Gossip

“බර කැරට් 112 ක්.. දියමන්තිය ගෙනාපු කෙනා වල්බල්ලන්ගේ සපා කෑමට ලක්ව මිය ගිහින්” – අත තියන තියන අය කරා අවාසනාව ගෙනා හෝප් දියමන්තිය – Photos

සුරංගනා කතාවල ශාපලත් පුද්ගලයන් සේම ශාප කරනා දුෂ්ට වූ මන්ත්‍රකරුවන් පිළිබඳ අප කොතෙකුත් අසා ඇත්තෙමු.
නමුත් ඒ සුරංගනා කතාවලදීය. අප ජීවත් වන ප්‍රායෝගික ලෝකය තුළ ශාප ලද්දවුන් පිළිබඳ නිශ්චිත වශයෙන්ම හඳුනා ගැනීමට නොහැකි වුවත් ශාප කරනා අය නම් අපට බොහෝ විට හමු වේ.
එම ශාප කිරීම තුළ ඇත්තේ ඊර්ෂ්‍යාවද එසේත් නැති නම් අන් කවර හෝ කරුණක්ද යන්න නිශ්චිත වශයෙන්ම දන්නේ එම ශාප කරන්නාම පමණි.
කෙසේ වෙතත් අප අසා ඇති ප්‍රබන්ධවල හෝ සත්‍යය යැයි දන්නා සිදුවීම්වලදී අපට බොහෝවිට හමුවන්නේ ශාප කරන්නවුන් හෝ ශාපයට හසුවූ මිනිස් ප්‍රාණ පමණි.
නමුත් මේ දෑවලින් බාහිරව විමර්ෂණශීලී වූ කල අප එදිනෙදා පරිහරණයට ගන්නා බඩුභාණ්ඩවල පවා අවාසනාව මුල්කරගත් සැඟවුණු ශාපයක් ඒ පිටුපස ලුහුබැඳ එන ආකාරයක් අපට දක්නට පිළිවන.
හෝප් දියමන්තිය යනු ලොව වඩාත් ප්‍රසිද්ධියට පත් වූ දියමන්තියකි. මන්ද එය ලෝකයේ වඩාත්ම වටිනාකමක් ඇති ගණයට වැටෙන නිසාය.
එම කාරණා කෙසේ වුවද එම දියමන්තිය ලබාගත් අයට නම් කෙදිනකවත් වාසනාව ගෙන ආවේ නැත. කාලයෙන් කාලයට එහි හිමිකරුවනට ගෙන ආවේ අවාසනාව පමණි.
මුලින්ම ඉන්දියාවේ සිට ප්‍රංසයට මෙම හෝප් දියමන්තිය පැමිණියේද ඉතා අපූරු ආකාරයකටය.
ප්‍රංසයේ 14 වැනි ලුවී රජු එරට සිටි ජින් බැප්ටිස්ට් යන ස්වර්ණාභරණ වෙළෙන්දාට වැදගත් කාර්යයක් පැවරුවේය.
එනම් ඉන්දියාවට ගොස් එරට සිටින මහා රාජාවරුන් සතුව ඇති මුතු මැණික් ආදිය හැකි උපරිමයෙන් මිලට ගෙන පැමිණෙන ලෙසයි.
රජතුමා විසින් තමා ලද අණ ඒ ආකාරයටම ඉටු කළ බැප්ටිස්ට් විශාල දියමන්ති 45ක් පමණද කුඩා දියමන්ති දහසකටත් වැඩි ප්‍රමාණයක්ද තම රටට රැගෙන එන අතරේ සියල්ලන්ටම අවාසනාව රැගෙන ආ හෝප් දියමන්තියද ඒ අතර විය.
මුල් අවස්ථාවේදී එහි බර කැරට් 112ක් පමණ වුණු බව සඳහන් වෙයි. මෙසේ රැගෙන ආ දියමන්තියද ඉන්දීය මෝස්තරවලට අනුව කැටයම් කිරීමට ඔහුට අණ ලැබිණි.
මෙකී සිදුවීමත් සමඟ අධිරාජයා වෙතටද අවාසනාව කෙමෙන් ළඟාවන්නට විය.
14 වැනි ලුවී රජු බොහෝ සෙයින් ප්‍රිය කළ තම මුනුපුරා වූ බොර්ගොග්නේ නොසිතූ මොහොතක මිය ගියේ මේ අතර කාලයේදීය.
14 වැනි ලුවී අධිරාජ්‍යාට මෙසේ අවාසනාවන්ත සිදුවීමකට මුහුණ දෙන්න සිදුවීමේදී ඉන්දියාවේ සිට ප්‍රංශයට දියමන්තිය ගෙන ආ ස්වර්ණාභරණ වෙළෙන්ඳා වූ බැප්ටිස්ට්ද වල්බල්ලන්ගේ සපා කෑමකට ලක්ව රුසියාවේදී මිය ගියේය.
එමෙන්ම ප්‍රංස විප්ලවයේ ආරම්භය සිදුවූයේ 16 වැනි ලුවී රජු අතට මෙම දියමන්තිය ලැබීමත් සමඟය.
මෙවන් කලබැගෑනියක් තිබෙන්නා වූ මොහොතක රාජ්‍ය භාණ්ඩාගාරය සොරුන් විසින් කොල්ල කන ලද අතර ලුවී රජුගේ බිරිය වූ මාරි ඇන්ටොයිනට්ගේ හිස ගිලටීනයෙන් වෙන් කර කෲර ලෙස මරා දමන ලද්දේද මෙම කාලයේදීය.
කාලයක් යන තුරුම මෙම දියමන්තිය පිළිබඳ කිසිදු තොරතුරක් දැන ගැනීමට නොහැකි වුණු අතර පසුකාලීනව නෙදර්ලන්තයේ විල්හෙල්ම් නමැත්තකු හෝප් දියමන්තිය අලංකාරවත් කළ බව සඳහන් වේ. කාලයකට පසුව මෙය නෙදර්ලන්තයෙන් සොයාගත් නමුත් ඉන් පසු ඒ ගැන සඳහන් වන්නේ ලන්ඩනයෙනි.
එයට හේතුව වන්නේ විල්හෙල්ම් නමැත්තාගේ පුත්‍රයා වූ හෙන්ඩ්‍රික් තම පියාගෙන් මෙම දියමන්තිය සොරාගෙන ලන්ඩනයට පැමිණි නිසාවෙනි.
අන් අයට මෙන්ම හෝප් දියමන්තිය ඔහු සමඟ පැමිණියේ ද අවාසනාවත් සමඟිනි. ලන්ඩනයට පැමිණි ඔහු ටික දිනකින් සියදිවි නසාගත්තේය.
ඉන්පසු මෙය පැමිණියේ හෙන්ඩ්‍රික් පිලිප් හෝප් යනුවෙන් හඳුන්වනු ලබන මැණික් ව්‍යාපාරිකයා වෙතටයි.
මෙම දියමන්තියට ඒ එක් සන්ධිස්ථානයක් විය. එයට හේතුව වන්නේ හෝප් ලෙසින් මෙම දියමන්තිය හඳුන්වන්නට යෙදුණේ පිලිප්හෝප් වෙත මෙම දියමන්තිය ලැබුණු පසුවයි.
පිලිප් විසින් තමා සතුව තිබූ දියමන්තිය එම පවුලේම ජැකුයින් සොලොට් නමැත්තෙකුට අලෙවි කළ අතර සොලොට් හට සිදුවූයේද අන් අයට මෙන්ම සියදිවිය හානි කරගැනීමෙන් ජීවිතයට වන්දි ගෙවීමටයි. සොලොට්ගෙන් පසුව හෝප් දියමන්තිය රුසියන් ජාතිකයකු වෙත පත් වූ අතර ඔහුද පිහි ඇනුමකට ලක්වීමෙන් මියගියේය.
මින්පසු දියමන්තියේ හිමිකරු ලෙස සඳහන් වන්නේ ධනවත් ව්‍යාපාරිකයකු වශයෙන් නමක් ප්‍රචලිත වී තිබූ හබීබ්බේ නමැත්තාය.
ඔහු මෙම දියමන්තියේ හිමිකරුවා වීමත් සමඟ පවුලේ අය සමඟින් ඔහු මියගොස් ඇත්තේ මුහුදේ ගිලීමෙනි.
මෙම සිදුවීමෙන් අනතුරුව දියමන්තිය තමා අතට පත් කරගත් දෙවැනි අබ්දුල් හමීඩ් එය රැගෙන එමින් සිටියදී පවුලේ සාමාජිකයන් සියල්ලන්ද සමඟින් රිය අනතුරකට ලක්ව මියගිසේය.
අනතුරුව මුල්ම වරට සිදුවූවාක් මෙන්ම හෝප් දියමන්තිය නැවත වතාවත් පැරීසිය වෙතටම පැමිණියාය.
එම නව ගමනේදී දියමන්තියේ හිමිකරුවා වූයේ ස්වර්ණාභරණ ව්‍යාපාරිකයකු වූ පියරේ කාටියර් නමැත්තාය.
ඔහුගෙන් එය මිලදී ගනු ලැබුවේ පතල් හිමිකරුවකුගේ දියණියක් වන එව්ලින් වෝල්ස් මැක්ලින්ය.
පෙර පරිදිම දියමන්තිය මැක්ලින් පවුලටත් අවාසනාව රැගෙන ආවේය. ඇයගේ කුඩා දරුවා මෝටර් රථක හැපී මියගිය අතර පුවත්පත් හිමිකරුවකු වූ එව්ලින්ගේ සැමියාට අයත් පුවත්පතේ අයිතිය හා දේපොළ සියල්ල විකුණා දමන්නට සිදුවිය. ඇයගේ දියණියද නිදි පෙති වැඩි වශයෙන් පානය කොට මියගියාය. කාලයක් ගත වීමෙන් පසු ඒ වන විට එම දියමන්තියට අයිතිවාසිකම් දැරූ එව්ලින් මැක්ලින් මියගියේද මත්පැන් විස වීමෙනි. ඒ 1947 වසරේදීය.
එම වසරේදීම හැරී වින්සවන් නමැත්තෙකු මෙම හෝප් දියමන්තිය මිලට ගෙන ඇති අතර හෝප් දියමන්තිය සමඟ අනෙකුත් දියමන්තිද ලොව වටා ප්‍රදර්ශනය කරමින් විවිධ වූ පුණ්‍ය අරමුදල් සඳහා මුදල් එක්රැස් කරන්නට විය.
අවසාන වශයෙන් 1957දී ස්මිත් සෝනියන් ආයතනය හෝප් දියමන්තිය මිලට ගත් අතර එදා සිට මේ දක්වා තවමත් කිසිදු විනාශයක සඳහනක්වත් හෝප් දියමන්තිය සම්බන්ධයෙන් පුවතක්වත් අසන්නට ලැබෙන්නේ නැත.

උපුටා ගැනීම – සිළුමිණ පුවත්පත

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!