිමින් වඩාත් යහපත් පුද්ගලයකු ලෙස ජීවත් වීමට අදිටන් කරගන්න. තමා කිසිදු අකුසල් කටයුත්තකට වචනයකින් හෝ දායක නොවීම පිළිබඳ ස්වයංව අගය කරන්න. අන් පුද්ගලයන්ගේ දුර්වලතා සෙවීමට ඔබගේ වටිනා කාලය මිඩංගු නොකරන්න.

මම කලා ක්‍ෂේත්‍රයට පැමිණ මේ වනවිට වසර 30ක් පමණ වෙනවා. මම විදෙස් සංචාරයන්ට සහෝදර කලා තරු සමඟ නිතරම සහභාගි වෙනවා. මම ඉතාම සුහදශීලීව විනෝදයෙන් ඒවාට එක්වී නිවෙසට පැමිණියත් ඒ පිළිබඳ පශ්චාත්තාපයක් හෝ දෝෂාරෝපණයක් කිසිදු විටෙක සිදුකරන්නේ නැහැ. මම මගේ මව සමඟවත් නිවෙසේදී කලාකරුවන් පිළිබඳ කතිකා කරන්නේ නැහැ. ඇතුළත ගිනි පිටතට නොදීම හා පිටත ගිනි ඇතුළතට නොගැනීම පිළිබඳ අපගේ බෞද්ධ දර්ශනය තුළත් සඳහන් වෙනවා. කාන්තාවක් මේ පිළිබඳවත් දෙවරක් සිතා කටයුතු කළ යුතුයි. අන් අයගේ චරිත ස්වභාවයන් පිළිබඳ කතිකා කිරීම අනුවණ ක්‍රියාවක්. ඉන් කිසිවකුටත් පලක් වන්නේ නැහැ. එය සම්ප්‍රලාපයක් පමණයි.”

ඇය යහපත් දේ කරමින් මලක් සේ සුගන්ධවත් විය යුතුයි
“පසුගිය දිනෙක සිදුවූ ව්‍යසනයෙන් මියගිය ගැහැනු දරුවකුගේ ඡායාරූප ඉතාම අශිෂ්ට ලෙස සමාජ මාධ්‍ය ජාලාවල ප්‍රචාරය වුණා. එය කෙතරම් අවිනීත ක්‍රියාවක්ද මම එවැනි දර්ශන නැරැඹීමට ප්‍රිය කරන්නේ නැහැ. එම සිදුවීමට යම් පුද්ගලයෙක් මුහුණ පා තිබෙනවා. දැන් එය සිදුවී අවසන්. තවදුරටත් එම ඡායාරූප ප්‍රචාරය කරමින් ඔවුන් අත් කරගන්නේ කුමන ආකාරයේ වින්දනයක්ද? ඔබ එම පුද්ගලයා බවට පත්වුවහොත් ඔබට අත්විඳීමට සිදුවන ඉරණම කෙසේ විය හැකි දැයි මොහොතක් සිතා බලන්න. එවැනි තත්ත්වයට ඔබ පත්විය යුතු නැහැ. කාන්තාව ඉතාම සුන්දර මලක් බඳුයි. ඇය මලක් මෙන් විකසිත වී දසත සුගන්ධය විහිදුවා මිය යා යුතුයි. ඇය සුවඳවත් මලක් විය යුතුයි. ඇය යහ ගුණයෙන් හැදී වැඩී යහපත් දේ සමාජයට දායද කරමින් සිය සේවය ලබා දෙමින් සුවද විහිඳවමින් සිය ජීවිතයේ අවසන් ගමන යා යුතුයි.”

ඇය ඉවුම් පිහුම්වලටත් ගේදොර වැඩ කටයුතුවලටත් දක්ෂ විය යුතුයි
“මම ආදරණීය ගුරු මවක් ලෙස කටයුතු කරන අතරම ගෘහණියක්, බිරියක් ලෙස නිවෙස පිරිසුදුව තබා ගනිමින් අවට පරිසරය වඩාත් අලංකාරව තබා ගැනීමටත් වැඩි උනන්දුවක් දක්වනවා. ස්වභාව දහමට සමීපව දිවි ගෙවීමටත් මා වඩාත් ප්‍රිය කරනවා. මගේ නිවෙසේත් වැඩි අවකාශයක් වෙන්වන්නේ. ඒ වෙනුවෙන් මේ සියල්ල පිළිවෙළට තබා ගැනීමට වැඩි වෙහෙසක් දැරීමට සිදුවුණත් කොළ පැහැති තුරුලතා නිරන්තරයෙන්ම නෙත ගැටීමෙන් ගතට මෙන්ම සිතටද දැනෙන සුවය වචනයෙන් කිව නොහැකි තරම්.
විශේෂයෙන්ම කාන්තාවක් සිය නිවෙස ඉතාම ආකර්ෂණීය ප්‍රිය උපදවන ස්ථානයක් ලෙස තබා ගැනීමට උනන්දු විය යුතුයි. එය අන් අයගේ අගය කිරීමට මෙන්ම ඔබේ කායික හා මානසික සුවයටත් හේතු වන්නක්. නමුත් අද බොහෝ කාන්තාවන්ගේ අලස ගති ස්වභාවය නිසා නිවෙස අලංකරණයට හා ඉවුම් පිහුම් කටයුතුවලටත් එතරම් උනන්දුවක් දක්වන්නේ නැහැ.

ඉවුම් පිහුම් පිළිබඳ අවබෝධයක් නොමැතිවීම කාන්තාවක් ලැජ්ජාවට පත්විය යුතු කාරණයක්. මා හට ඉතාම ප්‍රණීත ආහාර වර්ග පිළියෙල කිරීමට විශේෂ හැකියාවක් තිබෙනවා. මගේ සැමියා සහ හිතවතියන් පවා මා අතින් පිළියෙල කරන ආහාර රස විඳින්නේ ඉතාම කැමැත්තෙන්. එමෙන්ම ඇය ආගන්තුක සත්කාර සිදුකරමින් සිය නෑ හිතමිතුරන් සමඟ වඩාත් සමීප හිතවතියක් ලෙස කටයුතු කිරීමත් යහපත් බිරියක් හා මවක් සතු විය යුතු ගුණාංගයක්.”

සැමියාගේ ආහාර පාන ඇය අතින්ම සකසා දීමට ඇය වගබලා ගත යුතුයි
“මවක්, යෙහෙළියක්, සොයුරියක් හා බිරියක් ලෙස විවිධ භූමිකාවන්හි නිරත වෙමින් සිය සැමියාට යහපත් බිරියක් වීමේ වගකීම පැවරෙන්නේ ඇයටයි. මගේ අතින්ම පිළියෙල කරන ආහාර හා තේ පානයත් ඔහුට ලබාදීමෙන් මා විශාල තෘප්තියක් ලබනවා. මම එය සිදුකරන්නේ ඉතාම සතුටින්. නිවෙසක කාර්යයන් පවා සැමියා හා බිරිය අනේ‍යාන්‍ය සහයෝගයෙන් සිදුකිරීම මඟින් දෙදෙනාගේ ආදරය, බැඳීම තවත් ශක්තිමත් වන අතරම ඉතාම පහසුවෙන් එය සිදුකිරීමටත් හැකි වෙනවා. එකිනෙකාට ගරු කිරීමේ අදහසින් ඔහුට හෝ ඇයට සහායක් වීමට ඔබත් නිවෙසේ කාර්යන්ට සහභාගි වීම වැදගත් වෙනවා.”

ස්වාධීනව දිවි ගෙවීමට නම් ඇය තමාට සුදුසු රැකියාවක් කළ යුතුයි
“තම ශක්‍යතා අනුව කිනම් හෝ ක්‍ෂේත්‍රයකින් උසස් අධ්‍යාපනය හැදෑරීම වත්මන් කාන්තාවගේ වටිනාකම වැඩි කිරීමට හේතු වන්නක්. එයට සරිලන වෘත්තියක නිරත වෙමින් උපයා ගන්නා චේතනය තම මවුපියන් පෝෂණය කරමින් පින් දහම් කිරීමටත් යොදාගත හැකි නම් ඔබට ස්වාධීනව දිවි ගෙවීමට එය මහත් රුකුලක් වන බව නම් නිසැකයි. මගේ අදහසට අනුව නම් කිසිදු කාන්තාවක් කිසිදු කාර්යක නිරත නොවී නිකරුණේ කාලය ගත කිරීම සුදුසු වන්නේ නැහැ.

නිවෙසේ කාර්යයන් ගෙවතු වගාව වැනි යම් ඵලදායී කාර්යය ඇය හැමවිටම නිරත විය යුතුයි. තම දෑත දෙපය සවිමත්ව ඇතිතාක් තම මවුපියන් රැකබලා පෝෂණය කිරීම හා සමාජයට ඉටුවිය යුතු යුතුකම් නොපිරිහෙළා ඉටුකිරීමටත් සිහි තබාගත යුතුය. මවුපියන් අපගෙන් වියෝවූ පසුව හඬා වැලපී සිටීමෙන් පලක් වන්නේ නැහැ. ඔවුන් ජීවත්ව සිටින විට ඔවුන්ව රැක බලා ගැනීමයි අප කළ යුතු වන්නේ.

මවුපියන් පමණක් නොව කිසිදු අයෙක් හැරගිය පසු හඬා වැටීමෙන් පලක් වන්නේ නැහැ. තමන් මෙලොව හැර ගිය පසු සමාජය ඔබ වෙනුවෙන් කඳුළු සලන තත්ත්වයට ගුණදහමින් පිරි වඩාත් සාර්ථක පුද්ගලයකු ලෙස සිය යුතුකම් නොපිරිහෙළා ඉටු කරන්න. යහපත් බිරියක්, මවක්, සොයුරියක් හා දියණියක් ලෙස මාගේ භූමිකාව පරිපූර්ණ කිරීමට මා අසමත් වේ නම් කෙතරම් ජනප්‍රිය ගායන ශිල්පිනියක වුවත් ඉන් ඵලක් වන්නේ නැහැ.”

මව්බිම

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!