Gossip

චොකා මල්ලී දිවුරුම් දෙද්දී ‘දියණිය සෙනාලි ’කරළියට – Photos

මෙරට දහසය වැනි පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට සුදුසුකම්ලත් 225 දෙනා අතුරින් ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයා සුවිශේෂි වේ. රත්නපුර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිවිතිගල ආසන සංවිධායකවරයා ලෙස මෙවර මැතිවරණයට තරග කළ ප්‍රේමලාල් ජයසේකර මනාප ඡන්ද 104,237ක් ලබා ගනිමින් දිස්ත්‍රික්කයේ දෙවැනියා ලෙස තේරී පත් වූයේ මනාප ඡන්ද 200,977ක් ලබාගත් පවිත්‍රාදේවි වන්නිආරච්චිට පමණක් දෙවැනි වෙමිනි.

මෙදා මහ මැතිවරණයට අදාළ පූර්ව ප්‍රචාරණ කටයුතු සිදු වෙමින් තිබියදී, එනම් පසුගිය ජූලි 31 වැනිදා රත්නපුර මහාධිකරණයේ ප්‍රේමලාල් ජයසේකර ඇතුළු සබරගමුව පළාත් සභාවේ හිටපු මන්ත්‍රී අරුණ නිලන්ත ජයකොඩි සහ කහවත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති මාණික්කවඩුගේ වජිර දර්ශන ද සිල්වා යන තිදෙනාට එරෙහිව පැවැති නඩුවේදී මරණ දඬුවම නියම කෙරිණි.

ඒ, 2015 පැවැති ජනපතිවරණයේ ප්‍රචාරක කටයුතු අතරතුරදී එම වර්ෂයේ ජනවාරි 05 හෝ ආසන්න දිනකදී රත්නපුර කහවත්ත නගරයේ පැවැති මෛත්‍රීපාල සිරිසේන ජනපති අපේක්ෂකයාගේ ප්‍රචාරක රැලියකදී ඇතිවූ ගැටුමක් නිසාවෙනි.

එම ප්‍රචාරක රැලියට කඩාවැදී සැරසිලි කඩා බිඳ දමා රැස්වීම් භූමියේ සිටි ශාන්ත දොඩම්ගොඩ නමැත්තාට වෙඩි තබා ඝාතනය කිරීම ඇතුළු කරුණාදාස වීරසිංහ සහ මොහොමඩ් ඉල්ෆාමි යන අයට වෙඩි තබා බරපතළ අනතුරක් කිරීම යන චෝදනා යටතේ සැකකරුවන් වූ ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයා ඇතුළු සෙසු දෙදෙනාට මරණ දණ්ඩනය නියම කෙරිණි.

පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී රත්නපුරේ ප්‍රබල අපේක්ෂකයකු ලෙස ප්‍රේමලාල් ඉදිරියෙන් සිටියේය. ඔහු පිළිබඳ ආන්දෝලනාත්මක තත්ත්වයක් උදා වුවත් ප්‍රේමලාල් ජයසේකරගේ මනාප අංක 13 ඉදිරියෙන් රත්නපුර ජනතාව 104,237ක් තරම් ඉහළ ජන ප්‍රසාදයක් සටහන් කරමින් පාර්ලිමේන්තුවට යැවීමට කටයුතු කළහ. එහෙත් බන්ධනාගාරගතව සිටි ප්‍රේමලාල්ට පසුගිය 20 වැනිදා පැවැති අභිනව පාර්ලිමේන්තුවේ පළමු සභා වාරයට සහභාගි වීමට වාසනාව නොලැබුණේ ඊට බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගෙන් අවසරයක් නොලැබීම නිසාය. බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණිය මහතා විසින් නීතිපතිවරයාගෙන් උපදෙස් පැතීමත් සමඟ නීතිපවරයා විසින් කරුණු දක්වා තිබුණේ මරණ දඬුවමට යටත්ව සිටින ප්‍රේමලාල් ජයසේකරට පාර්ලිමේන්තු වාරයන්ට සහභාගි විය නොහැකි බවයි.

මේ අතර බන්ධනාගාරයේ සිටින තමාට පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගි වීමට අවසර නොදීමෙන් තම වරප්‍රසාද හා අයිතිවාසිකම් කඩවී ඇති බැවින් පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගි වීමට අවසර ලබා දෙන ලෙස බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයාට නියෝග කරන්නැයි ඉල්ලා ප්‍රේමලාල් ජයසේකර විසින් රිට් පෙත්සමක් අභියාචනාධිකරණයට ඉදිරිපත් කෙරිණි. එම රිට් පෙත්සම අභියාචනාධිකරණය සභාපති විනිසුරු ඒ. එච්. එම්. ඩී. නවාස් සහ සෝභිත රාජකරුණා යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් ද්විපුද්ගල විනිසුරු මඬුල්ලක් ඉදිරියේ පසුගිය 07 වැනිදා විභාග කළ අතර විනිසුරු මඬුල්ල තීන්දු කළේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස ප්‍රේමලාල් ජයසේකර තේරී පත්වීම නීතිවිරෝධි බවට මෙතෙක් කිසිදු අධිකරණ තීරණයක් ප්‍රකාශයට පත්වී නොමැති බවයි. එම නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පෙත්සම්කාර ප්‍රේමලාල්ට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට හිමිවිය යුතු සියලු හිමිකම් ඒ ආකාරයෙන්ම භුක්ති විඳීමට නීතිමය බාධාවක් නොමැත. එසේ හෙයින් විනිසුරු මඬුල්ලේ සභාපති විනිසුරු නවාස් පැවසුවේ ප්‍රේමලාල් ජයසේකරට මන්ත්‍රීවරයකු වශයෙන් දිවුරුම් දීමට නීතිමය බාධාවක් පෙනී යන්නෙ නැති බවයි.

ඒ අනුව අභියාචනාධිකරණය බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයාට නියෝග කළේ ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට රැගෙන යෑමට ප්‍රවාහන පහසුකම්ද සලසන ලෙසයි.

එසේම ප්‍රේමලාල් ජයසේකර නම් පෙත්සම්කරු පාර්ලිමේන්තුවට රැගෙන යාමට නොහැකි බවට නීතිපති උපදෙස් ලබා දී ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා විසින් පාර්ලිමේන්තු මහලේකම් වෙත ලිපියක් මඟින් දැනුම් දීමේ ක්‍රියාවද පරිපාලන නීතිය යටතට වැටෙන බවත් තෙවන පාර්ශ්ව උපදෙස් මත කටයුතු කිරීමද පරිපාලන නීති මූලධර්මයන් අබිබවා කටයුතු කිරීමක් බවත් පෙත්සම්කරු පාර්ලිමේන්තුවට රැගෙන නොයාම නීතියට පටහැනි බවත් එම නියෝගයේ සඳහන් කර ඇත.

ප්‍රේමලාල්ගේ රිට් පෙත්සමට දුන් තීන්දුවෙන් ලැබුණු නියෝගය අනුව පසුගිය 08 වැනිදා පස්වරු 1ට පමණ ප්‍රේමලාල් ජයසේකර පාර්ලිමේන්තු සභා ගර්භයට පැමිණ කථානායක මහින්ද යාපා අබේවර්ධන ඉදිරියේ දිවුරුම් දුන්නේ අඛණ්ඩව පස්වැනි වරටත් පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරයකු ලෙසිනි. එම අවස්ථාවේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් කළු පැහැති සාටක පැලඳ පාර්ලිමේන්තු සභා ගර්භයට පැමිණ විරෝධය පළ කිරීමෙන් පසු ඔවුන් එම කළු සාටක සභා ගැබේ තැන තැන දමා පාර්ලිමේන්තුවෙන් පිටත්ව ගොස් තිබුණි.

1974 නොවැම්බර් 16 වැනිදා උපත ලද හල්කඳලිය ලේකම්ලාගේ ප්‍රේමලාල් ජයසේකර ව්‍යාපාරිකයකු ලෙස කටයුතු කරමින් සිටියදී වයස අවුරුදු 23දී 1997 වසරේ පැවති නිවිතිගල ප්‍රාදේශීය සභා මැතිවරණයට තරග කොට එහි සභාපතිවරයා ලෙස තේරී පත්විය. ඔහු ප්‍රථම වතාවට රත්නපුර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට පිවිසෙන්නේ 2001 පාර්ලිමේන්තු මැතිවරණයේදී මනාප ඡන්ද 79,742ක් ලබා ගනිමිනි. 2004 වසරේදීද මනාප ඡන්ද 71,982ක් ලබාගත් ප්‍රේමලාල් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තු වරම් දිනා ගංගා නිම්න සංවර්ධන සහ රජරට සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස පත් විය. 2010 දී නැවතත් රත්නපුර දිස්ත්‍රික්කයෙන් මනාප ඡන්ද 73,175ක් ලබා පාර්ලිමේන්තුවට පැමිණි ඔහු විදුලිබල හා බලශක්ති නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය. 2015 වසරේ පැවැති පාර්ලිමේන්තු මැතිවරණයේදීද ප්‍රේමලාල්ට පාර්ලිමේන්තු වරම් හිමි වූයේ ඔහුට එරෙහිව මිනීමැරුම් චෝදනාද එල්ල වෙමින් තිබියදීය. රත්නපුර ජනතාව මනාප ලැයිස්තුවේ පළමුවැනියා ලෙස ප්‍රේමලාල් ඉහළින්ම ඔසවා තැබුවේ මනාප 154,988ක් තරම් අතිවිශාල ඡන්ද සංඛ්‍යාවක් ලබා දෙමිනි.

ප්‍රේමලාල් ජයසේකර පාර්ලිමේන්තුවට පැමිණීමත් සමඟ උද්දාමයට පත් රත්නපුර දිස්ත්‍රික්කයේ ජනතාව රතිඤ්ඤා දල්වමින් ප්‍රීති ඝෝෂා නඟමින් සතුට සැමරුවේ තැන තැන කිරිබත් දන්සල්ද පවත්වමිනි. පාර්ලිමේන්තුවට පැමිණි ප්‍රේමලාල් මන්ත්‍රීවරයා සිය පාර්ලිමේන්තු කතාව කරමින් පැවසුවේ “2001 වසරේ සිට මේ දක්වා පැවැති මැතිවරණ පහේදීම මට විශිෂ්ට ජයක් ලබාදුන් රත්නපුර ජනතාවට ස්තුතිවන්ත විය යුතුයි. එම ජයග්‍රහණවලින්ම මගේ නිර්දෝෂි බව ඔප්පු කළ හැකියි. මා සමඟ ජනතාව දිගටම හිටියේ ජනතාව මට ආදරේ නිසයි. යහපාලන සමයේ අධිකරණ ඇමැතිනිය වූ තලතා අතුකෝරල මහත්මිය පවසා තිබුණේ මා එල්ලුම් ගස් යවන බවයි. එසේ කළ නොහැකි වුණොත් ඇය දේශපාලනයෙන් ඉවත් වී දලු කඩන බවයි. රහස් පොලිස් නිලධාරින් ගෙන්වා සැලැසුම්කොට සාක්ෂි නිර්මාණය කරමින් මට කළ දේ පිළිබඳ එම නිලධාරින්ට එරෙහිව කටයුතු කළ යුතුයි. මා දේශපාලනයෙන් ජනතාවට සේවය කළා මිස අත්වල ලේ හෝ කුණු ගා ගත් කෙනෙක් නෙවෙයි.” කියාය. බන්ධනාගාර රැඳවියන් විඳින අපා දුක් පිළිබඳවද පාර්ලිමේන්තුවට පසක් කරමින් ඔහු වැඩිදුරටත් පැවසුවේ සිරකරුවන්ද මනුෂ්‍යයන් වුවත් අද වන විට එවැනි තත්ත්වයක් දක්නට නොමැති බවත් ඒ අතර රෝගි රැඳවියන් බොහෝ දුක් ගැහැට විඳින බවය.

ප්‍රේමලාල් ජයසේකර මෑත කාලයේ ලැබූ ජයග්‍රහණ සඳහා ඔහුට යෝධ ශක්තියක් වූයේ ඔහුගේ වැඩිමහල් දියණිය සෙනාලියි. දරුවන් සිවුදෙනකුගේ පියකු වන ප්‍රේමලාල් ගැන වැඩිමහල් දියණිය සෙනාලි මෙසේ කීවාය.

“තාත්තට ඡන්දය දුන් නිවිතිගල ඇතුළු මුළු රත්නපුර ජනතාවටම මේ මොහොතේ මම ස්තුති කරනවා අපට ලබා දෙන ශක්තිය වෙනුවෙන්. ඔවුන් සියලු දෙනා තාත්තා මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දුන් මොහොතේ ප්‍රීතිඝෝෂා නඟමින් කිරිබත් කමින් සතුට සැමැරුවා. ඒක මට කියාගන්න බැරි සතුටක්. අද මගේ තාත්තා මේ විදිහට හරි ධෛර්යවන්තව නැඟි සිටින්නේ ඒ ජනතාවගෙන් අපට ලැබෙන ශක්තිය නිසයි.

අපේ පවුලේ අය වගේම මුළු රත්නපුර ජනතාවම බලා ඉන්නෙ තාත්තට මේ ලැබුණු තීන්දුව වගේම ඉදිරිපත් කර තිබෙන ඇපිල් එකෙන්ද සාධාරණයක් ඉටුවෙයි කියා. ඒ වගේම මගේ තාත්තා වත්මන් ජනාධිපතිතුමාට සහ අගමැතිතුමාට රත්නපුර දිස්ත්‍රික්කයෙන් ලොකුම ශක්තියක් වුණ කෙනෙක්”

‘චොකා මල්ලි’ නමින් කා අතරත් ප්‍රචලිත ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයා වැලිකඩ බන්ධනාගාරයේ සිට මහජන නියෝජිතයකු ලෙස මහජන සේවාව වෙනුවෙන් කටයුතු කරන්නේ කෙසේද යන්න පිළිබඳ සියලු දෙනාම බලා සිටිති.

උපුටා ගැනීම – සිළුමිණ පුවත්පත

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!