Gossip

දුවගේ රුවට මවගේ හඬදී ලෝකයේ පළමු වරට සම්මාන ලැබූ සමිතා සහ දියණිය

පසුගියදා පැවැත්වුණු දෙරණ , ලක්ස් සම්මාන උලෙළේ දී මෙතෙක් සම්මාන උලෙළකදි සිදු නොවුණු සුවිශේෂි සිදුවීමක් සිදුවුණා.
ඒ මවක සහ දියණියක එකම සිනමාපටයක් වෙනුවෙන් දායක වී සම්මානයට පාත්‍ර වීම. එම සිදුවීම කාගෙත් ඇසට කඳුළක් ඉනුවා මෙන්ම කාගෙත් කතා බහට ලක්වුවා.
ඒ ගැන වැඩිදුර තොරතුරු දැනගන්නට සමිතා එරන්දතී මුදුන්කොටුව සහ කවින්ද්‍යා අධිකාරි ඇමතූ විට ඔවුන් කීවේ මෙවැනි කතාවක්…

දෙදෙනාටම සුබ පැතුම්..
ස්තූතියි.

දියණියගේ රංගනයකට මවක් පසුබිම් ගීත ගායනා කරමින් සම්මානයට පාත්‍රවු ප්‍රථම අවස්ථාව මෙය නේද?
දන්නා තරමින් ලෝකයේම පළමු වතාවට තමයි දියණිය වෙනුවෙන් මවක් ගීත ගායනා කර සම්මානයට පාත්‍ර වන්නේ. දුවගෙත් පළමු රංගනය. අප දෙදෙනාටම එකම වේදිකාවකදි සම්මාන හිමිවීම ගැන සතුටුයි. විශේෂයෙන් දුවට ලැබුණු සම්මානය ගැන පුදුමාකාර සතුටක් තිබෙන්නෙ.

සම්මානයට පාත්‍ර වු සිනමාපටය ගැනත් සිහිපත් කරමු නේද?
ජයන්ත චන්ද්‍රසිරි අධ්‍යක්ෂණයකළ ‘ඝරසරප‘ සිනමාපටය වෙනුවෙන් කවින්ද්‍යා පෙනී සිටින ගීතමය ජවනිකාවකට මා සහ බාචි ගායනාකළ ‘හැම දෙයක්ම පෙනේ එක දෙයක් ලෙසේ‘ ගීතයට තමයි ජනප්‍රියම සිනමා ගීතය ලෙස සම්මාන ලැබූවේ. කවින්ද්‍යාට ‘ඝරසරප‘ සිනමාපටයට කළ රංගනය වෙනුවෙන් නැගී එන නිළිය ලෙස ජූරියේ සම්මානය හිමි වුවා.

ඔබ සම්මාන උලෙළේදි පැවැසුවා මෙය ඔබේ පළමු සම්මානය කියා..හිතා ගන්න බැහැ නේද?
එය තමයි ඇත්ත.
මීට පෙර කිහිප අවස්ථාවකම සම්මාන සඳහා නිර්දේශ වෙලා තියෙනවා. නමුත් සම්මාන ලැබුණේ නෑ. මම කලාවට එන්නේ 88 වසරෙදි. ඒ කාලෙ රූපවාහිනී සංස්ථාව මගින් පැවැත්වු තරගයකින් ප්‍රථමයා වී රටවල් එකසිය ගණනක් සහභාගි වු දැවැන්ත වේදිකාවකට නගින්න අවස්ථාව ලැබුණා. ඒ ඇරෙන්න කිසිම සම්මානයක් හෝ අවස්ථාවක් මීට පෙර ලැබිලා නැහැ.

කලාවට පැමිණ දශක තුනක් පසුකළා නේද?
මම කලාවට එන්නේ ගායිකාවක ලෙසින් අසූ අට වසරෙදි ‘සිනා පිපෙනා මේ වසන්තය‘ ගීතය ගායනා කරමින්. ඒ එක්දහස් නවසිය අසූ අට වසරෙදි.
ඒවන විට මම පාසල් සිසුවියක්. වයස දාසයේදි ළාබාලතම සංගීත විශාරද උපාධිය ලබා ගත්තා. මා ‘ඉරපායා‘ ගීතය ගායනාකළේ පාසල් යන කාලයේදි.
මුළු ලංකාවම එදා සිට අද දක්වා එම ගීතයට ආදරය කරනවා. ඒ ආදරය එදත්, අදත්, හෙටත් එක වගෙයි. ඒ නිසා සම්මාන නොලැබුණා කියා කිසිම දුකක් නැහැ.

කවදා හෝ දියණිය රංගන ශිල්පිනියක වෙයි කියා හිතුවාද?
කොහෙත්ම නැහැ. කවින්ද්‍යා ඉපදෙන්න ඉන්නකොට කවදහරි එයාව පයිලට් කෙනෙක් කරනවා කියා තමයි හිතේ තිබුණේ.
එයා ලොකු වෙන්න, ලොකු වෙන්න මට බයක් දැනුණා එවැනි වෘත්තියකට දුව යොමුකරන්න. පසුව මම තීරණය කළා දුවට කැමැති වෘත්තියක් තෝරාගන්න ඉඩ දෙනවා කියා. එයාම තමයි කලාව තෝරා ගත්තේ.
එ ගැන සතුටුයි. මොකද දුව රංගනය පමණක් නොවෙයි ගායනය, නර්තනයත් හොඳින් ප්‍රගුණ කර තිබෙනවා.
දිගටම දියණිය වෙනුවෙන් ගීත ගායනාකරන්නද බලාපොරොත්තුව..
දුව වෙනුවෙන් හැමදාම වුණත් ගී ගයන්න කැමැතියි. මේ දවස්වල විකාශයවන ‘සක්කාරං‘ ටෙලි නාට්‍යයේත් දුව වෙනුවෙන් ගීතයක් ගායනා කරනවා. මම හිතනවා කවින්ද්‍යට මගේ හඬ හොඳින් ගැළපෙනවා කියලා.
ඉදිරියේදිත් ඇය සම්බන්ධ වන නිර්මාණවලට ගායනයට ආරාධනා ලැබුණොත් සතුටෙන් භාර ගන්නවා.

ඔබව පසුගිය කාලය පුරාම දුටුවේ රියැලිටි වැඩසටහන්වල විනිසුරුවරියක ලෙසින්. එවැනි දේට සම්බන්ධ වෙන්නෙ කිසියම් හේතුවක් නිසාද?
මම හැමදාමත් නවකයන් සමග ගීත ගායනා කිරීමටත් ඔවුන් වෙනුවෙන් පෙනී සිටීමටත්, ඔවුන් ඇගැයීමටත් කැමැති ගායිකාවක්. මම කැමැතියි අපේ සංගීත ක්ෂේත්‍රයට දක්ෂයෝ එනවට.
ඒ අය අපේ කලාවට අත්‍යවශ්‍යයි. රියැලිටි වැඩසටහන්වලට සහභාගිවීමෙන් ඒ අයට ක්ෂේත්‍රයට පිවිසෙන්න අතදීමට ලැබෙන ඉඩ ප්‍රස්තාව වැඩියි.
ඒ නිසයි මම කැමැත්තෙන් රියැලිටි විනිසුරුවරියක ලෙස පෙනී සිටින්නේ. එළැඹෙන අගෝස්තු වේ පටන් ගන්නා දෙරණ ඩ්‍රිම්ස්ටාර් රියැලිටියේ විනිසුරු වරියක් ලෙසින් සහභාගි වෙනවා..

දුව වගේම දවසක පුතාත් කලාවට එයිද?
මම හිතන්නේ පුතා කලාවට නෙමෙයි ක්‍රිකට්වලට නම් දවසක එයි. දැනටත් ඔහු ජයසූරිය ඇකඩමියෙ ක්‍රිකට් පුහුණුව ලබනවා.
පුතා කොළඹ ගේට්වේ ජාත්‍යන්තර පාසලේ ඉගෙනුම ලබනවා.

දරුවන්ගේ අනාගතය ගැන මවක් විදිහට දකින හීන කොතෙකුත් ඇති නේද?
හීන නම් ගොඩයි. මම මගේ දරුවො දෙන්නව හැදුවෙ හොඳ විදිහට.
ඒ දෙන්නම මට දෙවියන්ගෙන් ලැබුණු දායාද කියලයි මම හිතන්නෙ. අම්ම කෙනෙක් විදිහට මම විතර සතුටෙන් ඉන්න අම්මෙක් තවත් නැතුව ඇති.
ප්‍රේක්ෂකයන්ට මොනවද කියන්න තියෙන්නේ..
අද මම මෙතැන ඉන්නේ මගේ අම්මා, තාත්තා, සහ මට ආදරය කරන රසික, රසිකාවියන් නිසයි. ඒ ආදරයම මගේ දියණියටත් අද ලැබිලා තියෙනවා.
මම වගේම මගේ දියණියත් ප්‍රේක්ෂකයන් වෙනුවෙන් යමක් කරයි.

උපුටා ගැනීම – සිළුමිණ පුවත්පත

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!