Gossip

“මට අයිති දේ මගේ ළඟට එනවා කියලා මම හිතනවා. ඉවසීමෙන් මම මගේ ගමන යනවා”

2019 වසරේ දෙරණ සිනමා සම්මාන උ​ළෙලේ නැගී එන නළුවා ලෙස සම්මානයට පාත්‍රවන දෙව්නක පෝරගේ ළමා වියේදීම රංගනයට පිවිස ඉතාමත් පැහැබර අනාගතයකට පෙර නිමිති කියුවෙක්. සම්මානයට පාත්‍රවීමට පෙර සිට තමන් යන මාවත පිළිබඳ පැහැදිලි දැක්මක සිටි දෙව්නක සම්මානයට පාත්‍ර වීමෙන් ඉක්බිතිව ස්වකීය කලා දිවියේ ඉදිරිය ගැන කතාබහ කළේ මෙලෙසයි.

දෙව්නකට සඳරැස් ගැන මොනවද හිතෙන්නෙ?
ඇත්තටම සඳරැස්ගෙ චරිතය වෙනුවෙන් මම ගොඩක් කැපවුණා. මේ චරිතය වෙනුවෙන් ජයන්ත අංකල් මාව ගොඩක් පුරුදු පුහුණු කෙරෙව්වා.
මම හැමවිටම ඔහුගේ උපදෙස් ඒ ආකාරයෙන්ම සඳරැස්ගේ චරිතය සමග මුසු කරන්න උත්සාහ කළා කීවොත් හරි.

සඳරැස් නිසා දෙව්නකට මෙවන් සම්මානයක් ලැබෙයි කියල හැඟීමක් තිබුණද?
මෙම සම්මාන උළෙලේ මට ලැබිලා තිබුණෙ ජනප්‍රියම නළුවා කියන වර්ගීකරණය යටතේ තරග කරන්නයි.
කොහොමවත් ජනප්‍රියම නළුවා සම්මානය මට ලැබෙයි කියලා හිතුවෙ නැහැ. ඒක එස්.එම්.එස්.වලින් ලැබෙන එකක් නිසා මගේ යාළුවො මං වෙනුවෙන් එස්.එම්.එස්. ගැහුවා. කොහොම වුණත් ගොඩක් අය කිව්වා නැගී එන නළුවාගේ සම්මානය මට ලැබෙයි කියලා.
ඒත් මම නම් කොහොමවත් හිතුවෙ නැහැ මට සම්මානයක් ලැබෙයි කියලා. මට සම්මානය ලැබෙන බව හඟවමින් මගේ නම කියවෙත්දි මම ගොඩක් තැති ගත්තා තැතිගැන්ම කොතරම්ද කිව්වොත් මම සම්මානය අතට අරන් ආපසු ආවේ සභාවට ආචාර කළේවත් නැහැ.

දෙව්නක කලාත්මක සිනමාවට අයිති නළුවෙක්ද?
කලාත්මක සිනමාව වගේම වාණිජ සිනමාවේත් රඟපාන්න මම කැමැතියි. මට හැමදේම කරන්න ඕන.

දෙව්නක ඇයි මේ තරම් හෙමින් යන්නේ?
මම ලොකු වේගයකින් යන්නේ නැහැ. මට අයිති දේ මගේ ළඟට එනවා කියලා මම හිතනවා.
එතෙක් ඉවසීමෙන් මම මගේ ගමන යනවා. මම හිතනව ඉදිරියේදි මට තවත් හොඳ දේවල් කරන්න ලැබෙයි කියල.

දෙව්නකගේ ගමනේ ආරම්භය කොතැනද?
මම කලාවට එද්දි මට අවුරුදු හතයි. මේ වනවිට අවුරුදු එකොළහක් වෙනවා. මම කලාවට ඇවිත් මගේ ජීවිතයේ පළවෙනි දායකත්වය සිදුවන්නෙ වෙළෙඳ දැන්වීමකට එතැනට මාව සම්බන්ධ කළේ නැන්දයි, මාමයි. ඊට පස්සෙ මට චිත්‍රපටයක් ලැබුණා පිටසක්වළ කුමාරයයි, පැංචො හතයි. ඒකටත් මාව දැම්මෙ මගේ මාම. ඊට පස්සෙ සිහින වසන්තයක්, ගඟ අද්දර, ගැහැනු ළමයි, භාර්යාවො, රන්කෙණ්ඩිය වගේ ටෙලිනාට්‍යවල රඟපෑවා.
මගේ සාමාන්‍ය පෙළ විභාගයත් එක්ක රංගන කටයුතු නතර වුණා. නැවත මට රඟපාන්න ලැබෙන්නේ ජයන්ත චන්ද්‍රසිරි මහත්මයගේ ‘ඝරසරප’ හි සඳරැස්ගෙ චරිතය.

ඉදිරියේදී වැඩ ඇරඹීමට හා ප්‍රදර්ශනයට නියමිත නිර්මාණවල ඔබත් සිටිනවාද?
සිනමාවේ මට ඇරයුම් දෙකක් ලැබිලා තියෙනවා. ඒ දෙකේම මට ලැබිලා තියෙන්නෙ ප්‍රධාන චරිත. ලබන අගෝස්තු මාසයේ ඒවායෙ වැඩ පටන් ගන්න බව මට දන්වල තියෙනවා. ඒ හැරුණම මෑතක සිද්ධාර්ථ ගෞතම ටෙලි නාට්‍යයේ නන්ද කුමාරයගේ චරිතය මම රඟපෑවා.

ඔබගේ නැන්දණිය වන නිමන්ති පෝරගේ සහ ඇගේ සැමියාගේ නිෂ්පාදනවල ඔබ අනිවාර්ය රංගන ශිල්පියෙක්ද?
නැහැ. සිද්ධාර්ථ ගෞතම ටෙලි නාට්‍යයේ නිෂ්පාදක මගේ මාමා. ඒ නිර්මාණයේ නන්ද කුමාරයගේ චරිතයට යන්න කියලා මට කිව්වෙ මගේ නැන්දා. මම මගේ නැන්දට කවදාවත් බැහැ කියන්නෙ නැහැ. එහෙමයි කියලා මම අකැමැත්තෙන් දේකට යන්නෙත් නැහැ. මගේ නැන්දා මට නොගැළපෙන දෙයක් කරන්න කියන්නෙත් නැහැ කියලා මම දන්නවා.

සම්මානයත් සමග ඔබට තෝර ගන්න චරිත ගැන වැඩි අවධානයක් යොමු කරන්න වෙලාද?
මම හැමදාමත් කළේ හොඳ චරිත. ඉදිරියටත් මම මේ විදිහටම මේ ගමන යනවා.

දෙව්නක වෘත්තීය නළුවෙක්ද?
පාසල් වියේ ඉඳන්ම කලාවම තමයි කළේ. මම වෘත්තියක් තෝරගන්නවා නම් ඒක කලාවෙන්ම තමයි. හැම විටම රඟපාන විට මම සැහැල්ලු වෙනව හරියට මටම අයිති තැනක ඉන්නව වගේ හැඟීමක.

දෙව්නක ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයෙන් ඈත්ව ඉන්න නළුවෙක්ද?
මම ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ වැඩ භාරගන්නව අඩුයි. මට බයයි මම කරන චරිතය හොඳ නැති වුණොත් මාව මේකෙන් ප්‍රතික්ෂේප වෙයි කියලා. ටෙලි නාට්‍යවලට ගොඩක් ඇරයුම් ලැබුණට මට හරියන චරිත ලැබුණෙ නැහැ. ඒ නිසා ඒවට සහභාගි වෙන්න අදිමදි කළා.

දෙව්නකගේ රංගන දිවියේ හැදෑරීම් සිදුවෙනවද?
මම ඉස්කෝලෙ යන කාලෙ වේදිකා නාට්‍ය කළා. වේදිකාවේ මගේ පුහුණුකරු වුණේ පුබුදු ගමගේ මහත්මයා. එයාගෙන් මම ගොඩක් දෙවල් ඉගෙන ගත්තා. පුබුදු අයියට ගොඩත් ස්තුතිවන්ත වෙන්න ඕනෑ.මගේ රංගනය එයා ගොඩක් හැදුවා. ඒ වගේම මම ගොඩක් චිත්‍රපටි බලනවා. බොහෝ රංගන ශිල්පීන්ව කියවන්න උත්සාහ කරනවා. ජිමී කැරී ජොනීඩෙත්, ලියනාඩො කැප්රියෝ මගේ ප්‍රියතම නළුවන් මම ඔවුන්ගෙ රංගනයේ සියලු තැන් ග්‍රහණය කරගන්න උත්සාහ කරනවා.

දෙව්නක කලාව තෝරා ගැනීම ගැන පවුලේ අයගෙන් කැමැත්තක් තියෙනවද?
මෙතැනට එන්න මගේ තාත්තා මට ගොඩක් උදව් කරනවා. පාසල් වියේදිත් මම සංගීතය, නැටුම්, රංගනය ඔය ​කොයිදේත් කළා. සමහර වෙලාවට පන්ති කට් කරලා කලා කටයුතුවලට යන විදිහේ සිසුවෙක් මම.

උපුටා ගැනීම – අරුණ පුවත්පත

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!