Gossip

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර ජීවත් වනවාද..? අධිකරණයට ඉදිරිපත් කරන්නැයි පෙත්සමක්

1989 භීෂණ සමයේ රජයේ ආරක්ෂක අංශ මඟින් අත්අඩංගුවට ගැනීමෙන් පසුව අතුරුදන්ව සිටින ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතා නිසි අධිකරණයක් හමුවට ඉදිරිපත් කරන ලෙස රජයට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ඔහුගේ බිරිඳ විසින් අභියාචනාධිකරණයට හබයාස් කෝපුස් පෙත්සමක් ඉදිරිපත් කළේය.
විජේවීර මහතාගේ බිරිඳ වන ශ්‍රීමතී චිත්‍රාංගණී විජේවීර මහත්මිය විසින් පෙත්සම ඉදිරිපත් කළ අතර එහි වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා ඇතුළු එකොළොස් දෙනෙකු නම් කර තිබෙනවා.
පෙත්සම්කාරිය කියා සිටින්නේ තම සැමියා 1989 වසරේ නොවැම්බර් මස 12 වන දා උලපනේ ප්‍රදේශයේ දී රජයේ ආරක්ෂක අංශ මඟින් අත්අඩංගුවට ගත් බවයි.
ඉන් අනතුරුව මේ දක්වා තම සැමියා කිසිදු අධිකරණයක් හමුවට ඉදිරිපත් කර නොමැති බව සඳහන් කරන පෙත්සම්කාරිය සිය සැමියා අත්අඩංගුවට පත්ව මේ වන විට වසර 29 කට ආසන්න කාලයක් ගතවී ඇතත් ඔහු ජීවතුන් අතර සිටින්නේ ද නැද්ද යන්න පිළිබඳව පවා රජය විසින් තමාට නිත්‍යානුකූලව දැනුම් දී නොමැති බව කියා සිටියේය.
මේ හේතුවෙන් තම සැමියාට සිදුවූ දේ කුමක්ද යන්න අනාවරණය කර ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගතව තිබෙන බවද පෙත්සම්කාරිය සඳහන් කර තිබේ.
අතුරුදන්ව සිටින තම සැමියා නිසි අධිකරණයක් හමුවට ඉදිරිපත් කරන මෙන් වග උත්තරකරුවන් වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටින පෙත්සම්කාරිය තම සැමියාගේ අතුරුදන්වීම පිළිබඳව මෙම පෙත්සම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට යොමු කර තම සැමියාගේ අතුරුදන්වීම පිළිබඳව පූර්ණ පරීක්ෂණයක් පවත්වන ලෙස නියෝගයක් නිකුත් කරන මෙන් ඇය අධිකරණයෙන් ඉල්ලා තිබේ.
මෙම පෙත්සමේ සෙසු වගඋත්තරකරුවන් ලෙස හිටපු ආරක්ෂක ලේකම්වරයෙකු වන ජෙනරාල් සිරිල් රණතුංග, හිටපු රාජ්‍ය ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන රන්ජන් විජේරත්න, ජෙනරාල් හැමිල්ටන් වනසිංහ , ජෙනරාල් සිසිල් වෛද්‍යරත්න යන අය ද නම් කර තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!