Gossip

දරු දෙදෙනා සමග තනිවුණ දා මට හිතුණා මම ඊළඟට මොකද කරන්නේ කියලා -මේ වගේ දෙයක් ලෝක සිනමාවෙවත් සිදුවෙලා නැහැ -සමිතා මුදුන්කොටුව

“හැම දෙයක් පෙනේ

එක දෙයක් වගේ

මම විඳිමි සෙනේ

මහ මෙරක් වගේ..”

ජයන්ත චන්ද්‍රසිරි රචනා කළ, චින්තක ජයකොඩි සංගීතවත් කළ මේ ගීතය ඇතුළත් වන්නේ තිරගත වීමට නියමිතව තියෙන ජයන්ත චන්ද්‍රසිරිගේ නවතම සිනමා නිර්මාණය වන “ඝරසර්ප” චිත්‍රපටයේයි. සමිතා මුදුන්කොටුව සහ භාචි සුසාන් විසිනුයි මේ ගීතය ගායනා කරනු ලබන්නේ. චිත්‍රපටයේ මේ ගීතය සඳහා වන ප්‍රේම ජවනිකාව නිරූපණය කරන්නේ කාවින්ද්‍යා අධිකාරී හා දෙනුවක ‍පෝරගේ විසිනුයි. දියණියගේ රංගනයට මව පසුබිම් ගී ගැයූ ඉතා දුර්ලභ අවස්ථාවක් “ඝරසර්ප”ත් සමග ඉදිරියේදී ප්‍රේක්ෂකයන්ට දැක බලා ගන්නට ලැබේවි.

ඔබේ අලුත්ම චිත්‍රපට පසුබිම් ගී ගායනය වන “ඝරසර්ප” චිත්‍රපටයේ ගැයූ පසුබිම් ගීතය ගැන මොකද හිතෙන්නේ?
ලොකු සතුටක් තියෙනවා. මගේ දුව රඟපාන විට මම ඇයට පසුබිම් ගී ගයනවා. ඒක මට ලොකු අවස්ථාවක් වගේම සිනමාවෙත් සුවිශේෂී අවස්ථාවක්. දුව රඟපානවිට මව පසුබිම් ගී ගැයූ අවස්ථාවන් ලෝක සිනමාවේ හෝ සිදුවී නැති බවයි මට නම් හිතෙන්නේ.

චිත්‍රපටයේ දුවගේ රඟපෑම ගැන අම්මට මොකද හිතෙන්නේ ?
රූගත කිරීම් කරද්දී මමත් දර්ශන තලයට ගියා. එතැනදී දුව රඟපානවා දැක්කත් චිත්‍රපටයේ ඇගේ රඟපෑම් දැක්කේ පසුගිය දා පැවැති මාධ්‍ය දැක්මේදී. ඒ වෙලාවේ දැනුණු සතුට වචනයෙන් විස්තර කරන්න බැහැ.

කාවින්ද්‍යාට මේ චිත්‍රපටයේ රඟපාන්න ආරාධනා ලැබුණාම ඔබ මුලින්ම මොනවගේ ප්‍රතිචාරයක්ද දැක්වූයේ?
සාමාන්‍යයෙන් දුවයි පුතයි දෙන්නම ඕනම දෙයක් කරන්නේ මගෙන් අහලා. දුවට මීට කලිනුත් ටෙලි නාට්‍යවල, චිත්‍රපටවල රඟපාන්න ආරාධනා ලැබිලා තියෙනවා. ඒත් මම වගේම දුවත් ඒවට කැමති වුණේ නැහැ.
“ඝරසර්ප” චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට දුවව තෝරාගෙන තියෙන බව මට ජයන්ත අයියා (ජයන්ත චන්ද්‍රසිරි) කෝල් කරලයි කිව්වේ. ඒ වෙලාවේ මට ඇතිවුණේ පුදුමයක්. “ඔය ඇත්තටම කතා කරන්නේ ජයන්ත අයියද කියලත්” මම ඒ වෙලාවේ ඇහුවා. ජයන්ත චන්ද්‍රසිරි වගේ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් එයාගේ නිර්මාණයකට මගේ දුව තෝරාගෙන තියෙන බව දැන ගත්තම සතුටක් වගේම පුදුමයකුත් ඇති වෙනවානේ. මම දෙපාරක් හිතන්නේ නැතුව කැමැත්ත දුන්නා. මුලදී නම් දුව දර්ශන තලයට ගියේ බයෙන් වගේ. ඒත් ජයන්ත අයියා නළු නිළියන් මෙහෙයවන විදිය අනුව ආධුනිකයෙකුට වුණත් පහසුවෙන් තම දස්කම් මතු කරගන්න පුළුවන්. ඒ වගේම චිත්‍රපටයේ නිෂ්පාදක අර්ජුන කමලනාත් හා අමීෂාවත් මතක් කළ යුතුමයි. කලා ක්‍ෂේත්‍රයේ සිටියත් ඒ දෙදෙනාව සමීපව ඇසුරු කරන්න ලැබුණේ මේ චිත්‍රපටය නිසයි. ඒ දෙන්නාත් හරිම හොඳ මිත්‍රශීලී අය.

කාවින්ද්‍යා දිගටම රඟපාන්නද කල්පනාව ?
ඒක එයාගේ තීරණයක්. හැබැයි මම කැමැතියි ඇය හොඳ නිර්මාණවලට විතරක් දායක වෙනවා නම්.

නිළිකමට එකතු වන්න ඔන්න අම්මාගෙන් නම් අවසර ලැබුණා. කාවින්ද්‍යා ඒ සඳහා තාත්තගෙනුත් (අතුල අධිකාරිගෙන්) අවසර ගත්තද?
(හිනැහී) කාවින්ද්‍යා එක්ක වෙනම ලිපියක් ලියද්දී ඔය ප්‍රශ්නය අහන්න.

ක්‍ෂේත්‍රයට ආ මුල් කා‍ලේ සමිතත් රඟපෑවා නේද?
ඔව්, මමත් ටෙලි නාට්‍ය හතරක රඟපෑවා. ඒත් විවාහ වෙලා දරුවා ඉපදුනාම කාර්යබහුලකම වැඩි වුණා. අනික රඟපාන එක ගී ගැයීම තරම් පහසු නෑ. ඒ නිසා මම රඟපාන්න ගියේ නැහැ. ඉදිරියේදී නැවත ආරාධනා ලැබුණත් භාර ගන්න අදහසකුත් නැහැ.

ඔබ දරු දෙදෙනා හදා ගත්තේ හුදෙකලා ගැහැනියක් විදියට. අද ඒ ගැන මොකද හිතෙන්නේ ?
දරු දෙදෙනා සමග තනිවුණ දා මට හිතුණා මම ඊළඟට මොකද කරන්නේ කියලා. ඒත් මම වැටුණේ නැහැ. මගේ ශක්තියෙන් මම තනිවම ගොඩ නැගුණා. දරු දෙන්නා වගේම මගේ අම්මයි තාත්තයි බලාගන්නෙත් මම. අද මට මගේ දරුවෝ දිහා බලලා ගොඩක් සතුටු වෙන්න පුළුවන්. මේ සේරම මම තනියම කරගත්ත දේවල් නේද කියලා හිතෙන කොට දැනෙන සතුට වචනයෙන් විස්තර කරන්න බැහැ.

උපුටා ගැනීමකි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!