Gossip

පශ්චාත් උපාධියට බුදු දහම තෝරාගත් මවුලවිතුමා – Photos

“ජීවියෙක් එයා බිහි කරන කෙනාගෙන් වෙන්වුණාම එයා අයිති සොබාදහමට. ඒකයි ඇත්ත. අපි, විශේෂයෙන් මිනිස්සු මේ ඇත්ත වෙනුවට සංස්කෘතියක් හදාගන්නවා.
අම්මා, තාත්තා, ආදරේ, ජාතිය, ඔය කතන්දර ඔක්කොම නිසා අපේ බැඳීම අපව අහුරනවා.’
නිශ්ශංක විජේමාන්නගේ ‘හඳ පළුව තනි තරුව’ නවකතාවේ එහෙම සටහනක් වෙයි.
එය මොන තරම් අපූරු ඇත්තක්ද? මිනිසා සොබාදහම සතු සත්වයෙකි. සියලු සංස්කෘතිකයන්, ආකල්ප, ආගම්, ජාතීන් බිහිවන්නේ ඔහු වටකරගෙනය.
මතක තබාගත යුත්තක් වෙයි. ඒ සියලු දෙනාම සොබාදහමේ සම හිමිකරුවන් වගයි. මේ කතාව දිගහැරෙන්නේ ඒ වග පසක් කරමින්ය.
“අච්චේව කිච්චං ආතප්පං, කෝ ජඤ්ඤා මරණං සුඛේ”
“මම දවසක ඉගෙනගත්තා, බද්දේකරත්ත සූත්‍රයේ කියවෙන මේ දේ. ඒ කියන්නේ අද කරන්න ඕන දේ අදම කරන්න ඕනේ, අනාගතය අවිනිශ්චිතයි කියලා.
මේ වගේම දෙයක් අපේ නබිතුමත් කිව්වා හෙට කියල දෙයක් තියාගන්න එපා කියලා.”
මොහමඩ් අසාත් සිරාස්, මාදම්පේ ඉස්ලහියා ඉස්ලාමීය උසස් අධ්‍යාපන ආයතනයේ කථිකාචාර්යවරයෙකි. මුස්ලිම් මවුලවිවරයෙකු (පූජකයකු) වන ඔහු සිය උසස් අධ්‍යාපනය හා උපාධියද හැදෑරුවේ දෙමළ බසිනි.
වසර කිහිපයක සිට බෞද්ධ හා මුස්ලිම් ජන කොට්ඨාසවල ඇතැම් පාර්ශ්ව අතර ඇති පරතරය හා දුරස් බව පිළිබඳ කනගාටු වන අසාත්, බෞද්ධ අධ්යා පනය ලැබීමේ අරමුණ ඇතිව, 2017 වසරේදී ශ්රීධ ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයට ඇතුළත් වූයේ ශාස්ත්‍රපති උපාධිය සඳහාය.
ඒ අනුව, එම විශ්වවිද්‍යාලයෙන් බෞද්ධ අධ්‍යාපනය සම්බන්ධ පශ්චාත් උපාධියක් සම්පුර්ණ කළ පළමු මුස්ලිම් පුද්ගලයා වීමටද ඔහුට හැකියාව ලැබිණි.
“මුස්ලිම් ජනතාව හා බෞද්ධ ජනතාව අතර යම්කිසි පරතරයක් හා දුරස්කමක් මෑතකදී ඇති වෙලා තියෙනවා. මේක නැති කරන්න අපිට අවබෝධය කියන දේ ඉතා වැදගත්. අන්න ඒ කාරණාව නිසා තමයි මම බෞද්ධ අධ්‍යාපනයට යොමුවන්නේ” යැයි ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෙකු වීමට පදනම් වූයේ කුමක්දැයි ඇසීමේදී අසාත් පැවසුවේය.
“ආගමික දර්ශනයන් අධ්යෞයනය කිරීමෙන් දැනුම එනවා, තවත් ආගමක් අධ්යයයනය කරද්දී ඒක වැඩිවෙනවා.”
අද සමාජය තුළ යම් ආගමක් හෝ දහමක් වටහාගන්නේ ජනමාධ්‍යය තුළින් හෝ ඒ ආගම දහම පිළිපදින අය දෙස බලා යැයි පවසන අසාත් මෙය නිවැරදි ක්‍රමයක් නොවන බව පවසයි.
“ආගමක් දහමක් වටහාගන්න නම්, ඒ දහම ඒ ආගම අධ්‍යයනය කරන්න ඕනේ. ප්‍රධාන ග්‍රන්ත – මුලාශ්‍ර අපි කියවන්නට ඕනේ. එහෙම නැතුව ජනමාධ්‍ය ඔස්සේ හෝ ඒ ආගම පිළිපදින අයව බලා ආගමක් – දහමක් ගැන පුළුල් වැටහීමක් ගන්නට බැහැ.” යැයි ඔහු කියා සිටියේය.
දෙමළ මාධ්‍යයෙන් අධ්‍යාපනය ලැබූ අයෙකුට සිංහල සහ පාලි භාෂාවලින් යමක් ඉගෙන ගැනීම පහසු කාර්යක් නොවේ, විශේෂයෙන්ම ශාස්ත්‍රපති වැනි පාඨමාලාවක් තවත් දුෂ්කර අභියෝගයකි.
“මම දෙමළ මාධ්‍යයෙන් ඉගෙන ගත්තට මැලේ ජාතිකයකු වීම නිසා මට හොඳට සිංහල කතාකරන්න පුළුවන්. නමුත් ලියන්න වගේම බර වචන මම දන්නේ නැහැ. පාලි භාෂාවෙන් සමහර දේවල් ඉගෙන ගනිද්දී මට ඒක ලොකු අභියෝගයක් වුණා.
“නමුත් මාත් එක්ක එකට පන්තියේ හිටපු සහෝදර සහෝදරියන්, විශේෂයෙන් භික්ෂුන් වහන්සේලා මට ලොකු දිරිගැන්වීමක් කළා.
ගොඩක් උදව් කළා. විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුත් හොඳ සහයෝගයක් දුන්නා.” අසාත් කියා සිටියේය.
බෞද්ධ දර්ශනය හැදෑරීමේදී තම ඉස්ලාම් ආගමේ සහ බෞද්ධ දර්ශනයේ ඇති සමානතා රැසක් ගැන තමන්ට හොඳ අවබෝධයක් ලැබුණු බව අසාත් පවසයි.
“සාමය වෙන්න පුළුවන්, සහජීවනය වෙන්න පුළුවන්, මෛත්‍රිය වෙන්න පුළුවන්, කරුණාව වෙන්න පුළුවන්, මේ වගේ කරුණු එක හා සම්බන්ධ වෙනවා.
“අපි අතර තියෙන්නට ඕනේ රාමුවෙන් එහාට ගිහිල්ල හිතන මනසක්. මුස්ලිම්වරයෙක් ලෙස මා තුළත් සමහර රාමු තියෙනවා.
ඉතින් ඒ රාමුවේ ඉඳල තමයි මම අනිකුත් ආගම් දිහා බලන්නේ. අන්න ඒකට එහා ගිහිල්ල අපි මේ දිහා බලන්න ඕනේ. ඒක ලේසි නැහැ, ඒකට විවෘත මනසක් තියෙන්න ඕනේ,” අසාත් පවසයි.
සැම දහමකට පොදු වූ වටිනාකම් පද්ධතියක් ඇති බව පවසන ඔහු, ඒවා සියලු දෙනාට පොදුවේ බෙදා හදාගත හැකි බව කියා සිටී.
“ඉතින්, අපි හැමෝටම පොදුවේ බෙදාහදා ගතහැකි ඒ දේවල් කුමක්ද, ඒවා හඳුනාගැනීමයි මගේ අරමුණ වුණේ.”
ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ 2017 දෙසැම්බර් මාසයේ පැවති ශාස්ත්‍රපති විභාගයෙන් අසාත් සමත් වී ඇති බව ඔහුට පසුගිය ජුලි මාසයේ නිකුත් කළ ප්‍රතිඵලවලින් දැනගන්නට ලැබුණි.
“මම ගොඩක් සතුටු වුණා, විභාගය සමත් වුණා කිව්වම. දැන් මගේ අරමුණ මේ මං ලබාගත් අවබෝධය මුස්ලිම් සමාජයට ලබාදීමයි.
“මේ රටේ ජීවත්වෙන මුස්ලිම් අය හැටියට බෞද්ධ අධ්‍යාපනයත් වැදගත් කියන දිරිගැන්වීම කරන්න මම බලාපොරොත්තු වෙනවා” යැයි ඔහු කියා සිටියේය.
බුදු දහම මෙන් ඉස්ලාම් දහමත් හැදෑරීමට අන් අයට ඉඩක් ඇත්දැයි විමසූ විට අසාත් පැවසුවේ, එයට කිසිදු බාධාවක් නොමැති බවය.
“ඒ වුණාට අපේ රටේ එහෙම අවස්ථා අඩුයි. මගේ යාළුවෝ අහනවා ඔයා බෞද්ධාගම අධ්‍යයනය කළා වගේ අපිටත් ඉස්ලාම් ආගම අධ්‍යයනය කරන්න තැන් තියෙනවද කියලා.
එහෙම තැන් නැත්තෙම නැහැ. ඒත් ඒක වැඩිවෙන්න ඕනේ.” ඔහු කතාබහ අවසන් කරමින් කියා සිටියේය.
ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ බෞද්ධ අධ්‍යනය පිළිබඳ පශ්චාත් උපාධියක් සම්පුර්ණ කළ පළමු මුස්ලිම් ජාතිකයා අසාත් සිරාස් බව ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ගල්ලෑල්ලේ සුමනසිරි හිමියෝ පැවසූහ.
“අපි මේ හැම ආගමක්ම ඉගෙනගන්න ඕනේ. මේ අනවශ්‍යම ප්‍රශ්න ඇති වෙන්නේ ආගම් ගැන ඇති අනවබෝධය නිසා.
මින් පෙර කතෝලික පියතුමන්ලා, දෙමළ ජාතිකයන් මේ පාඨමාලාව සම්පූර්ණ කරලා තියෙනවා. ඒත් මුස්ලිම් ජාතිකයකු අපේ විශ්වවිද්‍යාලයේ බෞද්ධ අධ්‍යයනය පිළිබඳ පශ්චාත් උපාධිය ගත් පළමු අවස්ථාව මෙයයි” උන්වහන්සේ කියා සිටියහ.
ශ්‍රී ලංකාවේ මෙන්ම ලෝකයේ ආගම් අතර ගැටලු ඇති වන්නේ ඒ ඒ ආගම් ගැන නිසි අවබෝධයක් සියලු දෙනා අතර නොමැති වීම නිසා, යැයිද සඳහන් කළ උන්වහන්සේ, මූලික අධ්‍යාපන සුදුසුකම් ඇති ඕනෑම ජනවර්ගයක අයෙකුට ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ දොරටු විවෘත බව පෙන්වා දුන්හ.
“ආඩම්බර විය හැකි කිසිවක් නැති සෑම කාළකණ්නි මෝඩයෙක්ම අවසාන තුරුම්පුව ලෙස තමන් අයත් වන ජාතියේ ආඩම්බරය යොදා ගනියි.
ඒ ජාතියේ සියලු වැරදි සහ මෝඩකම් වෙනුවෙන් සිය සකල ශක්තියෙන් පෙනී සිටීමට ඔහු සතුටින් සූදානම්ය. එහෙත් ඔහුට ඒ වෙනුවෙන් පෙරළා ලැබෙන්නේ තමන්වම පහතට පිරිහෙළනු ලැබීම පමණි.”
මෙහෙම කියන්නේ ආතර් ෂොපෙන්හවර්ය. ලෝකයට අවැසි වන්නේ අනෙකාගේ හුස්ම වැටෙන තාලයට පවා ආදරය කරන මිනිසුන්ය. ඊට ආදරය කරන්නා කිසිවෙකුගේ නෙතක කඳුළට සිනාසෙන්නේ නැත. විහාරයේ පිරිත් ස්වරයත්, පල්ලියේ යාතිකා හඬත්, කෝවිලේ පූජා ස්වරයත් එකලාව ගෙන ගරු කළ හැකි නම් තවත් සුන්දරත්වයක් කොයින්ද?

උපුටා ගැනීම – රැස පුවත්පත

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!