Gossip

“ජැක්සන් අයියාගේ හැඩහුරුකම තමයි මේ ඉක්මන් ප‍්‍රසිද්ධියට මුලිකම වුණේ – දැන් ලොකු අයියා නැහැ” – සුදත් ඇන්තනි

ප‍්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනීගේ හැඩහුරුකමට කතා විලාසයට හැසිරීම් රටාවට සමානකම් තියෙන පුද්ගලයෙක් දැන් මාසයක් දෙකක පමණ කාලයේ පටන් දෙවෙනි ඉනිම ටෙලි නාට්‍යයට අලූතින් එකතුවෙලා ඉන්නවා. ඇත්තටම ඔහු කවුද අපි කාටවත් හුරු පුරුදු රංගන ශිල්පියෙකුත් නෙමෙයි. ඒත් රංගනයට අලූත් බවක් ඔහු තුළින් පෙනෙන්නත් නැහැ. මේ ආගන්තුතයා නමින් සුදත් ඇන්තනී. අනිත් වගතුග අපි සුදත්ගෙම වචන වලින් දැනගනිමු.

ඔබ කවුද?
මම සුදත් ඇන්තනි. මම වසර විසි ගානක් තිස්සේ පදිංචිව හිටියේ ඉතාලියේ. පහුගිය කාලයේ මම ලංකාවට එන්නේ ජැක්සන් අයියගේ දරුවන්ගේ විවාහ උත්සව වල වැඩ වලට උදව් වෙන්නයි. මංගල උත්සවයේ ආරාධනා පත‍්‍ර බෙදන වැඩෙයි මට භාරවුණේ. ඒ වැඩ වලට උදව්වෙලා ලංකාවේ ඉන්න කොට තමයි මට මේ ඇරයුම ලැබෙන්නේ.

කිසිදු පෙර හැදුනුම්කමකින් තොරවම මේ අවස්ථාව ලැබෙනවාද?
ඉතාලියේ ඉන්න කාලේ මම සාරංග මෙන්ඩිස්ගේ ගිනි අවි සහ ගිණි කෙළි ටෙලිනාට්‍ය නැරඹුවා. ඒ ටෙලිනාට්‍යයෙන් පස්සේ මම මුහුණු පොතේ රසිකයෙක් විදිහට ඔහුගේ නිර්මාණවල හොද නරක ලියන්න පටන් ගත්තා. පස්සේ මමයි සාරංගයි දුරකථනයෙන් කතා කරන තරමට සමීප වුණා. එහෙම කතා කරද්දි සාරංග මට කියලා තිබුණා අයියා ඔයාගේ කටහඩ ගොඩක් හොදයි මම මගේ වැඩකට ඔයාව යොදාගන්නව කියලා. නමුත් මේ විදිහට ඒ පොරොන්දුව ඉටුවෙයි කියලා මම හිතුවේ නැහැ.

හිටිඅඩියේ රගපාන්න ලැබුණ ඇරයුම එකපයින්ම භාරගත්තාද?
සාරංග මෙන්ඩිස් මුලින්ම මට අඩගැහුවේ සංගීතේ ටෙළිනාට්‍යයේ චරිතයකට එම චරිතයේ ගති ලක්ෂණ මට ටිකක් නොගැළපෙනවා කියල හැගුණ නිසා සාරංගම මට යෝජනා කළා අයියා දෙවෙනි ඉනිමේ චරිතයක් එන්න නියමිතයි. අයියට ඒක ගැළපෙනව එහෙනම් අයියා ඒ චරිතය භාරගන්න කිව්වා. මම හරිම කැමැත්තනේ ඒ චරිතය භාරගත්තා. මොකද දෙවෙනි ඉනිම කියන්නෙ අද බොහෝ පිරිසක් බලන ටෙලි නාට්‍යයක්නේ.

ප‍්‍රවීන කලාකරුවෙකුගේ පවුලේ සාමාජිකයෙක් වුණත් සුදත්ට රංගනය ආගන්තුකද?
මම ලංකාවෙන් පිටවෙලා ඉතාලිය බලා යන්නේ 1986 වසරේ. ඊට පෙර මම පොඩි පොඩි චරිත කරලා තියෙනවා. මම මුලින්ම රගපෑවේ අපේ ජැක්සන් අයියාගේ මේ කොයි යන්නේ කියන වේදිකා නාට්‍යයේ. එතකොට මම පාසැල් යනවා ඊට පස්සේ ජයන්ත චන්ද්‍රසිරිගේ අත් නාට්‍යයේ ජනතාව පෙනී සිටින දර්ශන වල ඕලොන් වැසියා කියන චරිතය මම කොටස් 200 වෙනතුරු රගපෑවා. පහුකාලීන රූපවාහිනියේ විකාශනය වුණ සුපුවත බෞද්ධ වැඩසටහනෙහිත් මම පොඩි පොඩි චරිත රගපෑවා.

මේ අලූත් චරිතය එක්ක ඔබගේ ජීවිතය වෙනස් වෙලා?
දැන් පොඩි ආසාවක් ඇතිවෙලා තියෙනවා රංගනයට. ඇත්තටම මම ජනප‍්‍රිය කියන වචනය පාවිච්චි කරන්න තවම කැමැති නැහැ. ඒත් මම නොහිතූ විදිහේ ප‍්‍රසිද්ධියක් දැන් තියෙනවා. ඇත්තම කියනවා නම් මට තියෙන ජැක්සන් අයියාගේ හැඩහුරුකම තමයි මේ ඉක්මන් ප‍්‍රසිද්ධියට මුලිකම වුණේ. අයිය රගපාපු ප‍්‍රවේගය චිත‍්‍රපටයේ අයියාට තිබුනෙ මේ මගේ දැන් පෙනෙන්න තියෙන පෙනුමනේ. හුඟ දෙනෙක් පටලගෙන තිබුණා. ෆේස්බුක් එකෙත් ගොඩක් දෙනා කතා කරන්න පටන් ගත්තා. මේ කවුද ජැක්සන් කොපි කරන කෙනෙක්ද ? මේ ජැක්සන්මද කියලත් ඔය වගේ විමසුමක් චරිතය පටන් ගත්ත දවසෙ ඉදන්ම හැදිලා තිබුණා.

කොහොමද ලැබෙන ප‍්‍රතිචාර එහෙම?
හයියෝ හිතාගන්න බැරිවිදිහට ප‍්‍රතිචාර තියෙනවා. අවංකව කියනවා නම් ඒ ප‍්‍රතිචාර වලට දැන් මම පොඩි කැමැත්තකින් පසුවෙනවා. වෙලාවකට හිතෙනවා මිනිස්සු මේ තරම් මේ ටෙලිනාට්‍ය එකක් බැදිලා ඉන්නවාද කියලත්. මට සමහර අය කියනවා අනේ සර් ආපු එක ලොකු දෙයක්. අනේ ටිකක් ඔය නපුරු ගෑනිව හදන්න බලන්න කියලා. මේ නාට්‍යයේ නිර්මාණකරුවන්ගේ මම දකින විශේෂත්වය තමයි නළුනිළියන්ගේ පුද්ගලික චරිතය එක්ක නාට්‍යයේ චරිතය අපූරුවට බද්ධ කරනවා. ඒ නිසා රසිකයන් මේ අපේ හැබෑ චරිතයමයි කියලා හිතනවා.

සුදත්ට තව තවත් රංගන ඇරයුම් ලැබෙමින් තියෙනවාද?
එහෙම පොඩි පොඩි ආරංචි තියෙනවා. තවම තීරණ මොනවත් අරගෙන නැහැ. හැබැයි එහෙම ආරාධනා ලැබෙන්න සුදුසු වාතාවරණයක් හැදිලා තියෙනවා.

ඉදිරියේදී නළුවෙක් විදිහට ගතකරන්න කැමැතිද?
අවංකවම කැමතියි.

ජැක්සන් ඇන්තනිගෙනුත් ඔබගේ රංගනට ප‍්‍රතිචාර ලැබෙනවාද?
අයියා තමයි පළවෙනි කොටසේ ඉදන්ම මට ගුරුහරුකම් දෙන්නේ. මම ඇහුවේ නැතත් අයියා මට කතාකරලා මම කරන දේ හොද නරක පෙන්වලා දෙනවා. අපේ සහෝදර බැදීම පුදුම සහගතයි. අපි වෙලාවකට මාර ගජ මිත‍්‍රයෝ. වෙලාවකට මාර සහෝදර බැදීමකින් පසුවෙනවා. වැඩිමල් අය තාත්තා වෙන වෙලාවලූත් තියෙනවා. අපේ පවුලේ සහෝදරයෝ පස්දෙනයි. මමයි මල්ලිලා දෙන්නයි කාලයත් තිස්සේ ඉන්නේ ඉතාලියේ. දැන් ලොකු අයියා නැහැ. ලොකු අයියා නැතිවුන තැන ඉදන් ජැක්සන් අයියා ලොකු අයියාගේ කොටසත් අපි වෙනුවෙන් ඉටුකරනවා.

ඔබගේ පවුල ගැනත් අපට පවසන්න ?
අපිට ඉන්නෙ පිරිමි දරුවො දෙන්නයි. ගැහැණු දරුවයි. ලොකුපුතා ගෘහනිර්මාණ ශිල්පියෙක්. පොඩිපුතා ඉංජිනේරුවරයෙක්. පුතාලා දෙන්න ඉතාලියේ රැකියාවන් කරනවා. මගේ දරුවන්ටයි බිරිදටයි එහේ පුරවැසිභාවය තියෙනවා. හැබැයි මම නම් ඉතාලියට ගිහින් අවුරුදු විසිගාණක් ගෙවුණත් එහේ පුරවැසිභාවය ගන්න උනන්දු වුණේ නැහැ.

පවුලේ අය ඔබේ රංගනය ගැන මොනවද කියන්නේ?
එයාල හරි සතුටුයි. මගේ බිරිද මම දැනහදුනාගන්නේ පාසැල්වියේදිමයි. අපි දෙන්න එකම පාසැලේ එකම පන්තියේ ඉගෙනගත්තේ. ඒ නිසා එයා දන්නවා මට රංගන හැකියාවක් තිබුණා කියලා. පහු කාලෙක හෝ මම ඒ හැකියාවෙන් යමක් කරන එක ගැන ඇය සතුටු වෙනවා වගේම මට උදව් කරනවා.

දිවයින

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!