Gossip

ජේසුස් වහන්සේ පැළඳූ කටු ඔටුන්න ගින්නට හසුවීමට පෙර බේරාගනී – Photos

යුනෙස්කෝ ලෝක උරුමයක්ද වන, පැරීසියේ හදවත බඳු නෝත්‍ර ඩාම් ආසන දෙව්මැදුරේ ඊයේ පස්වරුවේ හටගත් ගින්නකින් එහි වහලය ඇතුළු විශාල ප්‍රදේශයක් දැවී විනාශ වී තිබෙනවා..

කෙසේ නමුත් එතුළ තැන්පත් කර තිබූ ජේසුස් වහන්සේ පැළඳි කටු ඔටුන්න ඇතුළු මිල කළ නොහැකි කෞතුක සහ කලා වස්තූන් රැසක් බේරා ගැනීමට ගිනි නිවීම් සේවකයන් සමත්ව තිබුණා..

ප්‍රංශයේ පැරිස් අගනුවර පිහිටා ඇති නෝත්‍ර ඩාම් ආසන දෙව්මැදුරට අයත්, ගොතික් ගෘහ නිර්මාණ ශිල්පයට අනුව ඉදිකරන ලද වසර 850ක් පමණ ඉපැරණි ගොඩනැඟිල්ල ගිනිගැනීමට ලක්විය.

එරට වේලාවෙන් ඊයේ පස්වරු හයයි පනහට පමණ ගින්න හටගෙන තිබෙනවා.

සුළු වේලාවක් තුළ ගින්න ගොඩනැඟිල්ල පුරා සීඝ්‍රයෙන් පැතිර ගොස් ඇති බව විදෙස් වාර්තාවල දැක්වෙනවා.

ඒ සමඟ දේවස්ථානය තුළ සහ ඒ අවට නිවාස වල සිටි පිරිස් ප්‍රදේශයෙන් ඉවත් කිරීමටත් බලධාරීන් පියවර ගෙන තිබුණා.

ගින්නෙන් ජීවිත හානි කිසිවක් සිදුවී ඇත්ද යන්න මෙතෙක් අනාවරණවී නැහැ.

කෙසේ නමුත් ගින්න පාලනයට ගිය ගිනි නිවීම් සේවකයෙක් එහිදී බරපතළ ලෙස තුවාල ලබා තිබෙනවා.

ගින්නෙන් දෙව් මැදුරේ වහලය සහ කොත විනාශ වී ඇතත් ප්‍රධාන ගොඩනැඟිලි ආකෘතිය සහ ඝන්ටාර කුළුණු දෙක බේරා ගැනීමට හැකිවී ඇති බව විදෙස් වාර්තාවල සඳහන් වනවා.

එහි තිබූ දේවදූතයන්ගේ පිත්තල ප්‍රතිමා 16ක් ප්‍රතිසංස්කරණ කටයුත්තක් හේතුවෙන් ඉකුත් සතියේ සිට ඉවත් කර තිබූ බවයි ප්‍රංශ පුවත් සේවා පැවසුවේය.

ගින්න පාලනය සඳහා ගිනි නිවීම් සේවකයන් පන්සීයක් පමණ යොදවා සිටි බවද වාර්තා වනවා.

මෙම ගින්න දේවස්ථානයේ සිදු කෙරෙමින් තිබූ ප්‍රතිසංස්කරණ කටයුත්ත හා සම්බන්ධ බවට සැක පලවුවත් ගින්න හටගැනීමට නිශ්චිත හේතුවක් තවමත් අනාවරණ වී නැහැ.

සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් පැවසුවේ මෙය බිහිසුණු ඛේදවාචකයක් බවයි.

ගින්න හටගත් ස්ථානය නිරීක්ෂණයට පැමිණි ජනාධිපතිවරයා සියලු දෙනා එකමුතුව දෙව්මැදුර යළි ගොඩනැඟිය යුතු බවද එහිදී පෙන්වා දුන්නේය.

ප්‍රංශයේ ඉතා වැදගත් ගොඩනැඟිලි අතරින් එකක්ද වන නෝත්‍ර ඩාම් දෙව්මැදුර සංචාරකයන් අතරත් අතිශය ජනප්‍රියයි.

මේ අතර සිදුවීම සම්බන්ධයෙන් ශෝකය පල කරමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ බ්‍රිතාන්‍ය අගමැතිනී තෙරේසා මේ ඇතුළු රාජ්‍ය නායකයන් ට්ව්විටර් පණිවුඩ නිකුත් කර තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!