Gossip

දේශපාලන සටනට පෙරට ආපු කලාකරුවෝ

පසුගිය 7 වැනිදා මෙරට හත්වන ජනාධිපතිවරයා තෝරාගන්නා මැතිවරණය වෙනුවෙන් මැතිවරණ කාර්යාලය නාම යෝජනා භාර ගැනීමත් සමග රට පුරා මැතිවරණ උණුසුම දිනෙන් දින ඉහළ ගියේය.
අපේක්ෂකයන් 35 දෙනකු තරග වැදුනද සැබෑම තරගය ප්‍රායෝගිකව ගත් කළ තිබෙන්නෙ අපේක්ෂයකයන් දෙදෙනෙකු අතරය. කතාබහට ලක්වන තුන්වන බලවේගයක්ද වේ යැයි පෙනී යයි.
ඒ ඒ අපේක්ෂකයන් වෙනුවෙන් ඔවුන්ගෙ ආධාරකරුවන් රට පුරා ප්‍රචාරක කටයුතු කරති. මෙසේ අපේක්ෂකයන් වෙනුවෙන් ඉදිරියට පැමිණ සහාය දක්වන්නන් අතර සමාන්‍ය ජනයාගෙ ආකර්ෂණය දිනාගනිමින් කටයුතු කරන සාහිත්‍ය කලා ක්ෂේත්‍රය නියෝජනය කරන ශිල්පීන්ද සිටිති.
පක්ෂ විපක්ෂ භේදයකින් තොරව මේ කලා ශිල්පීහු ජනතා ආකර්ෂණය දිනුවෝය. ඔවුහු යම් කිසි පක්ෂයකුට අපේක්ෂකයකුට පමණක් සහයෝගය දැක්වීම ඒ ඒ ශිල්පීන්ගේ රසිකයන් සහ ප්‍රේක්ෂකයන් සහ වෙන වෙනම කියවා ගත යුතු සිද්ධියකි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් කළ අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ මහතාය. පොහොට්ටුව ලකුණෙන් තරග වදින ගෝඨාභය වෙනුවෙන් වේදිකාවේ පෙනී සිටින කලාකරුවෝ බොහෝමයකි. මාලනි ෆොන්සේකා, ලීල් ගුණසේකර, පාලිත සිල්වා, සරත් ධර්මසිරි, සුනන්ද මහේන්ද්‍ර, රෝහණ බැද්දගේ, ශ්‍රියන්ත මෙන්ඩිස්, රංජිත් රූබසිංහ ඇතුළු පිරිසක් ඒ අතර වෙති.
ඔවුහු ගෝඨාභය රජපක්ෂගේ ජයග්‍රහණයට කැපවනුයේ කලාකරුවන්ට පමණක් නොව රටටද යහපත ප්‍රාර්ථනා කරගෙන බව ඔව්හු කියා සිටිති.
“ලෝකයේ ජීවත්වන සියලු දෙනා දේශපාලන සත්වයෝනෙ. දැන් බලන්නකො දේශපාලනයෙන් තොරව අපට හුස්ම ගන්නවත් පුළුවන්ද කියලා. මම රංගන ශිල්පියෙක් වුවත් මටත් දේශපාලන‍යක් තියෙනවා. හැබැයි අපි දන්නවා කලාකරුවන් ලෙස අපට මිනිස්සු ආදරය කරන්නෙ පොදුවෙ බව. පොහොට්ටු, හංස, සීනූ, ඔය කොයි දේශපාලන මත දරන අය වුණත් පොදුවේ අපට ආදරෙයි. අන්න ඒ නිසාම තමයි ඒ හැමෝටම රටක් රැකදෙන්න ඕන කියන අදහසින් අප පොදුජන පෙරමුණේ අපේක්ෂක ගෝඨාභය දිනවන්න මහන්සි වෙන්නෙ.
පෞද්ගලිකව මම ගත්තොත් මට මිනිස්සු ආදරය කරන්නෙ මම නිරූපණය කරන චරිතයට. බලන්න පළිඟු මැණිකේ නාට්‍යයේ සූරසේන චරිතය මම රඟපාද්දි මිනිස්සු මාව දන්නෙ නෑ. හැබැයි ඒ නිරූපණයට ආදරය කළා. ඒ චරිතය නිසා මට ලියුම් ‌ගෝනී භාගයක් ආවා.
මම දන්න තරමට අපේ පෞද්ගලික පෙනී සිටීමට වඩා ප්‍රේක්ෂකයො සලකන්නෙ මුලින්ම ඒ චරිතවලට.එනිසා මට මගේ ප්‍රේක්ෂකයා මොන පක්ෂෙද කියන එක නෙවෙයි, මගේ ප්‍රේක්ෂකයාත් මගේ රට වැසියෙක්. ඔහු ඉන්නත් මම ඉන්නත් රට රැකෙන්න ඕන. අන්න ඒ නිසා මම දේශපාලනයේදී එහෙම රට රකින්න පුළුවන් නායකයා තෝරාගෙන ඔහුගෙ ජයග්‍රහණය වෙනුවෙන් වැඩ කරනවා.
දැන් පොදුවේ කලා කේෂ්ත්‍රයේ නිතර කියැවෙන වනේ කොයි ආණ්ඩුව ආවත් කලාකරුවන්ට කලා ක්ෂේත්‍රයට සෙතක් වුණේ නෑ කියන එක. ඒ නිසාම අපි දැනටමත් ගෝඨාභය මහත්තයා එක්ක සංවාදයක ඉන්නවා, අපේ ශිල්පීන් අපේ නාට්‍ය කලාව ඇතුළු කලා ක්ෂේත්‍රය සුරක්ෂිත කරන වැඩපිළිවෙළක් ගැන.
එහෙම සැබෑම වැඩක් කරන්න හැකි එකම ජනාධිපති ධුර අපේක්ෂකයා ඔහු. දැන් විපක්ෂ මත දරන අය අහන ප්‍රශ්නයක් තමයි රාජපක්ෂලාම ඕනද රට හදන්න කියන එක. ඉතින් ගෝඨාභය රාජපක්ෂ කෙනෙක් වෙලා ඉපදිච්ච එක වැරැද්දක් නෙවෙයිනෙ.
අපි අමතක කරන්න හොඳ නෑ. යුද්ධය නවත්තනවා කියාගෙන ජනාධිපතිවරු ඔක්කොම පත්වුණේ. හැබැයි කවුරුත් ඒක කළේ නෑ.
ඒක නවත්තන එඩිතර වැඩේ කළේ මහින්ද රාජපක්ෂ. ඔහුට හයියක් වෙමින් සැලැසුම් සකස් කරමින් පරිපාලනමය වැඩ කරපු කෙනා කවුද..ඒ ගෝඨාභය.
මේ වේලාවේ යුද ජයග්‍රහණයට හිලව් වෙන්න ගෝඨාභය දිනවන්න කියලා නොවෙයි කලාකරුවො ලෙස අපි කියන්නෙ. රටේ ජයග්‍රහණයට දායක වෙන්නයි ගෝඨාභය දිනවන්න ඕන. ඔහුගේ කතාවක් අහලා බලන්න. ඔහු කාටවත් මඩ ගහනවද කියලා. මැතිවරණයට එන්න කලින් ඔහු එළිය වියත්මග වගේ වැඩසටහන් එක්ක මහජන මතය හා රට යා යුතු දිසාව ගැන සංවාදයක හිටියා. අනෙක ඔහු විශාල චින්තන විප්ලවයක් කළා. ඒක කුහක නැති ඕන කෙනෙක් දන්නවා.
කොළඹ නගරයේ ටොෆි කොළයක්වත් නොදා ඉන්න තැනට මිනිස්සු ගෙන්න ඔහුට පුළුවන් වුණා.
අපේ පෙනී සිටීම විතරක් නෙවෙයි මේ රටේ සුවහසක් මිනිස්සුන්ගෙ අවබෝධය එක්ක අනිවාර්යයෙන්ම ගෝඨාභය දිනනවා. මේ රටේ මිනිස්සුන්ට පහුගිය අවුරුදු කීපය ගැන හිතුවත් ගෝඨා ඇර දෙන්න වෙන සුදුස්සෙක් නෑ. නොවැම්බර් 17 උදේ රටම කිරිබත් කනවා ඒ ගෝඨාභයගෙ විශිෂ්ට ජයග්‍රහණය නිසා.
ඒ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු වේදිකාවට ගොඩවන කලාකරුවන් නියෝජනය කරමින් ශ්‍රියන්ත මෙන්ඩිස් දැක්වූ අදහස්ය.
මෙවර ජනාධිපතිවරණයට එජාපයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණෙන් හංසයා ලකුණින් ජනාධිපතිවරණයට ඉදිරිපත්ව තරග වදියි.
සජිත් ප්‍රේමදාස මහතාගෙ ජයග්‍රහණය වෙනුවෙන්ද කලාකරුවන් පිරිසක් එක්ව සිටිති.
ඒ අතර වීණා ජයකොඩි, රෙක්ස් කොඩිප්පිලි, නලින් ප්‍රදීප් උඩවෙල, රවින්ද්‍ර යසස්, රූකාන්ත ගුණතිලක, සමන්ද සිල්වා වැනි කලාකරුවෝ සිටිති. ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පී රෙකස් කොඩිප්පිලි ප්‍රජතන්ත්‍රවාදී පෙරමුණු වේදිකාවට නගින අරමුණු පැහැදිලි කළේ මෙසේයි.
“මම බදුල්ලෙනෙ. ඉතින් අපේ අම්මයි මල්ලිලා දෙන්නයි කවුරුත් යූඇන්පි තමයි. පරම්පරාවෙන්ම යූඇන්පි. එකදාස් නවසිය පනස් ගණන්වල එස්.ඒ පීරිස්ට වැඩ කළා. ඒකාලේ සිට යූඇන්පියට ලැදියි. ඔය පක්ෂ මාරු කරන අය වගෙ මම පක්ෂමාරු කළේ නෑ. අපේ ගොඩක් අය එහෙමයි. පෞද්ගලිකව මම විජය කුමාරතුංගගෙ සමීප යාළුවෙක් වෙලා විජය නිසාවත් යූඇන්පිය ඇතෑරියේ නෑ.
විජය මහර අතුරු මැතිවරණයට ඉල්ලන වෙලාවෙත් අපි එකට සූටිං ගියා චිත්‍රපට වැඩ කළා. නමුත් මම ප්‍රතිපත්තිය පාවා දුන්නෙ නෑ.
කට්ටිය අහනවා දේශපාලනයෙදී අපේක්ෂකයන්ට උදව් කරාට එයාලා දිනලා කලා ක්ෂේත්‍රයට කරපු දෙයක් නෑ නේද කියලා.
අපේක්ෂකයට කියලා කලාවට වැඩ කරන එක මගෙ වැඩක් නෙවෙයිනෙ. ඒවට පරිපාලන කට්ටිය ඉන්නවනේ. අනික මම මට කියලා තඹ සතේක දෙයක් කරගෙන නෑ. හැබැයි අනික් අය යම් උපකාර ඉල්ලන් එද්දී එයාලට උදව් කරන්න මම කතා බහ කරලා තියෙනවා.
මම කවදාවත් කවුරුවත් කියනවට හරි බයකට හරි එජාපය දාල ගියේ නෑ. 88/89 භීෂණ කාලේ මම ගාමිණි ෆොන්සේකා එක්ක මාතර ගිහින් බය නැතුව වැඩ කළා. මම විතරයි එහෙම එදා ගියේ. දැන් විපක්ෂ කට්ටිය නිතරම කියනවනෙ මහ බැංකු වංචාවක් වුණාය සිද්ධි ගැන එවා නිසා අපට යූඇන්පි එක වෙනුවෙන් ඡන්දෙ දෙන්න පුළුවන්ද කියලා.
ඔය මහ බැංකුවේ හොරකම් කළාය කියලා රනිල්ට රවීට චෝදනා කරනවා මමත් පත්තරවල ටීවිවල දැකලා තියෙනවා. ඒ වුණාට ඒවා වුණාද නැද්ද කියලා මම දන්නෙ නෑනේ. ඒවගේම ඒවා උසාවියක ඔප්පුවෙලත් නෑ. චෝදනා ඕන කෙනකුට කරන්න පුළුවන්නෙ.
තව අපෙන් අහන ප්‍රශ්නයක් තමයි සජිත් ප්‍රේමදාස එක්සත් ජාතික පක්ෂෙන් අලියා ලකුණෙන් නෙවෙයිනෙ ඉල්ලන්නෙ. ඒ වුණත් ඔබේ සහය සජිත්ටද කියලා. අපේ පක්ෂෙ එකඟවෙලා දාලා තියෙන කෙනානෙ සජිත්. ඉතින් එයාට අපි උදව් කරනවා.
සජිත් නැතුව අජිත් පී, සුජීව, රංගෙ වගේ අයෙක් ඡන්දෙට පක්ෂෙන් දැම්මොත් අනිවාර්යෙන්ම පක්ෂය උදව් කරන්නෙ එයාට නම් එයාට තමයි මගේ ඡන්දේ. මම මැරෙනකම් යූඇන්පී තමයි. මහින්ද මහත්තයා, එතකොට නැසීගිය කොල්වින් ආර්ද සිල්වා, ටී.බී. ඉලංගරත්න, ඇන්.ඇම්. පෙරේරා මේ වගෙ සියල්ලොම මගේ හොඳ හිතවත්තු. හැබැයි මගේ දේශපාලන උදව්ව යූඇන්පී අපේක්ෂයා කවුද එයාට විතරයි.
දැන් එතකොට ඔය ශ්‍රී මුඛ කතාවක් කිව්වා කියලා මම දැක්කා තැන තැන කියනවා. තව මොකක්ද ආර්යා කතාවක්. මේවද තියෙන ප්‍රශ්න? මම නම් එහෙම කිව්වද කියලා දන්නෙ නෑ. මම හිතන්නෙ නෑ එයා එහෙම කියයි කියලා. ඒ ගොල්ල උගත් අයනේ. මම හිතන්නෙ නෑ එහෙම කියයි කියලා.
මේ පාරත් යූඇන්පි අපේක්ෂකයා උඩින්ම දිනනවා. ඒක වළක්වන්න බෑ.
මෙවර ජනාධිපතිවරණයට ජනතා විමුක්ති පෙරමුණෙ නායක අනුර කුමාර මහතාද ඉදිරිපත්ව සිටී. හේ තරග කරනුයෙ ජාතික ජන බලවේගය නම් එකතුවක අපේක්ෂකයා ලෙස මාලිමාව ලකුණිනි. අනුර කුමාර ජනපති කරවීමේ සටනේද කලාකරුවන් පිරිසක් පෙරමුණෙ සිටී. ජයතිලක කම්මැල්ලවීර, දීපානි සිල්වා, සමනලී ෆොන්සේකා, ජගත් මනුවර්ණ, චන්ද්‍රසෝම බිංදුහේවා, ලියනගෙ අමරකීර්ති ඇතුළු පිරිසක් සිටී. ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පියකු වන චන්ද්‍රසෝම බිංදුහේවාගෙන් අනුර කුමාර ජනපති කරවීමේ සටන ගැන කරන්නේ මෙවන් කතාවකි.
“ අපි හැමෝටම දේශපාලනයක් තියෙනවනේ. මම විශ්වාස කරන දේශපාලන දර්ශනයට සහයෝගය දක්වනවා.
1970 විජේවීර සහෝදරයා වැඩ පටන් ගන්න කාලෙම මමත් පන්ති පහට ගියා.71 රට බාරයි නුඹට පුතේ කියලා නාට්‍යක් කළා මම. ඒකෙ අපි විශ්වාස කරන දේශපාලනය කතා කළා. පක්ෂෙ විප්ලවයෙ රණ ගී නම් ගීතය තනු යොදා ගැයුවෙ මම. ඉතින් මම වමේ ව්‍යාපාරයට එදා සිට කැපවන නිසා මම අනුර කුමාර දිනවන්න වේදිකාවට නගිනවා.
දැන් ප්‍රතිවාදි කණ්ඩායම් කියනවනෙ අනුර කුමාර සහෝදරයා හිටපු නායකයන්ගෙන් විවේච්නයට ලක් වුණා කියලා. ඉතින් ඒ අවස්ථාවල හිටපු නායකයො දැරූ මතයන් නිවැරදි නැත්නම ඒවට පක්ෂෙ අය විරුද්ධ වෙන්න ඕනනේ. සෝමවංශ සහෝදරයාගෙ විවෙචන සහ සමහර අදහස් වලට මමත් එකඟ නෑ. මම හිතන්නෙ පක්ෂෙත් එකඟ නැතුව ඇති. ඔහු දරපු මත ඇතැම් ඒවා ගැළපෙන්නෙ නෑ. විශේෂයෙන් ඔහු කිව්වනෙ අපි පන්සල කේන්ද්‍ර කරගන්නවා මදි.
පූජාවලින් වත් පිළිවෙත්වලට එක් වෙමින් මේ ගමන යන්නනෝන කියලා. පන්සලෙන්ම දේශපාලනය විකාශනය කරන්න කියලා එකක් නෑනේ. මම හිතනවා ඔය වගෙ මත නිතර ගැටෙන්න ඇති.
අනික පක්ෂෙ තරුණ නායකයකුට ලැබිච්ච එක හොඳයිනෙ.
අපෙන් නිතර අහන කරුණක් තියෙනවනෙ. ජවිපේ එක එක වෙලාවට එක එක්කෙනාට උදව් කරනවා කියලා. ඒක වෙන්නෙ මෙහෙමනෙ. ඒ ඒ මොහොතේ තියෙන තත්ත්වය අනුවයිනෙ තීන්දු ගන්නෙ. චන්ද්‍රිකාට උදව් කළා, මහින්දට උදව් කළා, ෆොන්සේකාට උදව් කළා, මෛත්‍රීට උදව් කළා ඒ ඒ අවස්ථාවට අනුව. එකෙ වරදක් නෑනෙ.
විශේෂයෙන් 2015 අපට ඒ මොහොතේ වඩා වැදගත් වුණේ රාජපක්ෂ කල්ලිය එළවන්න අපි ඒ වෙනුවෙන් මෛත්‍රී දිනවන්න වක්‍රව සහය වුණා මිසක් වෙන අයෙක් අගමැති කරන්න කරපු වැඩක් නොවේ එය.
2010දී පෞද්ගලිවකව මම නම් ෆොන්සේකා වෙනුවෙන් පෙනී හිටියෙ කරුණු කීපයක්ම මත. එකක් ඔහු මගෙ සමීප නෑදැයෙක්.
එක ගමේ. අවසානෙ පක්ෂෙත් ෆොන්සේකා දිනවන්න එකතු වුණ නිසා සතුටින්ම ඒ සඳහා සහය පළ කළා. මෙවර ඉතින් එළියෙන් අපේක්ෂයො ඕන නෑනේ. ජාතික ජන බලවේගය එක්ක නායක සහෝදරයම ඉදිරිපත් වෙනවා.
ඔහු හෙළි කළ, ඔහු පැහැදිලි කළ මේ රටෙ හිටපු ඉන්න පාලකයන්ගෙ දූෂණයන් හොරකම් නිසා ඒ ඒ පක්ෂවලට ගැති මිනිස්සු ඔහුට මඩ ගහනවා. බලන්න අපි එක්ක ඉන්න පිරිස විද්වතුන්. පුළුල් ජාතික ජනබලවේගය දවසෙන් දවස ජනතා ප්‍රසාදය දිනන හැටි. අනික රටක කලාවක් දියුණු වෙන්න නම් බොල් මිනිස්සු පාලනයට ඇවිත් වැඩක් නෑනේ. මේක තමයි මිනිස්සුන්ට හරිම තීරණය ගන්න වෙලාව. මිනිස්සු ඒක ගන්නවාට විශ්වාසයි. ඒකේ සැකයක් නෑ. අනිවාර්යයෙන්ම මෙවර මිනිස්සු බුද්ධිමත්ව ඒ තීන්දුව ගන්නවා. ඒකෙ සැකයක් නෑ. නියත ලෙසම අනුර කුමාර සහෝදරයා දිනනවා.
ඒ ඒ අපේක්ෂකයන් වෙනුවෙන් පෙනී සිටින කලාකරුවන්ගෙ අදහස් එසේය. අවසාන තීන්දුව තිබෙන්නෙ මෙරට මහජනතාව මතය. ඒ නොවැම්බර් 16 දාටයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!