Gossip

දෙවැනි ඉනිම තමයි මම රඟපාන අවසාන මෙගා ටෙලි නාට්‍යය – දෙවෙනි ඉනිමේ දෙව්මි කියපු කතාව

නයනතාරා වික්‍රමආරච්චි කියනවාට වඩා දෙවෙනි ඉනිමේ දෙව්මි කියන නම ඇයට සමීපයි. මෙරට ප්‍රධානතම සම්මාන උළෙලයන් දෙකකදීම එකම වසරකදී (2017) ජනප්‍රියතම රංගන ශිල්පිනිය ලෙස සම්මාන ලබමින් ප්‍රේක්‍ෂක ආදරය සහ ගෞරවය දිනා ගැනීමට ඇය වාසනාවන්ත වුණා. ඉතින් ඇය ඇගේ විස්තර පුවත්පතක් සමග කියලා තිබුණා. මේ එම සාකච්ඡාවයි.

“රඟපෑම” ඔබේ සිතේ කුඩා කළ සිට පැවැති බලාපොරොත්තුවක්‌…
ඇත්තෙන්ම ඔව්. මගේ ආශාව සහ දක්‍ෂතාව එළි දැක්‌වීමට අම්මා උපකාර කළා. ආරම්භයේදී වගේම හැම මොහොතේම ඇය තමයි මගේ සෙවනැල්ල වගේ ළඟින්ම ඉන්නේ. මම කලාව තෝරා ගන්නවාට මගේ පියා කැමති වුණේ නැහැ. නමුත් සඳලංකා මධ්‍ය මහා විද්‍යාලයේ සහ වැලිවේරිය මද්දුම බණ්‌ඩාර මහ විද්‍යාලයේ අධ්‍යාපනය ලබන අවධියේ සිටම මම කලාවට ඇති දක්‍ෂතාවන් සහ හැකියාවන් එළිදැක්‌වූවා.

ඔබ කලාව පිළිබඳව ප්‍රවීණයන් යටතේ හදාරා ඒ ආභාසයන් රැගෙන රංගනයට පිවිසෙනවා…
ඔව්. මම වසර කිහිපයක්‌ම නාට්‍ය හා රංග කලාව පිළිබඳව හැදැරීම් සිදුකළා. “මායා ශක්‌ති රංග ශිල්ප ශාලිකාවේදී” කළ හැදැරීම් විශේෂිතව සිහිපත් කළ යුතුයි. ප්‍රවීණ කලා ශිල්පීන් වන ධර්මජීත් පුනර්ජීව සහ අනෝමා ජනාදරී මහත්ම මහත්මීන් මට කිසිදු ගුරු මුෂ්ටියකින් තොරව නාට්‍ය හා රංග කලාව පිළිබඳව ගුරු හරුකම් ලබා දුන්නා. මේ රංග පාසලේදී එළිදැක්‌වූ “රැගෙන අවි මමද එමි” වේදිකා නාටකය වෙනුවෙන් තමයි මම මුල්වරට රංග ගත වෙන්නේ.

රඟපෑම කියන විෂය සමඟ යම්තාක්‌ දුරකට “සන්නද්ධ” වූ ඔබ, මුල්වරට ටෙලි කැමරාවට මුහුණ දෙනවා…
2015 දී තමයි මට ඒ අවස්‌ථාව උදාවෙන්නේ. ප්‍රවීණ කලා ශිල්පී, ජයප්‍රකාශ් සිවගුරුනාදන් මහතා අධ්‍යක්‍ෂණය කළ “හංස පිහාටු” ටෙලි සිත්තමේ “විහංගී” චරිතයට පණ පොවමින් තමයි මම පුංචි තිරයට ප්‍රවිෂ්ටය ලබා ගන්නේ. මෙය මට විශාල අත්දැකීමක්‌ වුණා. මම මගේ මුල්ම චරිතයට සාධාණය ඉටු කළා. සද්දාමංගල සූරියබණ්‌ඩාර මහතා ඇතුළු පිරිසගෙන් ලැබුණු සහායත් ගෞරවයෙන් සිහිපත් කරන්න කැමතියි.

“දෙවැනි ඉනිම” ටෙලි නාටකයේ “දෙව්මිට” මේ දිනවල ලැබෙන ප්‍රේක්‍ෂක ප්‍රතිචාර ඔබව සතුටින් පුරවාලන්නක්‌ නේද…?
ඇත්තෙන්ම ඔව්. “දෙවැනි ඉනිමේ “දෙව්මිට” වගේම “සඳ දිය සිත්තම්” ගී අරලියාටත් යහපත් ප්‍රතිචාර ලැබෙනවා. ඔව්. ඒ ප්‍රතිචාර ඔබ කියූ පරිදි මගේ සිත සතුටින් පුරවාලන්නක්‌. “දෙව්මිට” හැමෝගෙන්ම හොඳ ප්‍රතිචාර තියෙනවා. හුඟක්‌ අය ඒ චරිතයට ආදරෙයි. හරියට පවුලේ කෙනෙකුට වගේ. දෙවැනි ඉනිමේ හැම චරිතයක්‌ම, හැමෝම හොඳ අවබෝධයෙන් ඉදිරිපත් කළා. මමත් එහෙමයි. මේ චරිත ගොඩ නඟන්න අධ්‍යක්‍ෂවරයා වගේම හැමෝගේම සහායත් ලැබුණා. ඒ සාර්ථකත්වය අද “දෙවැනි ඉනිමේ සාර්ථකත්වය බවට පත්වෙලා තියෙනවා. ඉතිං… ඒක මටත් ලොකු සතුටක්‌.

“දෙවැනි ඉනිම” තව කොච්චර දුර ඇදී යයි කියලද ඔබ සිතන්නේ….?
මම හිතන්නේ හොඳ අවසානයක්‌ දක්‌වා ඇදී යයි. සමහර විට එය අද හෙට හෝ නුදුරේදී විය හැකියි.

ඔබ මින් මතුවට “මෙගා” සමඟ එකතු නොවන බව පැවැසුවා…
ඔව්. දෙවැනි ඉනිම තමයි මම රඟපාන අවසාන මෙගා ගණයේ ටෙලි සිත්තම. ඊට පසුව මම රඟපාන්නේ කොටස්‌ ගණනකට සීමාවූ නිශ්විත පිටපතකට අනුගත වූ හොඳ නිර්මාණ වෙනුවෙන්. “බවාත්මා” මම රඟපාපු තවත් හොඳ ටෙලි නිර්මාණයක්‌. මේ දිනවලත් රූප ගත කරනවා. “සමනලුන්ට එන්න කියන්න” තවත් එවැනිම නාට්‍ය නිර්මාණයක්‌. මේ දෙකම ඉදිරියේදී විකාශයට නියමිතයි.

ඉකුත් වසරේ පැවැති සම්මාන උළෙලයන් දෙකෙහිම ජනප්‍රියතම රංගන ශිල්පිනිය ලෙස සම්මානිත වීමට ඔබ වාසනාවන්ත වුණා. .. ඒ ගැන…
ඔව්. 2017 වසරේ පැවැති “රයිගම්” සහ “සුමති” සම්මාන උළෙලයන් දෙකෙහිම ජනප්‍රිය රංගන ශිල්පිනිය ලෙස සම්මාන ලබන්නට මට හැකියාව ලැබුණේ “දෙවැනි ඉනිම සහ තවත් නාට්‍යයට මා නිරූපිත රංගන දක්‍ෂතා නිසා කියා සිතනවා. ඒ ඇගයීම සහ සම්මාන මගේ රංගන ජීවිතයට ලොකු වටිනාකමක්‌ එකතු කළා. මේ සම්මාන දෙකම ලැබුවේ මම කලාවට ප්‍රවිෂ්ඨ වී ඉතාමත් කෙටි කලකින්. හැබැයි හොඳම නිළිය වීමේ බලාපොරොත්තුවත් සපුරා ගත යුත්තක්‌ව තිබෙනවා. මම ඒ වෙනුවෙනුත් ගමනක්‌ යනවා. මට මගේ රටේ ප්‍රේක්‍ෂකයන් ගොඩක්‌ම ආදරය කරන්නේ හදවතින්ම. එය හරිම සංවේදී අවස්‌ථාවක්‌. මම ඒ ප්‍රේක්‍ෂක ආදරයට නිබඳවම ගෞරව කරනවා වගේම පෙරළා ආදරය කරනවා.

ඔබ වේදිකාවෙන් රඟපෑම ආරම්භ කළාට කල් යත්ම එය අමතක කළා යෑයි මා චෝදනා කළොත්?
ඔබේ චෝදනාව සමඟ සම්පූර්ණයෙන්ම එකඟවීමට මා සූදානම් නැහැ. ඔව්. වේදිකාව වෙනුවෙන් මට බොහෝ ආරාධනා ලැබුණා. නමුත් මම ඒවා භාර නොගත්තේ මට මේ අවස්‌ථාවේ ඒ වෙනුවෙන් කළ යුතුව තිබෙන සුවිශාල කැප කිරීම කරන්නට අපහසු තත්ත්වයක්‌ තිබෙන නිසා. විශේෂයෙන්ම කාලය. නමුත් වේදිකාව කියන්නේ රංගනයේ තාත්විකත්වය විද්‍යාමාන කළ හැකි සහ ඒ පිළිබඳව උගත හැකි අපූරු ස්‌ථානයකට. ඔව්. මම ඒ තැන පසුකර මේ ගමන යන්නේ නැහැ. ඉදිරියේදී කෙසේ හෝ කාලය කළමනාකරණය කර ගනිමින් දායකත්වය ලබා දෙන්නට මා උත්සුක වෙනවා.

ඔබේ රංගන දිවියේ නැවතුම් පළ සිනමාව විය හැකි බව මේ කතා බහේදී කියවුණා. ඒ වෙනුවෙන් මේ වන විට ඔබ තබා ඇති ආරම්භය පිළිබඳව යමක්‌ පැවසුවොත්…
“මා”, ”එක දවසක අපි” සහ “සිනේමා” මම රඟපෑ සිනමා සිත්තම්. මේ වසරේ ආදරවන්තයින්ගේ දිනයට “එක දවසක අපි” චිත්‍රපටය තිරගත වීමට නියමිතව තිබෙනවා. ඒක සම්භාවය ගණයේ චිත්‍රපටයක්‌. මේ චිත්‍රපටවලදී මා නිරූපිත චරිත පිළිබඳව කතා කරනවාට වඩා ඒ පිළිබඳව සිතන්නට සහ කතා කරන්නට ප්‍රේක්‍ෂකයාට කාලය ලබාදිය යුතුයි කියන මතයේ තමයි මම සිටින්නේ.

රඟපානවා සහ පෙනී සිටිනවා කියන්නේ දෙකකට නේද…?
ඔව්. නමුත් මම මෙතෙක්‌ කළේ රඟපෑම. ඒත් රඟපෑම කියන්නෙත් රඟපෑමකටම නොවිය යුතුයි. අපි කළ යුතුව ඇත්තේ ලැබෙන චරිතය තුළ ජීවත්වීම. මම ඒ වෙනුවෙන් ලැබුණු සෑම අවස්‌ථාවකදීම යහපත් උත්සාහයක නියැලුණා. මම මුලින් කීවා වගේ ඒක ප්‍රේක්‍ෂක ඇසින් බැලිය යුතුයි. අපි නිර්මාණ වෙනුවෙන් දක්‌වන රංගන දායකත්වයට ගල් සහ මල් වගේම විචාර, අවිචාරත් ලැබෙනවා. ඒවා භාර ගැනීමට සහ ශක්‌තියක්‌ කර ගනිමින් ඉදිරියට යැම තමයි කළ යුතුව තිබෙන්නේ.

ඔබ රඟපෑමේදී සීමා මායිම් සලකුණු කර ගත් ශිල්පිනියක්‌ද…?
ඔව්. එය එසේ සිදුවිය යුතුයි. මට ලැබෙන පිටපතට අනුව චරිතය ගොඩනඟා ගන්නවා වගේම මගේ වටපිටාවේ රඟපාන පිරිස සහ අධ්‍යක්‍ෂවරයා පිළිබඳවත් මට හොඳ අවබෝධයක්‌ තිබිය යුතුයි. චරිතය ගොඩනඟා ගැනීමට මානසික නිදහසක්‌ ඉතාමත් වැදගත්. එසේ නොමැතිව ‘සිනමා හොරු’ සමග සිට ගන්නට මම සූදානම් නැහැ. මම සිනමාව වෙනුවෙන් දක්‌වන දායකත්වයේදී නිෂ්පාදකවරයා ආරක්‍ෂා කර ගැනීම ගැනත් කල්පනා කරනවා. මම මේ ක්‍ෂේත්‍රයට නවකයකු වුණත් මේ කලාව සහ එහි සැරිසරන ප්‍රවීණයන් පිළිබඳවත් මට හොඳ අවබෝධයක්‌ තියෙනවා. මම ඔවුන්ව හොඳින් ආශ්‍රය කර තිබෙනවා. අද හුඟක්‌ අය ඉන්නේ කලාව ගැන කල කිරිලා. කලාකාරයා කියන්නේ කොහොමටත් සංවේදී චරිතයකට. ඇත්තටම අපේ රටේ තිබුණු කලාවේ ස්‌වර්ණමය යුගය අහිමිවීම ලොකු අපරාධයක්‌.

දැන් රඟපෑම කියන්නේ ඔබේ රැකියාවටද…?
නැහැ. කොහෙත්ම නැහැ. ඔළුව කෙළින් තියාගෙන නිදහස්‌ වටාපිටාවක කලාව කරන්න තමයි මගේ කැමැත්ත. නමුත් මේක මගේ රැකියාව කර ගන්නේ නැහැ. සමහර විට ඉදිරියේදී මම ව්‍යාපාරයක්‌ පටන් ගනිවී. කලාවේ දිගටම රැඳී සිටියොත් ඒ සිනමාවට මුල්තැන ලබා දෙමින් තමයි.

ආදරය සහ විවාහය ගැන මොන විදිහටද හිතන්නේ…
මගේ ආදරණීය ප්‍රේක්‍ෂකයන්ගේ සහ දෙමාපියන්ගේ ආදරය මට නොඅඩුව ලැබෙන නිසා වෙනත් විශේෂිත වූ ආදරයක්‌ මේ මොහොතේ මට නැහැ. මට එහෙම අඩුවක්‌ දැනිලත් නැහැ. නමුත් බැඳීම් නැතිව කිසිවකුට ජීවත්වෙන්නත් බැහැ. ඉතිං… කවදාහරි දවසක ජීවිතයේ සිදුවිය යුතුම දේවල් මටත් ඒ ආකාරයෙන්ම අත්විඳින්නට සිදුවෙයි.

උපුටා ගැනීමකි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!