Gossip

කොරෝනාවට වැසූ කඩේ ඇරියාම කුරුලු පැටවුන් ගොඩක් එළියට ඇවිත්

කොරෝනා ව්‍යසනය නිසා ඇඳිරි නීතිය හමුවේ වසා දමන ලද වෙළෙඳ ආයතනයක් යළි විවෘත කිරීමට යෑමේදී අලෙවි කිරීමට ගෙනැවිත් අසුරා  තිබූ වටු බිත්තරවලින් පැටවුන් එළියට පැමිණ සිටිනු දැක වෙළෙදසල්හිමියා මවිතයකට පත්වීමේ පුවතක් ඇතුගල්පුරවරයට අයත් රාජධානි බල ප්‍රදේශයකින් වාර්තා වේ.

එම වෙළෙද ආයතන ප්‍රධානියාගේ සමීපතම හිතවතුන් පවසන ආකාරයට සිද්ධිය මෙසේය.

ප්‍රදේශයේ  ජනතාව වටු බිත්තරවලට වැඩි ඉල්ලුමක් ඇති නිසා ඒවා මෙම ආයතනයේද විකිණීමට තබා ඇත.

ඒ අනුව වටු බිත්තර එහි අලෙවි කිරීමට ගත් මුල් දිනවලදීම කොරෝනා ව්‍යසනය හමුවේ රට පුරා ක්‍රියාත්මක වූ ඇඳිරි නීතිය නිසා වෙළෙඳසල් හිමියාටද එය වසා දැමීමට සිදුවිය.

කෙසේ වෙතත් ඇඳිරි නීතිය ඉවත්කර රට යථා තත්ත්වයට පත්වීමෙන් අනතුරුව ඔහු ඉකුත්දා වෙළෙඳ ආයතනයට පැමිණ එය විවෘත කරවා වටු බිත්තර අලෙවි කිරීමට ඒවා රාක්ක මත සැකසීමට යාමේදී ඒවා අතරින් කිහිපයක් පුපුරාගොස් පැටවුන් සිටිනු හා තවත් බිත්තර පුපුරා පැටවුන් එළියට ඒමට ආසන්නව සිටිනු දැක විමතියට පත්ව තිබේ.

ඒ අනුව ඔහු එම බිත්තර අතරින් ආ පැටවුන් රැක බලා ගැනීමටත්, පුපුරා යෑමට ආසන්නව තිබූ බිත්තර අතරින් පැටවුන් එළියට ගැනීමටත් වෙහෙසි ඇතත් එම පැටවුන් මියගොස් බිත්තර සියල්ලත් නරක්වී යාම නිසා ඒවා ඉවත්කර පාඩුව විඳදරා ගැනීමට ඔහුට සිදුවිය.

එතැන්පටන් හිතවතුන්ගේ සමච්චලය අතරේ කෝපයට පත් ඔහු එම ආයතනයට මොන දේවල් අලෙවි කිරීමට ගත්තත් වටු බිත්තර නොගන්නා බවත්, එහි වටු බිත්තර අලෙවි කරන බවට ප්‍රදර්ශනය කර තිබූ දැන්වීම් පුවරුවද ඉවත්කර ඇති බවත් දැන ගන්නට තිබේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!