Gossip

බිරිඳයි දරුවොයි කොහොම ජීවිතේට මුහුණ දුන්නද දන්නේ නෑ – මිතුරු වෙස් ගත් පස මිතුරෙකු නිසා ජීවිතය විනාශ වුණු මිනිසෙකුගේ සංවේදී හෙළිදරව්ව

දුකක්, කරදරයක් වගේම ප්‍රශ්නයක් වුණාම අපි ළඟින් ඉන්න හොඳ යාළුවෝ වගේම ළඟින් ඉඳන් පිහියෙන් ඇණලා වැරදි පාරට යොමු කරන පාපතර මිතුරන්ද අපි කා අතරත් ඉන්නවා.
ඒ විදිහේ යාළුවෙක් නිසා ජීවිතේ අකාලයේ විනාශ වුණු තරුණයෙකුගේ සංවේදී හෙළිදරව්වකි මේ.

කොහොමද හිරගෙදරට යන්න වුණේ..?

“මට හිරේ යන්න වුණේ යාළුවෙක් නිසා. ඒකයි මම යාළුවෙක් නිසා අමාරුවේ වැටුණා කියලා කිව්වේ. මං හිතනවා මගෙ කතාව කාට වුණත් හොඳ පාඩමක් කියලා. ”

කැමති ද ඒ කතාව කියන්න?

“අපොයි මොකට අකමැති වෙනවද? මම හොඳ රස්සාවක් කරපු කෙනෙක්.
මගේ නම ඇහුවම කවුරුත් වගේ මාව දන්නවා. ඒත් මේ කතාව ලිව්වට කමක් නැහැ මම කවුද කියලා හඳුන්වලා දෙන්නේ නැතිව.
මම දන්න යාළුවෙක් හිටියා විදේශ රැකියා ඒජන්සියක් කරපු. එයත් මමත් එක පන්තියේ ඉගෙන ගත්තේ.
එයා මට කිව්වා රට යවන්න අය හොයල දෙන්න කියලා. මම ඒ වැඩේ කරලා දුන්නා. මහා ලොකු ගානක් මට ලැබුණේ නැහැ.
මුලින් යවපු අය කිසිම කරදයක් නැතිව පිටරට රස්සාවට ගියා.
නමුත් දේශපාලන බලය මාරුවීමත් සමඟ අවසානයට යවන්න පොරොන්දු වුණු කට්ටයට තමයි මේ ප්‍රශ්නය ආවේ.
යාළුවට කරගන්න දෙයක් නැති වුණා. පිටරට යන්න සුදානම් වෙලා යාළුවට සල්ලි දීලා හිටපු අය නඩු දැම්මා.
යාළුව උසාවියට ඉදිරිපත් කළා. එයාට ශරීර ඇප දෙන්න උසාවිය තීන්දු කළා. නඩු හැට ගණනක් මිනිහට තිබුණා.
කොහොම හරි මම මිනිහට ශරීර ඇප දුන්නා. ඇත්තම කිව්වොත් මම යාළුවගේ තරම දැනගත්තේ ඊට පස්සේ තමයි.”

ඒ කොහොමද?

“මම දැනගෙන හිටියේ නැහැ ඒ වෙනකොට එයා රට යන්න සුදානම් වෙලා කියලා.
කොහොම හරි මම එයාට ඇප දීලා එළියට ගත්තදාට පහුවදාම එයා රට ගියා.
කාට කියන්නද එයා ලංකාවට තවමත් ආවේ නැහැ. එයාගේ දරුවෝ බිරිඳ ඉන්නේ පිටරට පොලිසියෙන් මාව අත්අඩංගුවට ගත්තා.
නීතිය ඉදිරියේ මම අසරණ වුණා. මට සිද්ධ වුණේ ඒකට දඬුවම් හැටියට අවුරුදු දොළහක්ම හිරේ ඉන්න.
මගේ ජීවිතේ හොඳම කාලේ හිරගෙදරට ගෙවුණා.
මගේ දරුවෝ බිරිඳ බොහෝ ආර්ථික ප්‍රශ්නවලට මුහුණ දුන්නා. මං දන්නේ නැහැ ඒගොල්ලෝ කොහොම ජීවිතයට මුහුණ දුන්නද කියලා.”

ඒක දිගටම අවුරුදු 12 හිරගෙදරම ගෙවිලා ගියාද?

“නැහැ ඒ ගෙවුණ අවුරුදු දොළහ ඇතුළත මම නිවාස නිවාඩු ලැබිලා හයපාරක් ගෙදර ගියා. අවා.
දැනුත් මම නිදහස් වුණේ බලපත්‍ර මත. ඒ නිසා මම හැම මාසයකට එක් දවසක් හිරගෙදර යන්න ඕන.
ගිහිල්ලා අත්සන් කරලා එන්න ඕන. ඒත් තවත් කාලයක් හිරේ ඉන්නවට වඩා මෙහෙම හරි එළියට එන්න ලැබුණ ඒක මට සහනයක්.”

ජීවත් වෙන්න මාර්ගයක් තියෙනවද?

“ඉස්සර මම බොහෝම හොඳ ජීවිතයක් ගතකරපු කෙනෙක්.
මට හොඳ රස්සාවක් තිබුණා. නමුත් ගෙවුණ කාලයේ මට ඒ හැමදේම නැති වුණා.
දැන් මට අලුතෙන්ම ගොඩනගන්න වෙලා තියෙන්නේ. මගේ දරුවෝ රස්සාවල් කරනවා. නමුත් මං මගේ හැකියාවෙන් යම් දෙයක් උපයනවා.”

හිරගෙදර ඉන්න කාලේ මොකද කළේ ?

“පරිගණක තාක්ෂණය ගැන ඉගෙන ගත්තා.
ඊට අමතරව මම භාවනා වැඩසටහන් වලට සහභාගි වුණා. සිල් සමාදන් වුණා.
හිරගෙදරට ගිය මුල් දවස්වල මම හරිම හිත් පැටලැවිල්ලෙන් හිටියේ. ඒ වුණත් පහුවෙන කොට හිත හදා ගත්තා. මේක සංසාරේ කරපු පව් පලදීමක් කියලා.”

අවුරුදු දොළහක් හිරේ හිටිය ඔබ හිරගෙදර ජීවිතය ගැන හිතන්නේ මොකක්ද?

“මම හිතන්නේ කවදාවත් කවුරුවත් නොයා යුතු තැනක් එතැන.
වැඩිපුරම හිරගෙදර ඉන්නේ කුඩු වෙළෙඳාම් කරන , කුඩු පාවිච්චි නොකර හිරගෙදරට ආපු අය අවසානයට කුඩු වලට ඇබ්බැහි වෙනවා.

ඒ වගේම තමයි රස්සාවට හිරේ එන අයත් ඉන්නවා.”

ඒ කවුද?

“රස්සාවට එනවා කියන්නේ මෙහෙමයි ඇතුළේ ඉන්න කවුරුහරි කුඩු මුදලාලි කෙනෙක් කිව්වොත් ඇතුළට කුඩු අවශ්‍යයි කියලා එළියේ ඉන්න එක්කෙනා කුඩු ගුලියක් ගිලිනවා.
ඊට පස්සේ එයාපොලිසියට අහුවෙන තැනක ඉඳලා ගංජා සුරුට්ටුවක් බොනවා.
පොලිසියෙන් එයාව අල්ලලා හිරේ දානවා.
ස්කැනර් නැති නිසා බඩ ඇතුලේ තියෙන ඒවා හොයන්න බැහැනේ. ඇතුළට ඇවිල්ලා කොහොම හරි කුඩු ටික දෙනවා.
පස්සේ ඇප දීලා මිනිහව බේරගන්නවා. ඒ වගේම මිනිහගේ ගානත් ලැබෙනවා. මේක රස්සාවට කරන අය ඕන තරම් ඉන්නවා. මම නම් කියන්නේ කුඩු වැරදි වලට එන අයව අනිත් අයත් එක්ක රඳවන්න නරකයි. එයාලව වෙනමම තියන්නයි තියෙන්නේ.”

 

මේ දවස්වල මොකද කරන්නේ?

“මේ දවස්වල ඔය සුළු සුළු දේවල් කරනවා.
ගෙවුණ කාලය හා වෙලාවකට දුක හිතෙනවා. ඇත්තම කිව්වොත් මම දැන් යාළුවෝ විශ්වාස කරන්නේ නැහැ. මං හැම විටම බලන්නේ මගේ පාඩුවේ ජීවත් වෙන්න.”

යාළුවට උදව් කරලා හිරේ එන්න වුණාම බිරිඳ දරුවෝ මොකද කිව්වේ?
“ඒ දවස්වල මගෙ දරුවෝ පොඩියි. ඒ අයට මේවා ගැන අවබෝධයක් නැහැ.

නමුත් තමන්ගේ තාත්තා හිරේ කියලා කියනවාට කවුරුත් කැමැති නැහැනේ. මගේ දරුවොත් ඒ වගෙයි. මේ ප්‍රශ්නෙදි හුඟාක්ම අසරණ වුණේ මගේ බිරිඳ. කොයි තරම් නිවැරැදි වුණත් හිරේ ගිය කෙනෙක්ව මිනිස්සු පිළිගන්නේ නැහැ.

මටත් ඒ වගෙයි. මාවත් කවුරුවත් පිළිගන්නේ නැහැ. මුල්ම නිවාස නිවාඩුව ලැබිලා ගෙදර ආව දවසේ මට හරි ලැජ්ජාවක් දැනුණා. සමාජය මාව කොහොම පිළිගනිවිද කියලා මට හිතා ගන්න බැරිව හිටියේ. නමුත් කාලයත් එක්ක හැමදේම වෙනස් වුණා.”

රට පැන්න යාළුවට මොකද වුණේ?
“මොනවා වෙන්නද එයා හොඳට ඇති. මං වින්ඳ දුක එයා වින්දෙ නැනේ. එයා කවදාවත් ලංකාවට එන එකක් නැහැ. එහෙම ආවොත් එයා නීතියට අහුවෙනවා.”

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!