Gossip

“පොඩි කාලේ ඉඳලම ලොකු ආසාවක් තිබුණා මහණ වෙන්න.මහණ වෙන්න දවස් දෙකක් තියෙද්දී පන්සලෙන් පැනලා ගෙදර අවා” – Photos

ඕන් නමෝ…නමෝ… ලේ කට්ටු, මස් කට්ටු…. ලේ කට්ටු, මස් කට්ටු කිරි නහර පූට්ටු, පූට්ටු , පූට්ටු. එස් වා හා…හා .හහ්!
” මේක මන්තරයක්. අධික ලේ වහනය නතර කරන්න තමයි මේ මන්තරය කිව්වේ. අද වගේ පොඩ්ඩ් බැරි වෙද්දී ඉස්පිරිතාලවලට යන පුරුද්දක් අපේ කාලෙ තිබුණේ නැහැ.
අපි වෙදකම දැනගෙන හිටියා, යන්ත්‍ර මන්ත්‍ර දැනගෙන හිටියා.
ජයසිංහ මුදියන්සේලාගේ පුංචි බණ්ඩා මහතා උපත ලැබුවේ 1914 වර්ෂයේ ඔක්තෝම්බර් මස තිස් වැනි දින මහනුවර ගුරුදෙණියේදීය.
දරුවන් දසදෙනෙකුගේ පියෙකු වන ඔහු සිය බිරිඳ වන හුංකිරි මුදියන්සේලාගේ පළිඟු මැණිකේ (96) මහත්මිය සමඟ අදත් මහනුවර ගුරුදෙණියේ එක වහලක් යට ආදරයෙන් දිවි ගෙවයි.
ඒ නම් බොහෝ අයට ඉරිසියා හිතෙන තරමේ වාසනාවකි.
“වයසට යද්දී දෙන්නා දෙමහල්ලෝ වෙන් වෙනවා. එක්කෝ මැරෙනවා.
නැත්නම් ජීවත් වෙන්න වෙන්නේ වහලවල් දෙකක් යට. අපි දෙන්නට එහෙම වුණේ නැහැ. මට ගොඩාක් ආදරේ මිනිපිරියක් ඉන්නවා.
ඒ වගේම දරුවෝ ඉන්නවා. ඒ අය ඒ අයගේ පහසුවට අපි දෙන්නව වෙන් කළේ නැහැ. මේ නිසා අදත් අපි දෙන්නා ආදරයෙන්, සතුටින් ජීවත් වෙනවා.
ළමා කාලය
පුංචි බණ්ඩා මහතා හයදෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමලායි.
ඔහුට බාල සහෝදරියන් තිදෙනෙකු හා සහෝදරයන් දෙදෙනෙකි. ජයසිංහ මුදියන්සේලාගේ පුංචිරාළ හා උල්පත්ගෙදර උක්කුමැණිකා සිය දරුවන් රැක ඇත්තේ ගොවිතැන් කිරීමෙනි. උක්කුමැණිකා මහත්මිය අවුරුදු හැත්තෑපහක්ද පුංචිරාළ මහතා අවුරුදු අනූපහක්ද ආයු වළදා තිබිණි.
“මම වැඩිමලා නිසා මට පවුලේ වගකීම් ගොඩක් තිබුණා. ඒ වුණත් මට හය ශ්‍රේණිය දක්වා පාසල් යන්න පුළුවන් කමක් ලැබුණා.
මම ගියේ තාලාතුඔය මාධ්‍ය මහා විද්‍යාලයට. සෙරෙප්පු දෙකක්වත් දාන්නේ නැතුව පොත් දෙක තුන අතට අරන් පයින්ම තමයි ගියේ.
මීට දශක හත අටකට ඉහතදී පාසල් අධ්‍යාපනයේ ප්‍රධාන තැනක් ගෙන ඇත්තේ අකුරු ලිවීම හුරු පුරුදු කිරීමටයි. දකුණතින් ලිවීම අනිවාර්ය කොන්දේසියක් විය.
උපතින්ම වමතට හුරුකම් කියූවන් මේ නිසා දැඩි පීඩනයකට ලක්විණි. වමතට හුරු වූවන් ‘සොත්තියා’ යැයි අවමානයටද ලක් කෙරිණි. අවාසනාවකට මෙන් අපගේ කතානායකයාද අයත් වුණේ ඒ ගණයටය.
“මගේ ළමා කාලයේ අමතකම නොවන සිදුවීම තමයි ඉස්කෝලේ හාමිනේ මට ගහපු එක. මගෙන් උපන් පුරුද්ද තමයි වමතින් ලියන එක. මට හැමදාම කිව්වා වමතින් ලියන්න එපා කියලා. මම උත්සාහ කළාට මට දකුණතින් ලියන්න අමාරුයි. පස්සේ, පස්සේ මම කළේ වමයි දකුණයි දෙකම අල්ලාගෙන ලියපු එක. එක දවසක් මේ වැඩේ ඉස්කෝල හාමිනේ දැක්කා. ඒ දැකලා මට වේවැලකින් හොඳටම ගැහුවා. එත් මගේ ජන්ම පුරුද්ද අතහරින්න මට බැරි වුණා.”
උපතින්ම සාන්ත දාන්ත ගති පැවතුම් ඇත්තෙකි පුංචි බණ්ඩා. මේ සාන්ත බව හේතුවෙන් කුඩා අවධියේ සිටම පුංචි බණ්ඩා දරුවාට දෙමාපියන්ගෙන් ලැබුණු යෝජනාවකි, මහණකම.
“මට පොඩි කාලේ ඉදලම ලොකු ආසාවක් තිබුණා මහණ වෙන්න.
මට වයස අවුරුදු 15ක් ඇති මම මේ තීරණය ගනිද්දී. ඒ කියන්නේ 1929 අවුරුද්දේ. වෑඋඩ පන්සලේ හිටිය නායක හාමුදුරුවෝ අපේ ඥාතියෙක් වෙනවා.
අප්පච්චියි අම්මයි මේ නායක හාමුදුරුවෝ හමුවෙලා ඒ අයගේ කැමැත්තයි මගේ ආසාවයි දැනුම් දුන්නා.
නායක හාමුදුරුවෝ එක පයින් කැමති වුණා මා මහණ කර ගන්න. එදාම මාව පන්සලේ තියලා යන්න කියලා නායක හාමුදුරුවෝ කිව්වා.
අප්පච්චියි අම්මයි මාව පන්සලේ තියලා ගෙදර ගියා.
මම ඒ පන්සලේ වසරකට ආසන්න කාලයක් ඉගෙනගත්තා. මේ කාල වකවානුව තුළ මේ පන්සලේම හිටපු අපේ නායක හාමුදුරුවන්ගේ ගෝල හිමිනමක් මට හරියට හිරිහැර කළා.
අන්තිමට මේ හිරිහැර ඉවසගන්න බැරිව මම මහණ වෙන්න දවස් දෙකක් තියෙද්දී පන්සලෙන් පැනලා ගෙදර අවා. එදායින් පස්සේ ආයේ ඒ පන්සල පැත්ත පළාතක ගියේ නැහැ. මහණ වෙන්න තිබුණු අසාවත් නැතුව ගියා.”
මහණකම එපා වීම හේතුවෙන් පුංචිබණ්ඩා මහතා සිට ඇත්තේ කලකිරීමෙනි.
අවස්ථා කීපයකදී කසාදයක් පිළිබද යෝජනා පැමිණියත් ඔහු ඒවාට එතරම් කැමැත්තක් දක්වා නැත.
දින සති ගෙවී ගොස් වසර නවයක් පමණ ගිය තැන දෙමාපියන් නැවතත් තම වැඩිමහල් පුත්‍රයාට කසාදයක් සෙවීම අරඹා තිබේ.
එවර ඔහුට දෙමාපිය යෝජනාව මඟ හැර යෑමට නොහැකි විය. පුංචි බණ්ඩා හා පළිගු මැණිකේ අතර විවාහය සිදුව ඇත්තේ 1938 වර්ෂයේදීය. මනාලයා විසි හතර හැවිරිදි වූ අතර මනාලිය පසළොස් හැවිරිදි වූවාය.
“කසාද බඳිද්දී මැණිකේට පහළොවනේ. ඒ නිසා රෙජිස්ටාර් කිව්වා වයස වැඩියෙන් දාන්න ඕනෑ කියලා. ඉතින් මොනවා කරන්නද 18යි කියලා දැම්මා.
ඒ දවස්වල ඔය හැඳුනුම්පත් කාඩ් තිබුණෙ නැහැ. ඔය කාඩ් ආවේ 70න් පස්සේ වගේ. මැණිකේටයි මටයි දරුවෝ දහ දෙනෙක් හිටියා, දැන් ඉන්නේ හතර දෙනයි. කීප දෙනෙක්ම පොඩි කාලෙදිම නැති වුණා.”
මේ පවුලේ දැනට ජීවතුන් අතර සිටින්නන් අතරින් වැඩිමලා වන්නේ ජයසිංහ මුදියන්සේලාගේ ලොකු මැණිකේ මහත්මියයි.
හැත්තෑ තුන් හැවිරිදි ඇය මේ වන විට වලල ප්‍රදේශයේ ජීවත් වෙයි. දෙවැන්නා හැටහය හැවිරිදි ඩිංගිරි බණ්ඩා මහතායි.
ඔහු ශ්‍රී ලංකා යුධ හමුදාවේ සේවය කර විශ්‍රාම ලැබුවෙකි. හැට දෙහැවිරිදි සසෝ මැණිකේ මහත්මිය වත්තේගමත් පනස් අට හැවිරිදි කාන්ති මැණිකේ, රිකිල්ලගස්කඩත් ජීවත් වෙයි.
පවුලේ බඩපිස්සා වනුයේ පනස් පස් හැවිරිදි ජයසිංහ මහතායි. ජයසිංහ මහතා ශ්‍රී ලංකා යුද හමුදාවේ රෙජිමේන්තු සැරයන් මේජර් වරයෙකු ලෙස සේවය කර තිබේ.
ඔහුගේ සේවා කාලය වසර විසි දෙකකි. ජයසිංහ මහතා තම විශ්‍රාම දිවිය මුළුමනින්ම පාහේ කැප කර කර ඇත්තේ දෙමාපිය දෙදෙනා රැක බලා ගැනීම සදහායි.
ඔහුගේ දියණිය වන මහේෂි ජයසිංහද අධ්‍යාපනය අතරතුර පවා සීයා හා ආච්චි වෙනුවෙන් කාලයක් වෙන් කරයි.
“මට පළපුරුද්ද අනුව හොඳ රැකියාවක් කරන්න පුළුවන්. නමුත් මම ඒ ගැන උනන්දු වෙන්නේ නැහැ ආර්ථික ප්‍රශ්න නැතුව නෙවෙයි.
ඒත් මට සතුටුයි මට මගේ අප්පච්චි, අම්මා බලාගන්න ලැබීම ගැන.” ජයසිංහ මහතා පවසයි.
දිවියේ එකසිය හතරවන කඩ ඉම පසුකරමින් සිටින පුංචිබණ්ඩා මහතා අවස්ථා තුනකදී ‘එලොව ගොස් මෙලොව ආ’ අයෙකි. අඩි තිහකට වැඩි උසකින් යුත් ගසකින්ද වැටී ජීවිතය ගලවා ගත් ඔහු එදා වූ සිදුවීම් අද සිහි කරන්නේ සතුටිනි.
” මම මේ කියන කතා අදත් මේ ගමේ ජීවත් වන පරණ උදවිය දන්නවා. අමතකම නොවනම සිදුවීම තමයි අපේ ගෙදර තිබුණා පිරිත් පින්කමක්.
එකට ඕනෑ වුණා ගොක් කොළ. මම ගොක් කොළ කපන්න කියල පොල් ගහට නැග්ගා.
නැගල ගොක් කොළේ කපලා බහින්න කියලා පොල් අත්තක් අල්ල ගත්තා. එක ලිස්සල ගියා. තව අත්තක් අල්ල ගත්තා.
ඒ අත්ත ගැලවිලා අත්තත් එක්කම මාව බිමටම වැටුණා. හැබැයි ඒ අතරේ තවත් ගහක අතු උඩට මාව වැටුණා.
කොහොම හරි මම වැටිලා තියෙන්නේ දොළකට. එතනින් ගිය කෙනෙකුට මගේ කෙදිරිලි ඇහිලා තියනවා.
එයා තමයි ගමේ අයට කියලා මගේ ජීවිතය බේරලා දුන්නේ. ඒ වෙලාවේ එතනින් කවුරු හරි ගියේ නැත්නම් අද මෙහෙම කතා කරන්න මම ඉතුරු වෙන්නේ නැහැ. ඊට පස්සෙ කිතුල් ගහකිනුත්, උස පේර ගහකිනුත් වැටිලා තියනවා.”
වයස අවුරුදු සියය ඉක්මවූවනට රුපියල් පන්දහසක දීමනාවක් මාස් පතා ලබා දීම පසුගිය අයවැයෙන් සම්මත වූ යෝජනාවකි.
ඊට පෙර එම ආධාරය රු. දෙදහසක් විය. එහෙත් පුංචිබණ්ඩා මහතාට ඒ කිසිදු දීමනාවක් ලැබෙන්නේ නැත. තම පියාට සැලකීමට තමනට හැකි වුවත්, තම පියා ඇතුළු ජාතියේ සම්පත් බඳු ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වූ පොරොන්දුව තවමත් ඉටු නොවීම ගැන ජයසිංහ මහතාට ඇත්තේ බලවත් කලකිරීමකි.
“අයවැයෙන් මුදලුත් වෙන් කරලා තියෙද්දි ඇයි ඒක නොකෙරෙන්නෙ කියල හොයල බලන එක ජනමාධ්‍යවල වගකීමක් නේද?”
ඔහු ඇසුවේය. මම හිස නමා ඒ වරද පිළිගතිමි. අද හෙටම ඒ වරද නිවැරදි කරන බවට පොරොන්දු වෙමි.
වැඩිහිටි මහලේකම් කාර්යාලයේ දත්ත අනුව මේ වන විට ශ්‍රී ලංකාවේ ජීවත්ව සිටින්නේ වයස අවුරුදු සීයය ඉක්මවූවන් දෙසිය පනහකටත් අඩු ගණනකි.
මේ වැඩිහිටියන් රැකබලාගන්නා දරුවන්ද වෙනත් කටයුතුවල නොයෙදී ඒ වෙනුවෙන් කැප වී සිටින බැවින් ඔවුන්ගේ ආර්ථික තත්වයද අයහපත්ය.
එසේ තිබියදී මේ වැඩිහිටියන් වෙනුවෙන් ඉටු කළ යුතු ජාතික යුතුකම තවත් පමා වීම ලජ්ජාවට කරුණක් නොවේද?

[ප්‍රසාද් පුර්ණමාල් ජයමාන්න]

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!