Gossip

“දුම්රියෙන් බැස්‌සම අපි හොල්මන් වුණා, එක්කෝ හොස්පිටල් එකේ නතර වෙන්න වෙනවා, නැත්නම් පෙට්ටියෙන් ලංකාවට එන්න වෙනවා”

මෙරට ක්‍රිකට්‌ ක්‍රීඩකයන් දිරිමත් කරන ගයාන් සේනානායකය ගැන පසුගිය කාලේ පුරාම කතාවුණා.
ඒකට විශේෂ හේතුවක් වුණේ විරාත් කෝලිගේ විවාහ මංගල උත්සවයට ගයාන්ට ආරාධනා ලැබීම.
මේ හැමදේම ගැන ගයාන් සතිඅන්ත පුවත්පතකට මේ විදිහට අදහස් දක්වලා තිබුණා.
‘පළමු වතාවට පිටරට මැච් එකක්‌ බලන්න යන්න ලෑස්‌ති වුණේ බංගලිදේශයට. ඒ මගේ ජීවිතේ පළමු වතාවට පිටරටකට යන්න ලෑස්‌ති වෙච්ච අවස්‌ථාව. ඒ කාලේ ලංකාවේ ඉඳලා බංගලිදේශයට සෘජු ගුවන් ගමන් තිබුණේ නෑ. බංගලිදේශයට යන්න තියෙන වියදම අඩුම මාර්ගය චෙන්නායිවලට ගිහින් යන එක. චෙන්නායිවලට ෆ්ලයිට්‌ එකේ ගිහින්.
එතන ඉඳලා කල්කටාවලට දුම්රියෙන් යන්න ඕනා. කල්කටා ඉඳලා ඩකා නුවරට බස්‌ එකෙන් යන්න පුළුවන්. පළමු තරගය තිබුණේ චිතගොන් නගරයේ. එහෙට ඩකා ඉඳලා බස්‌ එකේ පැය අටක්‌ යන්න ඕනා. ගමන දුෂ්කරයි. චෙන්නායි ඉඳලා කල්කටාවලට දුම්රියෙන් පැය තිස්‌දෙකක්‌ විතර යනවා. කල්කටා ඉඳලා ඩකා නුවරට බස්‌ එක පැය දොළහක්‌ විතර යනවා. සාමාන්‍යයෙන් ඉන්දියාවේ දුම්රියක්‌ දවස්‌ තුනකට ඉස්‌සෙල්ලවත් බුක්‌ කරන්න ඕනා. අපිට දුම්රියක්‌ බුක්‌ කරන්න බැරි වුණා. චෙන්නායි ඉඳලා කල්කටාවලට යන්න වුණේ සාමාන්‍ය මගී දුම්රියක. අපි චෙන්නායි ස්‌ටේෂන් එකට ගියේ දුම්රිය අදින්න පැය භාගයක්‌ තියෙද්දී. අපිට වාඩි වෙන්න සීට්‌ නෑ. අපි හිටගෙන ගියේ. දුම්රිය පෙට්‌ටි ජෑම් වෙලා. හුස්‌ම හිර වෙන තරමට සෙනඟ…”
‘නිලාම් මේ විදිහට හිර වෙලා ගියොත් අපිට මැච් බලන්න යන්න වෙන්නෙ නෑ. එක්‌කෝ හොස්‌පිටල් එකක නතර වෙන්න වෙනවා. නැති නම් පෙට්‌ටියකින් ලංකාවට යන්න වෙනවා…’
‘එහෙම නම් අපි මොකොද කරන්නේ…’
‘මට හොඳ අයිඩියා එකක්‌ ආවා…’
‘ඒ මොකක්‌ද…’
‘කොහොමහරි මේ අයගේ අවධානය අපේ පැත්තට ගන්න ඕනා. ප්ලෑන් එක වැඩ කළොත් අනිවාර්යයෙන් අපිට වාඩි වෙන්න සීට්‌ එකක්‌ ලැබෙනවා…’ නිලාම්ට මම එහෙම කියලා ෆොන් එක අරගෙන ඉන්දීය ක්‍රිකට්‌ ක්‍රීඩකයන් එක්‌ක එකට ඉඳලා ගත්ත ෆොටෝ බැලුවා. ෆොටෝ තුන හතර බලනකොට අපි වටේ හිටපු මිනිස්‌සු අපේ ෆොන් එකට ඔලුව දැම්මා. සචින්, ඩාර්විට්‌ අපිව බදාගෙන ඉන්න ෆොටෝ දැක්‌ක විතරයි. වටේ මිනිස්‌සු හොල්මන් වුණා.
ඉන්දියන් ප්‍රේක්‍ෂකයො ක්‍රීඩකයන් එක්‌ක එකට ඉඳලා ෆොටෝ ගන්න හරිම ආසයි. ඒත් ඉන්දියාවේ ප්‍රේක්‍ෂකයන්ට ක්‍රීඩකයන්ට ළං වෙන්න තියෙන ඉඩ ගොඩක්‌ අඩුයි. අපි සචින්ලාව බඳාගෙන ෆොටෝ අරගෙන ඉන්නව දැක්‌කම ඒ මිනිස්‌සු පුදුමයට පත්වුණා.
ෆොන් එක දිහා බලනවා… අපේ මූණු දිහා බලනවා… ඔලු ගෙඩි බඹර වගේ කරකැවෙනවා. ඔලුව උස්‌සලා මමත් කට පුරවලා හිනා වුණා.
‘ඔයලා ලංකාවේ නේද… අපි ඔයලාව ටීවී එකේ දැකලා තියෙනවා. ඔයලා කොහේද යන්නේ… ඔහොම යන්න බෑ… එන්න වාඩි වෙන්න…’ ඉන්දියන්කාරයො අපිව උස්‌සලා සීට්‌වලින් තිබ්බේ. දන්න ඉංග්‍රීසියෙන් කතා කළා. අපිත් අහන දේට උත්තර දුන්නා. කල්කටාවලින් බහිනකම් ඉන්දියන් මිනිස්‌සු අපිට පුදුම විදිහට උදව් කළා. සමහර අය කෑම දෙනවා. බීම, වතුර බෝතල් ගෙනත් දුන්නා. කෑම කැව්වේ නැති එක විතරයි.
අපි කල්කටාවලින් බහිනකොට මහ රෑ. දුම්රියෙන් බැස්‌සම අපි හොල්මන් වුණා. ඊළඟට මොකද කරන්නේ කියලා හිතාගන්නවත් බෑ. අපි බෑග් මලු ළඟින් තියාගෙන බලාගෙන හිටියා.
හා… හා… ඔයාට බෑග් උස්‌සගෙන යන්න බෑ. කෝ දෙන්න අපි ගිහින් දෙන්නම්’ කියලා ඉන්දියන් තරුණයන් දෙදෙනෙක්‌ අපේ ගමන් මලු දෙකත් උස්‌සගෙන ඩකා බස්‌ එක පාක්‌ කරලා තියෙන තැනට ගියා. අපිත් ඒ අයගේ පිටි පස්‌සෙන් ගියා. බස්‌ එක අදින්න පැයක්‌ විතර තිබුණු නිසා ඉන්දියන් තරුණයො තුන්දෙනා අපේ ගමන් මලු බස්‌ එකට පටවලා අපිට ටිකටුත් අරං දීලා කඩේකට එක්‌කරගෙන ගිහින් කෑමත් අරන් දීලා තමයි ගියේ. ඒ මිනිස්‌සු අපෙන් බලාපොරොත්තු වුණේ ඒ අයත් එක්‌ක එකට ඉඳලා පින්තූරයක්‌ ගන්න එක විතරයි. කල්කටාවලින් බහිනකම් අපි දෙන්නට එක, එක විදිහට ෆොටෝවලට නම් ඉන්න වුණා. ඒත් අවුලක්‌ නෑ. ඉන්දියන්කාරයන්ගේ එහෙම අවධානය නොගන්න පැය තිස්‌දෙකම අපිට හිටගෙන එන්න වෙනවා අනිවාර්යයි. එදා දුම්රියේ පුදුම සෙනඟක්‌ හිටියේ…
ඩකා බස්‌ එක නම් සුපිරියි. වට පිට බැලුවත් වැඩක්‌ නෑ. තිත්ත කළුවරයි. සීට්‌ එකත් පාත් කරගෙන හොඳට නිදාගත්තා. නිදි දෙක ඇහැරෙනකොට බස්‌ එක ඩකා ටවුන් එකේ. බස්‌ එකෙන් බැස්‌ස ගමන් මම බංගලිදේශ කණ්‌ඩායමේ මොහොමඩ් රාෆික්‌ට කෝල් එකක්‌ ගත්තා. රෆික්‌ ගොඩක්‌ සතුටු වුණා.
‘ඩකා ටවුන් එකේ ඇවිදින්න යන්න එපා. එළිය වැටෙනකම් ඉඳලා අපි ඉන්න හෝටලයට එන්න…’ කියලා රෆික්‌ මට කිව්වා. ඒ කතා කරලා ටික වෙලාවකට පස්‌සේ හබිබුල් බසාර් මට කෝල් එකක්‌ ගත්තා. අෂ්රාෆුල්, කලිඩ් මෂූර් එතකොට මගේ හොඳ යාළුවො…
ඩකා ඉඳලා පාන්දර බස්‌ එකේම අපි චිතගොන්වලට ගියා. පාන්දර හය වෙනකොට අපි මොහොමඩ් රෆික්‌ගේ කාමරයටත් ගියා. ඒ ගිහිල්ලා අපේ බෑග් රූම් එකේ තියලා ඇඟ පත හෝදාගත්තා.

ටික වේලාවක්‌ යනකොට බංගලි කණ්‌ඩායමේ ක්‍රීඩකයන් කිහිපදෙනෙක්‌ම රෆික්‌ගේ කාමරයට ඇවිත් අපිත් එක්‌ක කතාබහ කළා. අපිට උදේ කෑම ලෑස්‌ති කරලා දුන්නා. වියදමට සල්ලි දෙන්න හැදුවා.

අපි සල්ලි ගත්තේ නෑ. පස්‌සේ අපි පිට්‌ටනියට ගියේ බංගලිදේශ කණ්‌ඩායම යන බස්‌ එකට ඉදිරියෙන් පොලිස්‌ ජීප් එකේ. බංගලිදේශ ක්‍රීඩකයන් තමයි අපිව පොලිස්‌ ජීප් එකට දැම්මේ. ඒ අය යන බස්‌ එකේ පිට අයට යන්න තහනම්. ඒ නිසා තමයි අපිව පොලිස්‌ ජීප් එකට දැම්මේ.

නැති නම් අපි යන්නේ බංගලි ක්‍රීඩකයන් යන බස්‌ එකේ. අපි පිට්‌ටනියට යනකොට ලංකාවේ කවුරුවත් නෑ. ටික වේලාවක්‌ යනකොට තමයි ලංකාවේ අය පිට්‌ටනියට එන්න ගත්තේ. අපිව දැක්‌කම ලංකාවේ අයටත් ගොඩක්‌ සතුටුයි.
‘මල්ලිලා කවදදා ද මෙහේට ආවේ… කොහේද නතර වෙලා ඉන්නේ…

හෝටල්වල ඉන්න ඕනා නෑ. අපේ ගෙදර ඉන්න පුලුවන්…’ අපිත් එක්‌ක කතා කරපු හැමදෙනාම උදව් කරන්න ලෑස්‌ති වුණා. මුලින්ම කතා කරලා නතර වෙන්න එන්න කියපු අයියලාගේ ගෙදර තමයි අපි නතර වුණේ. ඒ අයියාව මහේලත් හොඳට අඳුරන කෙනෙක්‌. පස්‌සේ ලන්ච් ටයිම් එකේදී ඒ අයියා මහේලව මුණගැහෙන්න ගිය වේලාවේ ‘ලංකාවේ ඉඳලා අපේ යාළුවො දෙන්නෙක්‌ ඇවිත් ඉන්නවා.

ඒ දෙන්නට උදව් කරන්න පුළුවන්ද…’ කියලා මහේල අයියා අහලා තිබුණා. මහේල අයියා ඒ දවස්‌වල අපිට කරපු උදව් අදටත් මතකයි. ඒවා ගලේ කෙටුවා වගේ තමයි. කිසිම දවසක අමතක වෙන්නේ නෑ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!