Gossip

“පිරිසිදු ඇඳුමක් ඇඳපු දවසක් මතක නැහැ.. රසවත් ආහාර වේලක් කාපු දවසක් මතක නැහැ. දෛවය කියන්නේ පුදුම දෙයක්. දෙවියන් මට දරුවෙක් දීලා තිබුණා.” – ලොව වේගවත්ම මව – Photos

පසුගිය දා නිමාව දුටු ලෝක ශූරතා මලල ක‍්‍රීඩා උළෙලේ බොහෝ දෙනාගේ කතා බහට ලක්වූ සුපිරි ක‍්‍රීඩා තාරකාවක් පිළිබඳ ලෝකයේම අවධානය යොමු වුණා.
අවස්ථා කිහිපයකදීම ඔලිම්පික් ඉතිහාසය රනින් ලියවූ මැය පිළිබඳව විශේෂ අවධානයක් යොමු වුණේ සුවිශේෂී කාරණාවක් නිසා.
ඒ ඇය විවාහයෙන් වසර දෙකක නිහැඬියාවකට පසුව ජාත්‍යන්තර පිටියක දී ලබා ගත් පළමු රන් පඳක්කම වීම නිසායි.
ඊටත් වඩා සුවිශේෂී කාරණාව වුණේ ඇය වයස අවුරුදු දෙකක කුඩා පිරිමි දරුවකුගේ මවක් වීම. ඒ වෙන කවුරුවත් නෙවෙයි. ජැමෙයිකානු ඉතිහාසයේ රන් සළකුණ හෙවත් කළු වෙළඹ ෂෙලී ඈන් ෆෙසර්.
ෂෙලී ඉපදෙන්නේ 1986 දෙසැම්බර් 27 වැනිදා. ඒ ජැමෙයිකාවේ කිංග්ස්ටන් හිදී. දුප්පත්කම අතින් අරගෙන මේ ලෝකෙට ආපු ෂෙලී ජීවිතේ ගොඩක් දුක් විඳපු කෙනෙක්.
සෑම පැත්තකින්ම සමාජයෙන් කොන් කරනු ලෑබූ ෂෙලිගේ පවුල දුප්පත්කමේ අන්තයේම හිටපු පවුලක්. එදා වේල හම්බකර ගන්න නොවිඳිනා දුක් විඳපු ෂෙලිගේ අම්මා වර්තමානයේ ෂෙර්ලි මේ වගේ තැනකට එයි කියල හීනෙකින්වත් හිතන්න නැතිව ඇති.
ඇගේ මව මැක්සින් ෂෙලිව හදාවඩාගත්තේ පියෙකුගේ
රැකවරණයක් පවා නැතිවයි. මලල ක‍්‍රීඩාවට බෙහෙවින් ඇළුම් කළ සහ මලල ක‍්‍රීඩාවෙහි නියැළුණු තැනැත්තියක් වූ ඇය ෂෙලිගේ ඉපදීමත් සමඟ ක‍්‍රීඩා ජීවිතයට සමු දුන්නේ තනිවම ඇයව රැුක බලා ගැනීමේ වගකීම තමන්ගේ උර මතට පටවා ගනිමින්.
වීදියක් වීදියක් ගානේ වැඩ කරමින් දෛනික ආහාර වේල සොයා ගැනීම වෙනුවෙන් වෙහෙසුණු ඇය තමන්ට හැකි ආකාරයට ෂෙලිට සුව පහසු ජීවිතයක් ලබා දුන්නා.
පසුගිය කාලයේ නත්තල් උත්සවයකට සහභාගී වූ ෂෙලි තමන් විදපු දුක් කරදර ගැන මාධ්‍ය එක්ක කියල තිබුණෙ මෙන්න මේ විදිහට යි.
“ඇත්තටම ඒක බොහොම අමාරු කාලයක්. පිරිසිදු ඇඳුමක් ඇඳපු දවසක් මතක නැහැ.
රසවත් ආහාර වේලක් කාපු දවසක් මතක නැහැ. ඒ වගේම තමයි හිසට වහලක් තිබුණෙත් නැහැ. මම ඒ හැම දෙයක්ම දරා ගත්තා. ඉතාමත් ශක්තිමත් විදිහට. ඉතින් අද මට දුප්පත්කම ගැන වගේම ඒත් එක්ක එන ප‍්‍රශ්න හඳුනාගන්න පුළුවන්.”
වොල්මර්ස් උසස් බාලිකා පාසැලෙන් අධ්‍යාපනය ලබපු ෂෙලි වයස අවුරුදු 16දී තමන්ගේ පළමු ජාතික මට්ටමේ ජයග‍්‍රහණය ලබාගන්න සමත් වුණා.
හැබැයි ඒක හිතපු තරම් ලේසි එකක් වුණේ නම් නැහැ.
“ඒක මට ලොකු ප්‍රෙෂර් එකක් වුණා. කවුරුත් හිතුවේ නැහැ මම ජයග‍්‍රහණය කරයි කියලා. මිනිසුන්ගෙන් පිරිල හිටපු ප්‍රේක්ෂකාගාරය චියර් කළේ තුන් වන ලේන් එකේ හිටපු ගැහැණු ළමයට. නමුත් මම ඒ තරඟය ජයග‍්‍රහණය කළා.”
වර්ෂ 2007 දී ජැමෙයිකානු කෙටි දුර ධාවන කණ්ඩායමත් සමඟ ලෝක කුසලාන මලල ක‍්‍රීඩා තරඟාවලිය නියෝජනය කරමින් 100.
4 තරඟාවලියෙන් සිල්වර් මෙඞ්ල් එක ලබාගන්න හැකි වුණා. නමුත් ඇයට එහිදී තනි ඉසව්වක් නියෝජනය කරන්න කණ්ඩායමෙන් අවසර ලැබුණේ නැහැ.
නැවත ඇය කරළියට එන්නේ 2008 වසරේ බෙයිජින් ඔලිම්පික් උළෙලත් සමඟයි. තමන්ගේ හොඳම පෞද්ගලික තරඟ කාලය වාර්තා කරමින් සිය පළමු ඔලිම්පික් රන් පදක්කම දිනාගන්නට ෂෙලී සමත් වුණා.
2019 වසරේ ජර්මනියේ බර්ලිං නුවර පැවති ලෝක ශූරතා මලල ක‍්‍රීඩා උළෙල ෂෙලීට අමතක නොවන එකක් වුණා.
එහිදී ඇය මීටර් 100 සහ 100 x 4 තරඟ ද්විත්වයෙන්ම රන් පදක්කම් හිමිකර ගැනීමට සමත් වුණා. 2011 ලෝක ශූරතා මළල ක‍්‍රීඩා උළෙලේ දී යම් පසුබැස්මක් පෙන්වූ ෂෙලි පාදයේ ඇති වූ ආබාධයක් හේතුවෙන් මීටර් 100 තරඟ ඉසව්වේ සිව්වන තැනට පත් වුණා.
2012 ලන්ඩන් ඔලිම්පික් උළෙලේ දී නැවතත් සිය ඉසව්වේ රන් කිරුළ හිමි කරගත් ඇය එක දිගටම පැවති 2013, 2014, 2015 යන වසර ත‍්‍රිත්වයේම මීටර් 100, 200 සහ 100 x 4 යන ඉසව් සියල්ලේම රන් පදක්කම් තමන් සතු කර ගත්තා.
ක‍්‍රීඩා ලෝලීන් ෂෙලීව හඳුන්වන්නේ පොකට් රොකට් කියන නමින්.
2010 වසරේදී යුනිසෙෆ් සංවිධානය ඇයව ජාතීන් අතර හොඳ හිත ගොඩනැගීමේ ජාතික සංවිධායකවරිය ලෙස පත් කරනු ලැබුවා. එම වසරේම ඇය හොද හිත ගොඩනැගීමේ සාම තානාපතිනියක් ලෙස ද පත් කළා. ෂෙලී විවාහ වුණේ 2011 වසරේදී ඒ ඇගේ දීර්ඝකාලීන පෙම්වතා වන ජේසන් ෆෙසර් සමග.
2012 වසරේදී ඇය සිය පළමු උපාධිය වන ළමා හා වැඩිහිටි සංවර්ධනය පිළිබඳ විද්‍යාවේදී උපාධියක් පවා ලබාගත්තා. ඒ වගේම තමයි ඇය 2016 දී ඇගේ පශ්චාත් උපාධියට පවා රෙජිස්ටාර් වුණේ බොහෝ දෙනා පුදුම කරවමින්.
තරඟාවලියෙන් තරඟාවලියට තමන්ගේ කොණ්ඩා විලාසිතාව වෙනස්කරන ක‍්‍රීඩිකාවක් ලෙස ප‍්‍රසිද්ධ ෂෙලී මේ වෙනකොට චික් හෙයා ජා නමින් හඳුන්වන කොණ්ඩා මෝස්තර සාප්පු කිහිපයකම හිමිකාරියක්. දුප්පත්කම හොඳින්ම හඳුනන ෂෙලී මේ වෙනකොට පොකට් රොකට් නමින් පදනමක් පවා පිහිටුවාගෙන තිබෙනවා.
එයින් ඇය දුප්පත් පාසල්වල ක‍්‍රීඩාවට දක්‍ෂ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලට වගේම ක‍්‍රීඩා පුහුණුවීම් වලටත් මුදල් ලබා දෙනවා. 2017 වසරේදී ෂෙලී ක‍්‍රීඩාවෙන් තාවකාලිකව සමුගන්නා බව ප‍්‍රකාශයට පත් කළා. ඒ ඇගේ පළමු දරු ප‍්‍රසූතිය වෙනුවෙන්.
ඇය ඒ ගැන තමන්ගේ මුහුණු පොතේ සටහන් කර තිබුණේ මෙන්න මෙහෙමයි.

“2017 ලෝක ශූරතා මළල ක‍්‍රීඩා උළෙල වෙනුවෙන් මම පූර්ණ සූදානමකිනුයි හිටියේ. නමුත් දෛවය කියන්නේ පුදුම දෙයක්.
දෙවියන් මට දරුවෙක් දීලා තිබුණා. දෙවියන්ගේ කැමැත්ත ඒක නම් මම එයා වෙනුවෙන් මගේ කාලය වෙන් කරන්න තීරණය කළා.” ෂෙලී ඒ වෙනුවෙන් වසර දෙකක් වැය කළා. ඇගේ ගැබ් ගැනීම ප‍්‍රකාශයට පත් කළාට පස්සේ ගොඩක් අය හිතුවේ පොකට් රොකට්ගේ කාලය අවසන් වේවි කියලයි.
නමුත් එහෙම වුණේ නැහැ. මොකද ඒ හැම දේකටම වඩා ෂෙලී ගේ හිතේ තිබුණ ශක්තිය සහ අධිෂ්ඨානය ලොකු වුණා. 2019 ලෝක ශූරතා තරඟාවලිය වෙනුවෙන් පුහුණුවීම් ආරම්භ කරන්න තරම් ඇය ශක්තිමත් වෙලා තිබුණා. නමුත් කවුරුවත් හිතුවේ නැහැ ඇය මේ තරඟාවලියට සුදුසුකම්වත් ලබාවි කියලා.
නමුත් ක‍්‍රීඩිකාවකට තමන්ගේ ජීවිතේ ලබන්න පුළුවන් ලොකුම ජයග‍්‍රහණය වගේම සතුටත් ලබාගන්න තරමටම ෂෙලී ශක්තිමත් කාන්තාවක් වුණා. පසුගියදා නිමාව දුටු ලෝක ශූරතා මලල ක‍්‍රීඩා තරඟාවලියේ කෙටි දුර ධාවන ඉසව්වෙන් රන් පදක්කමක් ලබා ගනිමින් නැවතත් තමන් ලොව වේගවත්ම කාන්තාව බව ෂෙලී ලෝකෙටම කීවෙ ඇස්වල සතුටු කඳුළු පුරෝගෙන.
අති දක්‍ෂ තරුණ ක‍්‍රීඩිකාවන් පරදමින් ඉදිරියට ඇදුණු මේ 32 හැවිරිදි අම්මා නැවතත් රන් කිරුළේ අයිතිය තමන් සතු කරගත්තා. ෂෙලී ගේ ජයග‍්‍රහණය සමරන්න එදා එයාගෙ දෙහැවිරිදි පුංචි පුතත් ඇවිත් හිටියා. තමන්ගේ දරුවත් වඩාගෙන ධාවන පථය වටා දිව ගිය ඇය ලෝකය ඉදිරියේ තමන්ගේ සතුට ප‍්‍රකාශ කළා.
ඇය තමයි ලෝකයේ වේගවත්ම මව. ඇගේ මීළඟ ඉලක්කය ඔලිම්පික් උළෙල.

උපුටා ගැනීම – දිවයින පුවත්පත

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!