Gossip

“මං තමා දැනට බොරැල්ල කනත්තේ වළවල් කපන වයසකම මනුස්සයා. කාලා බීලා පඩි දවසට අඩියක් ගහලා චූන් එකේ ඉන්න තමයි කැමති” 

බොරැල්ල කනත්ත ගැන කිව්වම හුගක් අයගේ හිත්වලට දැනෙන්නේ චකිතයක්.
හැබැයි මේ කනත්ත ඇතුලෙත් අපූරු කතා කොයිතරම්නම් ඇතිද..?
මේ ඒ ගැන හොදාකාරවම දන්න බොරැල්ල කනත්තේ පැරණිම මිනිසා සමඟ හුවමාරු වුණු අපූරු කතාබහක්.

“මගේ නම කුමාර්. වයස අවුරුදු 64යි. මං තමා දැනට මෙහේ වළවල් කපන වයසකම මනුස්සයා.
මං දැනට ජීවත් වෙන්නේ නෝනා එක්ක කැලණියේ. මගේ පුතා දැන් කසාද බැඳලා ඉතාලියේ ජීවත් වෙනවා.
දුවලා දෙන්නත් බැඳලා. නෝනගේ ගම දෙනියායේ. අපි එහේ නම් යන්නේ නෑ. අපි කසාද බැඳලා එහේ ගිය මුල්ම දවස්වල තමයි දෙමළ මිනිස්සු හොය හොයා මැරුවේ.
මාව හොයාගෙනත් මිනිස්සු දෙතුන් වතාවක් ගෙදරට ආවා. නැන්දම්මා මාව හැංගුවා. පස්සේ ටික දවසක් ඒ ගෙදර හැංගිලා පාන්දර කොළඹ එන බස් එකක මායි මගේ නෝනයි හොරෙන් ආවා. එදායින් පස්සේ දෙනියායේ ගියේ නෑ.”

පොත්, පත්තර එහෙම කියවනවාද?
කොහෙද පුතා පොත් කියවන්න වෙලාවක් අපිට. දැන් ගෙදර යද්දි අටයි. උදේ හත වෙද්දි මෙතන ඉන්නෝනේ. නිව්ස් නම් බලනවා.

රස්සාව හොඳද?
මට නම් හොඳයි. පඩිත් ලැබෙනවා ජීවත් වෙන්න ඕන තරමට. අපිට කොහොමත් ලෝකෙ අල්ලන්න හීන නැහැ. අඩියක් ගහලා, කාලා බීලා ඉන්න මේ ඇති…

කනත්තට එන්නේ හැමදාම එකම කට්ටියක්ද?
නැහැ. ගැහැනු ළමයි එනවා. පිරිමි ළමයි එනවා. යක්කු, හොල්මන්, මහසෝනා ඉන්නවාද කියලා විස්තර අහන්න කට්ටියක් එනවා. මුස්ලිම් කට්ටිය හැර අනිත් හැම ආගමකම කට්ටිය එනවා.

මොනවද මෙහේ කරන්නේ ?
දවස් 365ම අපිට වැඩ තියෙනවා. වළවල් කපන්න අපි පස් දෙනෙක් ඉන්නවා. එක්කෙනෙක් අඩිය අඩිය ගානේ තමයි වළ කපන්නේ.
තව මිනී ඔළු, ඇටකටු වගේම අනිත් දේවල් අදින්න වෙන්නෙත් අපිට තමා. කනත්තේ ඒ කොණේ ඉඳන් මේ කොණට තණකොළ ටික මැෂිමෙන් කපන්නෙ මම. දැන් වළවල් කපන්න අරන් අවුරුදු දහයක් විතර.

විනෝදාංශ මොනවත් නැද්ද ?
විනෝදාංශේ තමා ඉතින් මෙහෙට වෙලා කාලා බීලා පඩි දවසට අඩියක් ගහලා චූන් එකේ ඉන්න එක. ඉස්සර නම් හැමදාම බිව්වා. දැන් ලෙඩ නිසා එහෙම බොන්නෙ නෑ .
ඔව්, ඔව් හොඳ සල්ලි කාරයා කෝටිපතියා වුණත් මෙහෙ එනවා. රනිල් මහතාගේ නෑදෑයා වුණත් එනවා. චන්ද්‍රිකා නෝනාගේ නෑදෑයා උනත් එනවා.

කනත්ත ඇරුණම වෙන කොහේවත් ඇවිදින්න යන්නේ නැද්ද?
අනේ නෑ . කෝච්චියෙ යන්න ආසයි. ඒත් අපි කොහේ කියලා යන්නද? කොල්ලා කාලේ නම් බදුල්ලෙ ගියා. ඔය හදිසියක් එහෙම වු⁣ණොත් ගාල්ලේ එහෙම යනවා කෝච්චියේ. ආයෙමත් යන්න ඕනේ. බලමු.

සිගරැට් ගණන් ගියානේ…
මං සිගරට් බොන්නේ නෑ. ඉඳලා හිටලා අඩියක් ගහනවා. අරක්කු ගණන් ගියා කිව්වට මං තාම බෝතලේ ගාන දන්නේ නෑ.
ඉස්සර නම් හැම එකේම ගාන දන්නවා. අනිත් අය නම් බොනවා හැමදාම වගේ. මම වයසක මිනිහා. ගෞරවනීය විදියට එපැයි ජීවත්වෙන්න.

කනත්තක දවස ගෙවෙද්දි බයක් දැනෙන්නෙම නැද්ද?
මෙහෙමයි ඉතිං හිත බය වුණොත් තමයි බය කියන එක දැනෙන්නේ. මං මෙතන ඉඳලා රෑ දොළහටත් බීලා ගෙදර ගිහිල්ලා තියෙනවා.
මේ වෙනකන් මිනිස්සු කියන විදියේ හොල්මනක් මම නම් දැකලා නැහැ…

අවුරුදු එහෙම ජයද?
ළමයි ඉන්නවා නම් අවුරුදු ජයයි. ඉන්න දරුවොත් සරමක්, ෂර්ට් එකක් උස්සන් අවුරුදු දාට එනවා. එතකොට නෝනා ගෙදර මොනවාහරි උයනවා. චාරිත්‍ර වාරිත්‍ර හරියටම කරනවා. දකුණේ මිනිස්සුනේ. ඉස්සර නම් අවුරුදු උත්සවවලට එහෙම ගියා. දැන් බෑ නාකි මිනිස්සුනේ.

සින්දු එහෙම අහනවද?
ටීවී එකේ සමහර දවස්වලට අහනවා. ජෝතිපාලගේ එ්වා තමා වැඩිපුරම අහන්නේ. කාර්තික්ටත් කැමතියි.

මැච් එක බලනවද?
ක්‍රිකට්වලට නම් එච්චර කැමති නෑ. නමුත් footballවලට කැමතියි. වික්ටෝරියා, සෝන්ඩර්ස් මැච් බලන්න මම සුගතදාස ස්ටේඩියම් එකට යනවා. මං තරුණ කාලේ football සෙල්ලම් කරලත් තියෙනවා.

බදු වැඩි වුණු එක ගැන මොකද හිතන්නේ?
මට ඒවා කිසිම දෙයක් වැඩක් නෑ. මං පඩිය ගෑනිට දෙනවා. මට බස් එකට යන්නයි ගන්නයි සල්ලි දුන්න ඇති. කොයිතරම් සෙල්ලම් දැම්මත් නොකා නොබී එකතුකළත් අවසානෙදි හැමෝම එන්නේ මෙතනටනේ. ඒක හොඳට තේරුම් අරන් ඉන්නේ මම.

Photo එකක් ගහමුද?
මං කලිසමක් ඇඳගෙන එන්නද?

උපුටා ගැනීම – [අයන්ත යුනේෂ් ප්‍රනාන්දු]

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!