Gossip

දියණිය සමග පැනගිය දෙදරු පියා නිවසට ගෙන්වා ගෙන පහරදී ඝාතනය කරලා – තරුණියගේ ඥාතීන් අත්අඩංගුවට

තම දියණිය හා පෙම් සබඳතාවක් පවත්වාගෙන ගිය තරුණයකු නිවෙසට කැඳවාගෙන ගොස් අමානුෂික ලෙස පහර දී ඝාතනය කළ එම තරුණියගේ පියා, මව, ඇතුළු පස් දෙනෙකු බදුල්ල මුලාස්ථාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වුණා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බදුල්ල ඔලියමණ්ඩිය ප්‍රදේශයේ පදිංචි එළවළු ව්‍යාපාරිකයෙකු ඇතුළු පස්දෙනෙක්.

බදුල්ල ඔලියමණ්ඩිය ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණියක් බදුල්ල කරුණාපුර පදිංචි 25 හැවිරිදි විවාහක දෙදරු පියෙකු වන මොහොමඩ් රමේෂ් නැමැති තරුණයකු සමගින් මීට මාසයකට ඉහතදී පළා ගොස් තිබුණා.

මේ සම්බන්ධයෙන් තරුණියගේ දෙමාපියන් බදුල්ල මූලස්ථාන පොලීසියේ ළමා හා කන්තා කාර්යංශය වෙත පැමිණිල්ලක් කළා.

එම පැමිණිල්ල විභාග කිරීමට සම්බන්ධ කැඳවීමක් අනුව පිටස්තර ප්‍රදේශයක එක්ව ජීවත් වු මෙම යුවළ පසුගිය 24 වනදා පෙරවරුවේ දී බදුල්ල පොලීසිය වෙත පැමිණියේ ප්‍රදේශයේ නීතිඥවරයෙකු ද සමගයි.

21 හැවිරිදි මෙම තරුණිය හා දෙදරු පියා කැමැත්තෙන් එක්ව ජීවත්වීමට තීරණයකර තිබීම සලකා බලා, දෙපාර්ශවයේ එකඟත්වය මත පැමිණිල්ල නිරකරණය කිරීමට පොලීසිය කටයුතු කළා.

එහිදී මෙම තරුණයා තම දියණිය හා ජීවත්වීම ගැන තමන්ගේ අකමැත්තක් නොමැති බවට තරුණියගේ පියා සහ මව පොලීසියේ දී ප්‍රකාශකර දෙපාර්ශවයම අත්සන් කර පැමිණිල්ල සමථයකට පත්කර ගෙන තිබුණා.

එහිදී තරුණියගේ පියා “යමු පුතා ගෙදරට. ගිහින් කතා කරමු” යැයි කියමින් බදුල්ල ඔලියමණ්ඩිය ප්‍රදේශයේ නිවසට ගෙන ගොස් ඇති බව වාර්තා වුනා.

එහිදී එම තරුණියගේ තාත්තා විසින් අදාළ තරුණයාට පිත්තල පහනකින්, පුටුවකින් හා තවත් භාණ්ඩවලින් පහර දී බරපතළ ලෙස තුවාල කර ඇති බව සඳහන්.

අනතුරුව සිය ඥාතියෙකුගේ ත්‍රීරෝද රථයක් කැඳවා තුවාලකරු රෝහල වෙත පිටත්කර යවා භාරකරුවෙකු නොමැතිව තුවාලකරුව රෝහලට බාරදී තිබුණා.

එහිදී මෙම තරුණයා මියගොස් තිබුණා.

මෙම තරුණයා රැවටිලි සහගත ලෙස තරුණියගේ නිවසට ගෙන ගොස් සිටියදී තරුණයා, ඔහුගේ මවට දුරකතන ඇමතුමක් දී “අම්මේ මාව මුන් මෙහෙ ගෙනැල්ලා ගහලා මරන්නයි හදන්නේ. කිපදෙනෙක්ම මෙතන ඉන්නවා. ඉක්මනට පොලීසියෙන් එකකරගෙන එන්න,” යැයි පවසා ඇති බව වාර්තා වුණා.

අනතුරුව මව පොලීසිය වෙත දිවගොස් සිද්ධිය ගැන පවසා සිටියත් බදුල්ල පොලීසියේ නිලධාරින් තරුණියගේ පියා එවන් පුද්ගලයෙකු නොවන බව පවසා මවට බිය නැතුව නිවසට යන්නයි පවසා ඇති බව වාර්තා වුණා.

පොලීසියේ මෙම වගකීම් විරහිත ක්‍රියාකලාපය ගැන උසස් පොලිස් නිලධාරියෙකුට පවසා පැය එකහමාරකට පමණ පසු පොලීසිය තරුණියගේ නිවසට කැඳවාගෙන යන විටත් තරුණයා පහර කා බදුල්ල මහ රෝහලට ද ගෙන ගොස් ජීවිතක්ෂයට පත්ව අවසන්.

ඝාතනයට ලක් වු තරුණයාගේ මව, ඥාතීන් ඇතුළු පිරිසක් බදුල්ල පොලීසිය ඉදිරිපිට රැදෙමින් 24 වනදා රාත්‍රීයේ විරෝධයක නිරත වෙමින් චෝදනා කර සිටියේ මෙම ඝාතනයේ ප්‍රධාන සැකකරු වු එළවළු ව්‍යාපාරිකයාගෙන් මුදල් ගෙන ඝාතනය යටගැසීමට බදුල්ල පොලීසිය කටයුතු කරන බවයි.

මරණකරුගේ ඥාතීන් සඳහන් කළේ මෙම ඝාතනයට සම්බන්ධ අපරාධ රැසකට සම්බන්ධ බවට චෝදනා ඇති බදුල්ල ප්‍රදේශයේ මාළු ව්‍යාපාරිකයෙක් ද හවුල් වී ඇති බවයි.

එම පුද්ගලයා තම දරුවා ඝාතනය කරන බවට අවස්ථා කිහිපයකදීම බලපෑම් කර ඇති බවත් ප්‍රධාන සැකකරු වු ව්‍යාපාරිකයා ද තම දරුවා සොයා දෙන තැනැත්තෙකුට රුපියල් ලක්ෂයක් දෙන බව පවසා ඇති බවත් මිය ගිය තරුණයාගේ ඥාතීන් පවසනවා.

අත්අඩංගුවට පත්වූ තරුණියගේ මව, පියා හා මාමා ඇතුළු සැකකරුවන් පස්දෙනා බදුල්ල මහෙස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 4 වනදා තෙක් රක්ෂිත බන්ධනාතාර ගත කර ඇති බව වාර්තා වුණා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!