Gossip

“මගේ මවුපියන් දිවා රෑ නොබලා වෙහෙස මහන්සි වුණා” -ලංකාවේ පළමුවරට වාචිකව පිළිතුරු සපයා උපාධිය ලබාගත් තිළිණි කිව්ව කතාව

දෑත දෙපා උපතින්ම සම්පූර්ණයෙන්ම ආබාධිත දැරියක් අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට හා උසස් පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍රවලට වාචිකව පිළිතුරු සපයා ඉන් විශිෂ්ට ලෙස සමත්වීමෙන් පසු පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ඉකුත්දා ලෝකයේ ප්‍රථම වතාවට උපාධියක් හිමිකර ගත්තාය. ඒ උපාධිධාරිනිය පසුගිය 07දා අපට කෑගල්ල වල්දෙණිය ප්‍රදේශයෙන් හමුවිය.

දෑත් හා දෙපා උපතින්ම ආබාධ වූ මෙම උපාධිධාරිනිය පිළිබඳ අපට තොරතුරු දන්වා සිටියේ ලංකාවේ එකම විශේෂිත මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා වන කෑගල්ල, අඹන්පිටිය විශේෂ මහා විද්‍යාලයේ විදුහල්පති බුද්ධික වික්‍රමනායක මහතාය.

යූ.ජී. තිළිණි නිමේෂා ජයතිලක නම් වූ මෙම සුවිශේෂී 26 හැවිරිදි උපාධිධාරිනියගේ පියා පුෂ්පකුමාර ජයතිලකය. මව ධම්මිකා කුමාරි සෙනෙවිරත්නය. දෙදෙනාම ගුරුවරුන් වන අතර තිළිණිගේ එකම බාල සහෝදරයා චතුරංග ජයතිලක කටුනායක තාක්‍ෂණ විද්‍යාලයේ මේ වන විට අධ්‍යාපනය ලබයි.

පුෂ්පකුමාර හා ධම්මිකා යුවළට 1992 ජුනි 25 වැනි දින කෑගල්ල මහ රෝහලේදී කුලුඳුල් දියණියක් උපත ලැබුවාය. ඇයට තිළිණි නිමේෂා ජයතිලක නමින් මවුපියන් නමක් තැබුවාය. මාස හතරක් පහක් පමණ කාලයක් ගතවන අවස්ථාවේදී මෙම දැරිය සාමාන්‍ය දරුවකුට වඩා වෙනසක් පෙන්නුම් කළ බව පුෂ්පකුමාර හා ධම්මිකා යුවළ අප සමඟ ප්‍රකාශ කළේය. ඒ සිය කුලුඳුල් දියණියගේ දෑත දෙපා අප්‍රාණික වූ බවය. රෝහල් ගණනාවකින් ප්‍රතිකාර ලබාගත් නිමේෂා කොළඹ ජයසිංහ විද්‍යාලය, කෑගල්ල ශාන්ත ජෝශප් බාලිකා මහ විද්‍යාලයෙන් හා පසුව ලංකාවේ එකම විශේෂිත කනිෂ්ඨ විද්‍යාලය වූ කෑගල්ල අඹන්පිටිය විශේෂ කනිෂ්ඨ විද්‍යාලයට 2004 වර්ෂයේ මවුපියන් විසින් ඇතුළත් කළාය.

නිමේෂා අධ්‍යාපනය ලැබීමට පාසලට ආවේ ගියේ රෝද පුටුවෙනි. අකුරු ලිවීමට අපහසුය. ඒ නිසාම නිමේෂා ගුරුවරුන් උගන්වන අවස්ථාවේදී ඇහුම්කන්දී පසුව විභාගවලදී පිළිතුරු ලබාදී ඇත්තේ වාචිකවය. ලංකාවේ පළමු වරට සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍රවලට වාචිකව පිළිතුරු සැපයූ එකම ශිෂ්‍යාව වන්නේද තම දියණිය බව මව ප්‍රකාශ කළාය.

2012 වර්ෂයේ උසස් පෙළ විභාගයට කලා අංශයෙන් බෞද්ධ සංස්කෘතිය, සිංහල හා දේශපාලන විද්‍යාව පිළිබඳ අධ්‍යාපනය ලබා උසස් පෙළ විභාගයට පෙනී සිට ඇය ඉහළින් සමත් වූවාය. පසුව පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත්වූ නිමේෂාට එහි පාලන අධිකාරිය විසින් තමන්ට වෙනම ඒකකයක් පිහිටුවා අධ්‍යාපනය ලබාදුන් බවත් එදා සිට අද දක්වා දිවයිනේ නන්දෙසින් විශ්වවිද්‍යාලයට පැමිණෙන ආබාධිත ශිෂ්‍යයන් එම ඒකකයට ඇතුළත් කර අධ්‍යාපනය ලබාදෙන බවත් ප්‍රකාශ කළාය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ 80 වැනි උපාධි උත්සවය යෙදී තිබුණේ පසුගිය ජූලි05දාය. ලෝකයේ ප්‍රථම වරට සියලු විභාගවලට පිළිතුරු වාචිකව සපයා ඉහළින් සමත්වෙමින් උපාධියක් හිමිකර ගත් එකම උපාධිධාරිනිය ලෙස ඇය ඉතිහාසගත වූවාය.

තිළිණි නිමේෂා ජයතිලක උපාධිධාරිනිය මෙසේ ප්‍රකාශ කළාය.

මගේ මවුපියන් මේ ජයග්‍රහණය වෙනුවෙන් දිවා රෑ නොබලා වෙහෙස මහන්සි වුණා. 2004 වර්ෂයේ කෑගල්ල, අඹන්පිටිය විශේෂ මහා විද්‍යාලයට ඇවිත් 2009 වසරේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනීසිට ඉහළින් සමත් වුණා.

සාමාන්‍ය පෙළ විභාගයෙන් පසුව මට උසස් පෙළ කරන්න කෑගල්ල රංවල මහා විද්‍යාලයට යන්න සිද්ධ වුණා. එම විද්‍යාලයේ පන්ති තිබුණේ තෙමහල් ගොඩනැඟිල්ලක ඉහළ මාලයේ. මට ඒකට යන්න බැරි නිසා එවකට සබරගමුව පළාත් ප්‍රධාන අමාත්‍යව සිටි මහීපාල හේරත් මහතා අඹන්පිටිය කනිෂ්ඨ විද්‍යාලයට ආපු දවසක මම කීවා මට උසස් පෙළ විභාගය ලියන්න රංවල විද්‍යාලයට යන්න බැහැ පුළුවන් නම් ඔබතුමාට මට උසස් පෙළ ඉගෙන ගන්න මෙම විද්‍යාලයේ උසස් පෙළ පන්ති ආරම්භ කරන්න පුළුවන්ද කියා ඉල්ලීමක් කළා. පසුව මහ ඇමැතිතුමා මා වෙනුවෙන් උසස් පෙළ ගුරුවරුන් මෙම විද්‍යාලයට එවලා කනිෂ්ඨ විද්‍යාලයක්ව තිබූ අඹන්පිටිය විද්‍යාලය මහ විද්‍යාලයක් බවට මා වෙනුවෙන්ම පත්කළා. මා මේ වෙලාවේ මහ ඇමැතිතුමාට ගොඩාක් ස්තූතිවන්ත වෙනවා.

ඊට පස්සේ මගේ අම්මයි, තාත්තයි දෙන්නම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්න මාව හැමදාම ත්‍රිරෝද රථයෙන් අරන් ගියා. ඒ දෙන්නත් ළඟ පාසලකට ස්ථාන මාරු හදාගත්තා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් වෙනම විශේෂ ඒකකයක් මටම කියලා ආරම්භ කළා.

දැන් මට පස්සේ ඒ ඒකකයෙන් තවත් විශාල පිරිසක් ඉගෙනුම ලබනවා. මා මේ තැනට එන්නට විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරු මහචාර්යවරුන්, ශිෂ්‍යාවන් මට ගොඩක් උදවු කළා.

උසස් පෙළ සමත් වෙලා මගේ බලාපොරොත්තුව තිබුණේ මහාචාර්යවරියක් වෙලා විශ්වවිද්‍යාලයේ උගන්වන්න. නමුත් ඒ දරුවෝ ගොඩක් ඉගෙන ගත්ත අය තමා විශ්වවිද්‍යාලයට එන්නේ. එතැනදී අපට කරන්න තියෙන්නෙ පොඩි දෙයයි. ඊට වඩා මට හිතුණා මගේ සීයා, කිරි අම්මා සහ මවුපියන් ගුරුවරුන් නිසා මමත් ගුරුවරියක් වෙලා පාසලක සාමාන්‍ය පෙළ හා උසස් පෙළ දරුවන්ට උගන්වන්න. මොකද බෞද්ධ සංස්කෘතිය මට හොඳට පුළුවන්. මට දැන් ඒ අවස්ථාව ලබාදෙන ලෙස ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා. මේ අවස්ථාවේදී අඹන්පිටිය විශේෂ මහා විද්‍යාලයේ විදුහල්පති බුද්ධික වික්‍රමනායක මහතාත්, මාගේ බාල සහෝදරයාත් මා වෙනුවෙන් කළ කැපවීම අගය කර සිටිනවා යැයි ඇය ප්‍රකාශ කළාය.

උපුටා ගැනීමකි – චමින්ද ජයලත්

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!