Health & Beauty

ජීවිත නැතිකරගන්න එක රැල්ලක් වෙලාද..? දිවි නසාගැනීම් වළක්වගන්න ඕනෙනම් මේ ලිපිය කියවලා බලන්න

සිය දිවි නසාගැනීම් ලෝකයේ සෑම රටකම වගේම අපේ රටේත් සැලකිය යුතු ප්‍රශ්නයක්.
අපේ රටේ 2017 වසරේදී සියදිවි නසාගැනීමේ ප්‍රමාණය පුද්ගලයන් ලක්ෂයකට පහලොවක්, දාසයක් වගේ අගයක් ගත්තා.
මේ අතරින් බහුතරය තරුණ පිරිමි අය.නමුත් සියදිවි නසාගැනීමට උත්සාහකරන අය අතරින් බහුතරය වන්නේ තරුණ ගැහැණු ළමයි.
ලෝකයේ සියදිවි නසාගන්නා එකම සත්වයා මිනිසා.
එයට හේතුව වන්නේ තාර්කිකව සිතීමේ හැකියාව ඇත්තේ මිනිසාට පමණක් වීමයි.
එහිදී සියදිවි නසාගැනීමේ ප්‍රවණතාවයක් ඇති පුද්ගලයාට සිතෙන්නේ සිය ගැටලු වලට ඇති හොඳම පිළිතුර වන්නේ සියදිවි නසාගැනීම බවයි.
නමුත්මෙලෙසින් ජීවිතයේ තදබල ගැටලු වලට ගොදුරුවන අය සියලුදෙනා සියදිවි නසාගන්න පෙළඹෙන්නේ නැහැ.
ඒ සඳහා සියදිවි නසාගැනීමට ප්‍රවණතාවක් සහිත එනම් ඒ සඳහා වැඩි සම්භාවිතාවයක් සහිත පුද්ගලයන් තමා මෙයට වැඩිපුරම යොමුවන්නේ. සිග්මන්ඩ් ෆ්රොයිඩ් ට අනුව මිනිසා තුළ ජීවත්වීමට ආශාව ඇතිකරන යාන්ත්‍රනයක් මෙන්ම මරණයට ආශාව ඇතිකරන යාන්ත්‍රනයක් ඇති බවත් සාමාන්‍ය පුද්ගලයෙක් තුළ එම යාන්ත්‍රනයන් තුලිතව පවත්නා බවටත් උපකල්පනය කරනවා. මෙහිදි එම සමබරතාව බිඳී, මරණයට ආශාව ඇතිකරන යාන්ත්‍රනය වැඩිපුර ක්‍රියාත්මකවීම නිසා තමන්ටම හානි සිදුකරගැනීමේ ක්‍රියාවන් සිදුකරගන්නා බව ඔහුගේ මතයයි.
සියදිවි නසාගන්නා පුද්ගලයන් අතරින් 60%ක්ම මනෝභාවයන් හි වෙනස්කම් සහිත (mood disorders) පුද්ගලයන් බවත් 30%ක් වෙනත් මානසික ආබාධ ඇති අය බවත් සමීක්ෂණ මගින් සොයාගෙන තියෙනවා.
කෙසේ වෙතත් සියදිවි නසාගැනීමේ ප්‍රවණතාව ජාන වලින් උරුමව එන්නක් බවටත් සැලකෙනවා.මෙහිදී පවුලේ ලේ ඥාතීන් අතර සියදිවි නසාගැනීම් තිබුණු අය මෙම තත්වයට ගොදුරුවීම සඳහා අන් අයට වඩා 17%ක වැඩි සම්භාවිතාවක් ඇති බව සොයාගෙන තියෙනවා.
මත්පැන් සහ මත්ද්‍රව්‍ය භාවිතා කරන පුද්ගලයන් පහසුවෙන් මානසික අවපීඩනයට ගොදුරුවීමේ හැකියාව තියෙනවා. නිරතුරුව මේ අය ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය සඳහාද යොමුවන අතර මේ අයගේ තීරණගැනීමේ හැකියාවද අඩාලවනවා එ නිසා සියදිවි නසාගැනීමට පෙළඹීමේ හැකියාවද ඉහළයි.
එසේම මත්පැන් පානයකිරීම නිසා අක්මාවේ සිරෝසීස් රෝග තත්වයට ගොදුරුව සිටින අය සාමාන්‍ය ප්‍රමාණයට හෝ ඊට මඳක් වැඩියෙන් විවිධ ඖෂධ පානය කිරීම මාරාන්තික වෙන්න පුලුවන්.
අපේ සිරුරේ තත්වපාලන ඉන්ද්‍රිය වන අක්මාව මගින් අපි පානය කරන ඖෂධ විශාල ප්‍රමාණයක් රුධිරයට එකතුවීමට පෙර විනාශ කරන්නේ ඒවා සිරුරට ආගන්තුක දේවල් ලෙසින් හඳුනා ගන්නා නිසයි.
මේ නිසා රුධිරය මගින් සිරුරේ අවශ්‍ය ස්ථාන වලට නියමිත ඖෂධ ප්‍රමාණය යැවීම සඳහා අක්මාවේදී විනාශවන ප්‍රමාණයද ඖෂධ මාත්‍රාවට එකතුකරනු ලබනවා. නමුත් අක්මාව අක්‍රියවීම නිසා එතුළදී ඖෂධ විනාශ නොවී සිරුරේ රුධිරයට එකතුවීම නිසා ඉන් සිරුරේ වෙනත් ඉන්ද්‍රියන්වල ක්‍රියාකාරිත්වය අඩාල කිරීමෙන් එම පුද්ගලයාට සියදිවි නසාගැනීමට අදහසක් නොතිබුනද මිය යාමේ හැකියාව තියෙනවා.
මියගිය පුද්ගලයා ජනප්‍රිය හෝ ප්‍රසිද්ධ අයෙකු නම එය සියදිවි නසාගැනීමක් ලෙස මරණයට හේතුව ලබාදෙන්නේ පශ්චාත් මරණපරීක්ෂණය සිදුකල වෛද්‍යවරයා නොව අපේ රටේ ජනමාධ්‍යයන් වීම නම් අපේ රටේ පමණක් දැකිය හැකි සුවිශේෂී තත්වයක්.
සමහර සියදිවි නසාගැනීමේ ප්‍රවණතාවයක් සහිත,ගැටළුවලට මුහුණදී සිටින අයෙක් මාධ්‍යයන් හි පෙන්වන සහ විස්තර කරන එවන් ප්‍රසිද්ධ හෝ ජනප්‍රිය පුද්ගලයන්ගේ සියදිවිනසාගැනීම් මගින් සිය සියදිවි නසාගැනීමේ අදහසට උත්තේජනයක් ලබාගනිමින් එම අදහස ක්‍රියාත්මක කිරීමට පෙළඹෙන අයුරු සමහර අවස්ථාවලදී දක්නට ලැබෙනවා. බොහෝ විට සියදිවි නසාගැනීමට ක්‍රමයක් කල්පනා කරමින් සිටින අයෙකුට එම පුද්ගලයා අනුගමනය කළ ක්‍රමය ප්‍රත්‍යක්ෂ ක්‍රමයක් ලෙස ගැඟීයනවා.
එසේම එම ජනප්‍රිය පුද්ගලයා සියගැටලු සඳහා සියදිවි නසාගත්තේ නම් තමන්ද සිය ගැටලු සඳහාද එම පිළිතුරම ලබාදීම සුදුසු බවට සාධාරණීකරනය කිරීමටද ඔහුගේ සිතුවිලි ක්‍රියාකරනවා. මේ නිසා එවන් මරණ වාර්තා කළ යුතුම නම් ඒවා ගමේ ගොඩේ ළිං අසල කතාකරන කටකතා මෙන් නොව සමාජය වෙත ඇති සිය වගකීම සිහිතබාගෙන සංයමයෙන් ඒවා ඉදිරිපත්කිරීමට ජනමාධ්‍යයන් විසින් පියවර ගතයුතු වනවා.
හදිසි කෝපය, ප්‍රේම සබදතා බිඳීයෑම, තම සමීපතමයෙකුගේ වියෝවීම වැනි තත්වයන් හිදි කලින් සැළසුම් නොකර වුවත් එකවරම සියදිව් නසාගැනීමට ඒ සඳහා ප්‍රවණතාවයක් ඇති අය පෙළඹීමේ හැකියාවක් තියෙනවා.නමුත් වැඩිපුරම පිරිසක් සියදිවි නසාගැනීමට පෙළඹෙන්නේ උග්‍රමානසික අවපීඩනය හෙවත් විශාදය හේතුවෙන්.
සියදිවි නසාගන්නා සමස්ත ප්‍රමාණයෙන් 70%ක් පමණ මෙම තත්වය සහිත පුද්ගලයන්.සති දෙකකට වඩා කාලයක් පවතින දුක්මුසු මුහුණ හෝ කිසිදු දෙයකින් සතුටක් නොලබන, කිසිදු දෙයකට උනන්දුවක් නොදක්වන හැසිරීම් රටාවක් සමග, සැළකිය යුතු ප්‍රමාණයකින් සිරුරේ බර වැඩිවීම හෝ අඩුවීම, වැඩිපුර කාලයක් නිදාගැනීම හෝ නිදිවර්ජිතව ගතකිරීම, කළබලකාරී ගතිය හෝ අඩුවෙන් සිරුරේ චලනයන් සිදුකිරීම,විඩාපත් ගතිය, වරදකාරී හැඟිම හෝ තමන් කිසිදු පලකට ඇති අයෙකු නොවන බවට ඇතිවන හැඟීම,ඒකාග්‍රතාවය ගිලිහීයාම හෝ කිසිදු තීරණයක් ගත නොහැකි තත්වයෙන් පසුවීම සහ නිරතුරුවම සියදිවි නසාගැනීම හෝ මරණය ගැන සිතිම යන කරුණු වලින් අවම වශයෙන් පහක් එම සතිදෙක පුරාම පවති නම් එම පුද්ගලයා විශාදයෙන් පෙලෙන බවට සැලකෙනවා.
සියදිවි නසාගැනීමේ අදහස ක්‍රියාත්මක කළ පුද්ගලයන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ වලදී ලබාගත් සිරුරුකොටස් විශ්ලේෂණයේදී සොයාගෙන ඇත්තේ ඔවුන්ගේ මොළයේ “සෙරටොනීන්” නම් රසායනිකයේ ක්‍රියාකාරිත්වය අඩුවී ඇති බවයි. එයට හේතුව වන්නේ මානසික පීඩනය හේතුවෙන් සිරුරේ හයිපොතැලමස, පිටියුටරිය සහ අධිවෘක්ක ග්‍රන්ථිය මගින් සිරුර ආතතියට මුහුණදීම සඳහා සූදානම් කිරීම සඳහා නිපදවන රසායනිකයන්ගේ බලපෑමයි.එමගින් නිපදවන “කෝටිසෝල්” නම් රසායනිකයේ බලපෑම නිසා “සෙරටොනින්”ශ්‍රාවය අඩාල කිරීමත් එය මොළයේ ස්නායු වලට ඇතුල්වීම වැලැක්වීමත් සිදුකරනවා.මෙම “සෙරටොනින්” මගින් පුද්ගලයන්ගේ මනෝභාවයන් පාලනය කරනවා.ක්ෂණික ව්‍යසනකාරී හැසිරීම් ද වලක්වනු ලබනවා.එසේම එලෙස මියගිය අයගේ සිරුරු තුළ අධිවෘක්ක ග්‍රන්ථිය මගින් නිපදවන තවත් රසයනිකයක් වන “නොර් එපිනෙප්‍රින්”හි සාන්ද්‍රනයද අඩු බව බවයි තහවුරුවී ඇත්තේ. එයද සිරුරේ හෘද ස්පන්ධනය වැඩිකොට,රුධිරපීඩනය ඉහලදමා ,ශ්වසන වේගය ඉහළ දමා සිරුර තුල ඔක්සිජන් වැඩි කරවන හෝමෝනයක්. එසේම එය පුද්ගලයගේ මනෝභාවයන් ද පාලනයටද උපකාරිවනවා.
සියදිවිනසාගැනීම් වලක්වගැනීමට සමාජයේ සැමදෙනෙක්ම එක්ව කටයුතු වනවා.
ගැටලු ඇති අය හඳුනාගෙන ඔවුන්ට සවන්දීමට හැකිනම්, ඔවුන්ගේ ගැටළුවලට ඔවුන්තුලම ඇති නමුත් ඔවුන්ට නොපෙනෙන පිළිතුරු සොයාගැනීමට උදව්කරන්නට හැකිනම් ඔවුන්ගේ තොරතුරුවල රහස්‍යබව ආරක්ෂා කරන්නට හැකිනම්.ඔබටත් ජීවිත විශාල ප්‍රමාණයක් සියදිවි නසාගැනීමෙන් වලක්වාගැනීමේ පුන්‍යකර්මයට දායකවීමේ හැකියාව ලැබෙනවා.

නීතිවේදී,වෛද්‍ය පාලිත බණ්ඩාර සුබසිංහ
L..LB (OUSL) / MBBS (PERADENIYA)

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!