Gossip

කොරෝනා වෛරසය නිසා කපල් එක නැතිව නෑදෑයින් විතරක් මගුල් කාපු හැටි – Photos

විවාහ උත්සවයක් පැවැත්වීමට ගිය තරුණ යුවළක් නව කොරෝනා වයිරසය නිසා මුහුණ දුන් අමුතුම ආකාරයේ සිදුවීමක් ගැන පසුගියදා සිංගප්පූරුවෙන් වාර්තා විය.මෙම දුර්ලභ අත්දැකීමට මුහුණ දුන් මනාල යුවළ වූයේ ජෝසෆ් යූව් සහ කාංග් ටිංග්ය. මනාලයා වූ ජෝසෆ් සිංගප්පූරු ජාතිකයකු වූ අතර මනාලිය කාංග් චීන ජාතික තරුණියක වූවාය. ඔවුන් දෙදෙනාගේ විවාහ උත්සවය පැවැත්වීමට නියමිතව තිබුණේ පසුගිය 2 වැනිදායි. ඒ, සිංගප්පූරුවේ ප්‍රකට හෝටලයක් වන ‘එම්’ හෝටලයේදීය. එදින ඔවුන් දෙදෙනාගේ විවාහය මහත් ඉහළින් සැමරීම සඳහා සියල්ල සූදානම් කර තිබිණි.

“කෙසේ හෝ වේවා, උත්සවයට සතියක පමණ කාලයක් තිබියදී ජෝසෆ් සහ කාංග් චීනය බලා ගියේ මනාලිය වූ කාංග්ගේ මවුපියන් සමඟ චීන අලුත් අවුරුදු උත්සවය සැමරීම සඳහායි. ඇයගේ මවුපියන් ජීවත් වූයේ හූනාන් නමැති පළාතේය.
“මෙම හූනාන් පළාත පිහිටා ඇත්තේ නව කොරෝනා වයිරසය දරුණුම ආකාරයෙන් පැතිරුණු හුබෙයි පළාත ආසන්නයේය. වයිරසය පැතිරෙන්නට පටන්ගත් තැන ලෙස සැලකෙන මාළු වෙළෙඳසල පිහිටි වූහාන් නගරය ඇත්තේද මෙම හුබෙයි පළාතේය.

කෙසේ හෝ වේවා, කාංග්ගේ මවුපියන් සමඟ සතියකට කිට්ටු කාලයක් ගත කළ යුවළ පසුගිය 30 වැනි දින පෙරළා සිංගප්පූරුව බලා පැමිණියහ. ඒ, තව දින තුනකින් පැවැත්වීමට තිබූ විවාහ උත්සවය ගැන සුන්දර සිහිනවලින් සිත් පුරවාගෙනය. නමුත් සිදු වූයේ ඔවුන් කිසිසේත් බලාපොරොත්තු නොවූ සිද්ධියකි.
ජෝසෆ් සහ කාංග් දින කිහිපයකට පෙර චීනයට ගොස් ඇති බවත් එහි දින හයක්, හතක් ගත කර ඇති බවත් ඔවුන් හුබෙයි පළාත ආසන්නයේ ජීවත්ව ඇති බවත් දැනගත් ඔවුන්ගේ ඥාති හිතවතුන් විවාහ උත්සවයට පැමිණීමට මැළිකමක් දක්වන්නට විය.
මෙම විවාහ උත්සවය විශේෂයෙන්ම ජෝසෆ්ගේ ඥාති හිතවතුන් වෙනුවෙන් පැවැත් වූ දෙවැනි විවාහ උත්සවයක් වූ බැව් පැවසේ. පළමු උත්සවය පවත්වා තිබුණේ පසුගිය ඔක්තෝබර් මාසයේ චීනයේදීය.

නමුත් එම උත්සවයට සහභාගි වීමට චීනය බලායෑමට නොහැකි වූ ජෝසෆ්ගේ නෑ හිතවතුන් වෙනුවෙන් මෙම උත්සවය සංවිධානය කර තිබිණි. මනාලයා සහ මනාලිය රටවල් දෙකකට අයත් නම් මේ ආකාරයෙන් එම දෙරටේදීම උත්සව පැවැත්වීම මෙම කලාපයේ රටවල සිරිතකි.
කෙසේ හෝ වේවා, වයිරස් භීතිය නිසා ඥාති හිතවතුන් විවාහ උත්සවය සඳහා පැමිණීමට අකැමැත්තක් දක්වන බව පෙනී යද්දී ජෝසෆ් සහ කාංග් මුහුණ දුන්නේ බලවත් ගැටලුවකටය.
බොහෝදෙනකු ඔවුන්ට කතා කර තමුන් නොපැමිණෙන බැව් දැනුම්දී තිබිණි. මෙම තත්ත්වය තුළ නව යුවළ මහත් සේ අසරණ වූ අතර දැන් කරන්නේ කුමක්දැයි ඔවුහු දැඩි සිත් වේදනාවෙන් යුතුව කල්පනා කරන්නට වූහ.
“උත්සවය කල් දාන්න ඕන කියල අපි දෙන්නා කල්පනා කළා” ජෝසෆ් සඳහන් කළේය. “ඒත් හෝටලය ඒකට කැමැති වුණේ නැහැ. හැම දෙයක්ම ඒ වනවිට ලෑස්ති කර අවසන් නිසා කල් දැමීමක් කළ නොහැකි බව ඔවුන් අපට දැනුම් දුන්නා. අපි තවත් අසරණ වුණා. උත්සවය පැවැත්වීම හැර වෙන කරන්න දෙයක් නැති බව අපිට තේරුණා.”
මේ අනුව උත්සවය කලින් සැලසුම් කළ ආකාරයෙන්ම පැවැත්වීමට ජෝසෆ් සහ කාංග් තීරණය කළහ. නමුත් ඔවුහු එක වෙනසක් කිරීමට කල්පනා කළෝය. එනම් තමුන් දෙදෙනා එයට සහභාගි නොවීමයි. මනාල යුවළ නැති මංගල උත්සවයක් ලෙස එය පැවැත්වීමට ඒ අනුව තීරණය කෙරිණි.
බය නැතිව උත්සවයට පැමිණෙන ලෙස නෑ හිතවතුන්ට දැනුම් දුන් මනාල යුවළ පැවසුවේ තමුන් දෙදෙනා (Live Streaming) යනුවෙන් හැඳින්වෙන තාක්‍ෂණය යොදා ගනිමින් අන්තර්ජාලය හරහා වීඩියෝ මාර්ගයෙන් සජීවීව ඔවුන් සමඟ එක්වන බවයි.

තමුන් දෙදෙනාගේ මෙම අදහස ගැන ඇසූ බොහෝදෙනකු විස්මයට පත් වූ බැව් ජෝසෆ් සහ කාංග් පවසා තිබිණි. ජෝසෆ්ගේ මවුපියන් මුලින් මෙයට විරුද්ධත්වය ප්‍රකාශ කළ බව ද සඳහන් වේ. නමුත් වෙනත් විකල්පයක් නැති බැව් පෙනී ගිය විට ඔවුන් ද අවසානයේ මේ යෝජනාවට කැමැත්ත දී තිබේ.
මේ අතර චීනයේ සිට පැමිණීමට නියමිතව සිටි කාංග්ගේ මවුපියන්ට ද මෙම අවස්ථාවට සහභාගිවීමට නොහැකි තත්ත්වයක් ඇති වී තිබිණි. මන්දයත්, ඒ වනවිට චීනයේ සමහර ප්‍රදේශවලට බලපාන පරිදි ගමනාගමන තහංචි ක්‍රියාත්මක වෙමින් තිබීම නිසාය.
උත්සවය සඳහා ඇරයුම් කර තිබූ 190කට ආසන්න අමුත්තන් අතරින් 110කට කිට්ටු ගණනක් ඒ සඳහා සහභාගි වී තිබිණි. අමුත්තන්ගේ පැමිණීමෙන් පසු මනාල යුවළ තමුන් රැඳී සිටි ස්ථානයේ සිට සජීවීව වීඩියෝ මාර්ගයෙන්, ඉහත කී Live Streaming තාක්ෂණය යොදා ගනිමින් විවාහ උත්සවයට සහභාගි වූහ.
ඔවුන්ගේ දර්ශන ප්‍රදර්ශනය කිරීම සඳහා විශාල තිරයක් උත්සව ශාලාවේ පිහිටුවා තිබිණි. ඒ වනවිට ජෝසෆ් සහ කාංග් රැඳී සිටියේ ‘එම්’ හෝටලයේම වෙනත් කාමරයකය. ඔවුන් එහි සිට සියලුදෙනාට ස්තුති කිරීමට පියවර ගත් අතර සාමාන්‍යයෙන් මෙවැනි උත්සවයක දී අනුගමනය කරන සියලු සම්ප්‍රදායික චාරිත්‍ර අනුගමනය කිරීමටද පියවර ගෙන තිබිණි.
තමාත්, තම බිරියත් බලාපොරොත්තුව සිටියේ මෙවැනි විවාහ උත්සවයක් පැවැත්වීමට නොවුණත් වෙනත් විකල්පයක් නොවූ තත්ත්වය තුළ මේ ආකාරයෙන් හෝ එය පවත්වන්නට හැකිවීම ගැන සතුටු වන බව ජෝසෆ් සඳහන් කර තිබුණේය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!