Gossip

කඳවුරට සහභාගි වන අය එකිනෙකා හා කතා කිරීම තහනම් – මරාගෙන මැරුණු ප්‍රහාරවල මහමොළකරු සහරාන්ගේ පුහුණු කඳවුරුවල රහසිගත සැලසුම මෙන්න

නුවරඑළිය ගැන කතා කරන විට නිතරම හඳුන්වන්නේ සුන්දර නුවරඑළිය හැටියටය. ඒත් ඊයේ පෙරේදා දවසක මේ සුන්දර නුවරඑළියෙන් අසන්නට ලැබුණේ සුන්දර කතාවක් නම් නොවේ. පුද්ගලයන් රැසකට මරු කැඳවා තවත් පුද්ගලයන් රැසක් තුවාල ලැබු ඉරු දින පාස්කු ප්‍රහාරයේ අවසන් පුහුණුවීම සිදුකර ඇත්තේ මේ සුන්දර නුවරඑළියේය යන්න ඒ අසුන්දර කතාවයි.

මරාගෙන මැරෙන බෝම්බ කල්ලියේ නායකයා යැයි කියන සහරාන්ගේ අනුගාමිකයකු වු බෝම්බ සම්බන්ධයෙන් විශේෂ දැනුමක් ඇති විසි හතර හැවිරිදි පුද්ගලයකු ආරක්ෂක අංශ අත්අඩංගුවට පත්ව තිබුණේ කාත්තන්කුඩියේදීය. ඔහුගෙන් සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී නුවරඑළිය පුහුණු කඳවුර පිළිබඳ තොරතුරු අනාවරණය වී තිබේ.

රාජ්‍ය බුද්ධි අංශය විසින් මේ තොරතුරු නුවරඑළිය මූලස්ථාන ‍පොලීසිය වෙත ලබාදීමෙන් පසු නුවරඑළිය මූලස්ථාන ‍පොලීසිය යුද හමුදාව එක්ව තොරතුරෙන් කියවුණු අදාළ ස්ථානය සොයා ගියේය. ඒ ඉකුත් 06 දාය.

නුවරඑළිය-බ්ලැක්පුල් ප්‍රදේශයේ දෙමහල් නිවසක් වූ මෙය ලැගුම්හලක් ලෙස භාවිතයට ගෙන තිබූ ගොඩනැගිල්ලකි. ඉඩම වටා කොළ පැහැති දැලකින් ආවරණය කර තිබිණි. මෙහි හිමිකරු එම බ්ලැක්පුල් ප්‍රදේශයේම පදිංචිකරුවකු විය.

නුවරඑළියේ නිවාඩු සමය වන විට සෑම නිවසක් පාහේම සංචාරකයන්ට කුලියට ලබාදීම සාමාන්‍යයෙන් සිදු කෙරේ. මේ කුලියට ලබාදීම සිදු කරන්නේ සංචාරකයකුගේ එක් හැඳුනුම්පතක් ලබාගෙන එහි අංකය හා දුරකථන අංකය පමණක් සටහන් කර ගැනීමෙන් අනතුරුවය. අදාළ කුලී මුදල ලබා ගැනීමෙන් පසු ඉන් ඔබ්බට කුලීකරුවා ගැන සොයන්නේ නැති තරම්ය. මේ බව ප්‍රයෝජනයට ගනිමින් ගම්‍පොළ ප්‍රදේශයේ මුස්ලිම් පුද්ගලයකු විසින් මීට තුන් මසකට ඉහතදී මෙම ලැගුම්හල කුලියට ලබා ගෙන තිබේ. ඒ සිය පවු‍ලේ අය නුවරඑළියේ නිවාඩුවක් ගත කිරීම සඳහා පැමිණෙන බවත් අප්‍රේල් මස තෙක් රැඳී සිටින බවත් එහි හිමිකරුට පවසමිනි. ඒ අනුව මසකට රුපියල් ලක්ෂ පහ බැගින් මාස තුනට රුපියල් ලක්ෂ 15 ක් මෙහිදී ලැගුම්හල් හිමියාට එකවර මුදල් ගෙවා ඇත.

වසන්ත සමයට මුස්ලිම් ජාතිකයන් පවුල් පිටින් නුවරඑළියට පැමිණෙන බැවින් ලැගුම්හල් හිමියාටද මෙම කුලියට ගැනීම අරුමයක් නොවීය.

මෙසේ මෙම නිවස්නය කුලියට ගැනීමෙන් පසු තව්හිද් ජමාත් සංවිධානයේ සහරාන් හෂිම්ගේ අනුගාමිකයන් තිස්අට දෙනෙකු නුවරඑළියට පැමිණ තිබේ. ඒ මෙම ලැගුම්හ‍ලේ පැවැත්වෙන සහරාන් හෂීම්ගේ පුහුණු කඳවුරට සහභාගිවීමටය.

අලුයම නුවරඑළියට පැමිණෙන මොවුන් නුවරඑළියේ සිට බ්ලැක්පුල් දක්වා රැගෙන යාමට වෑන් රථ දෙකක් පැමිණෙන අතර ඊට ගොඩ වී පුහුණු කඳවුර වෙත යනු ලබයි. එහිදී මොවුන්ට බෝම්බ පිළිබඳ දැනුම, ඉස්ලාම් දේශන, වෙඩි තැබිම් පිළිබඳ ඉගෙනුම ලබා තිබේ. මේ සියලුම පුහුණුවීම් ගෘහස්ථව සිදු කිරීමට තව්හිද් ජමාත් සාමාජිකයන් පියවර ගෙන තිබේ. මෙම නිවසේ නිරන්තරයෙන්ම පුද්ගලයන් ගැවසුණත් අවට ප්‍රදේශවාසීන් ඒ පිළිබඳ එතරම් තැකීමක් නොකළේ මුස්ලිම් පවුල්වල සාමාජිකයන් විශාල පිරිසක් සිටින හෙයිනි.

මෙම පිරිසට අවශ්‍ය සියලු දේ සපයාදී ඇත්තේ ඒ අවටම පදිංචි පුද්ගලයන් දෙදෙනකු විසිනි.

මෙම කඳවුරට සහභාගි වන්නන්ට එකිනෙකා හා කතා කිරීම තහනම්ය. ඔවුන් කළ යුත්තේ ඔවුන්ට පැවැරෙන කාර්යය පමණි. නුවරඑළියේ වසන්ත සමයේත් මෙම කඳවුරේ පුහුණු විම් කළ තව්හිද් ජමාත් සහරාන්ගේ අනුගාමිකයන් අවසන් වරට මෙහි රැස්ව ඇත්තේ ඉකුත් 17 වෙනිදාය. එදින රැස් වූ සියලුදෙනා පාස්කු ඉරුදින ප්‍රහාර මාලාව ඇතුළු සැලසුම් කර තිබූ සෙසු ප්‍රහාරයන් පිළිබඳ මෙහිදී පෙරහුරුවක යෙදී ඇත්තේය.

ඉන් අනතුරුව මොවුන් තම තමන්ට පැවරුණු කාර්යයන් වෙනුවෙන් විසිරී ගොස් ඇති බවද කාත්තන්කුඩිහිදී අත්අඩංගුවට ගෙන තිබූ පුද්ගලයා හෙළිකර තිබුණේය. ඔහු මෙම පුහුණු කඳවුර සඳහා පැමිණ තිබුණේ අලුයම 4.30ට බවද අනාවරණය කර තිබේ.

නුවරඑළියේ පුහුණුව ලැබූවන්ගේ එක් ඉලක්කයක් වී ඇත්තේ නුවරඑළිය වසන්ත සැණකෙළිය බවත්, නමුත් කිසියම් කරුණක් මත එය ක්‍රියාත්මක කිරීමට නොහැකි වී ඇති බවද වැඩිදුර ‍පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

මෙම පුහුණු කඳවුර සෝදිසි කිරීමේදී සිතියම් තුනක් ආරක්ෂක අංශවලට හමුව තිබූ අතර ලැගුම්හ‍ලේ හිමිකරු හා තව්හිද් ජමාත් අනුගාමිකයන්ට ආවතේව කළ පුද්ගලයන් දෙදෙනාද මෙහිදී අත්අඩංගුවට ගනු ලැබිණි.

මෙම නුවරඑළිය පුහුණු කඳවුර පිළිබඳ අනාවරණය වෙද්දී මඩකලපුව-වාලච්චේන ප්‍රදේශයෙන් සහරාන්ගේ තවත් පුහුණු කඳවුරක් පිළිබඳ තොරතුරු හෙළි විය. ඒද ඉකුත් 06 දාමය.

වව්නතිව් ‍පොලීසියේ ඝාතනය කෙරුණු ‍පොලිස් නිලධාරීන් දෙදෙනාගේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවේ සිටින සහරාන්ගේ රියැදුරු වූ ගෆුර් මාමාගෙන් ලද තොරතුරක් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, වාලච්චේන ‍පොලීසිය හා ආරක්ෂක අංශ එක්ව වාලච්චේන- රිදීතැන්න ප්‍රදේශයේ අක්කර විසි පහකින් සමන්විත ඉඩමක් සෝදිසියට ලක් කළේය.

මහවැලි අධිකාරියට අයත් මෙම ඉඩම බදු පදනම මත ලබාගෙන තිබූ අතර භූමියටම තිබුණේ එක් ගොඩනැගිල්ලක් පමණි. එයද තවමත් ගොඩනැගෙමින් තිබෙන අතර භූමිය සුද්ධ පවිත්‍ර කර තිබිණි.

මෙහිදී පී.වී.සී. බට නළ හා ජෙලනයිට් කූරු 236 ක්, ඇසිඩ් පුරවන ලද බූලියක් වළදමා තිබියදී ආරක්ෂක අංශ විසින් සොයා ගත්තේය. මෙම ස්ථානයේ භූගත බංකර් සෑදීමටත් සහරාන් හෂිම්ට එරෙහිව යන පුද්ගලයන් මෙහි රඳවා තැබිමටත් සහරාන් හෂිම් සැලසුම් කර තිබූ බවද තොරතුරු හෙළිව තිබේ.

මෙහිදී මෙම ඉඩමේ හිමිකරුවද ‍පොලීසිය විසින් අත්අඩංගුවට ගත්තේය.

මේ අතර ඉකුත් 05දාද මඩකලපුව-කාත්තන්කුඩි ‍පොලිස් වසමේ තිබූ සහරාන් හෂීම්ගේ තවත් පුහුණු කඳවුරක් බවට සැක කළ පරිශ්‍රයක් සොයා ගනු ලැබිණි. මුස්ලිම් ජාතිකයන්ගේ හදවත වූයේ කාත්තන්කුඩියය. රටඉඳි ගස්වලින් සමන්විත කාත්තන්කුඩිය පුරාම සිටින්නේ මුස්ලිම් ප්‍රජාවය.

මඩකලපුව ‍පොලිස් විශේෂ කාර්ය බළකාය හා කාත්තන්කුඩි ‍පොලීසිය, බුද්ධි අංශ එක්ව මෙම ස්ථානය සෝදිසි කරනු ලැබිණි. මෙම ඉඩම 2017 වසරේදී මිලදී ගෙන තිබුණේ කාත්තන්කුඩි පුද්ගලයකු විසිනි. ඒ රුපියල් ලක්ෂ දාහතක මුදලකට බව පැවැසේ.

මඩකලපුව-කොක්අඩිචෝ‍ලේ මාර්ගයේ ගමන් ගන්නා විට හමුවන ඔල්ලිකුලම් ප්‍රදේශයේ අක්කර දෙකකට ආසන්න ඉඩමක මෙම පුහුණු කඳවුර පවත්වාගෙන ගොස් තිබේ. හතරවටින්ම තහඩු ගසා වට කර තිබූ මෙම ඉඩම පිටතට දිස් වූයේ ගොවිපළක් ලෙසය. අහස උසට ගිය ‍පොල්ගස් අතරේ කෙසෙල් ගස්ද තිබූ මෙම ඉඩමට ඇතුළු වූ පසු දකින්නට ලැබෙන්නේ කම්බි ගැසූ වැටවල් කිහිපයකි. මෙය ආරක්ෂක අංශවල පුහුණුවීම්වලදී බාධක තුළින් රිංගා යාමට පුහුණුව ලබාදෙන ආකාරයේ එකක් බව ආරක්ෂක අංශ වලට නිරීක්ෂණය විය. එමෙන්ම මෙම ගොවිපළේ තට්ටු හතරක් ආකාරයට සිහින් ගොඩනැගිල්ලක් තනා තිබුණේය. එහි එක් තට්ටුවක් ගොවිපළේ සිටි අය නවාතැන් ගෙන සිටි අතර තවත් තට්ටුවක තිබුණේ විශාල වතුර ටැංකියකි. ඉහළම කොටස තනා තිබුණේ ඊට ගොඩ වූ විට අවට සියලුම පරිසරය දර්ශනය වන අයුරිනි. සාමාන්‍යයෙන් මෙවැනි ගොඩනැගිලි සාදන්නේද ආරක්ෂක අංශවල (විශේෂයෙන් කොමාන්ඩෝ සෙබළුන්ට, ‍පොලිස් විශේෂ කාර්ය බළකා සෙබළුන්ට) සෙබළුන්ට පුහුණුවීම්වලදී කඹ දිගේ ඉහළට නැගීිමට හා ඉහළ සිට බිමට පැනීමටය. ඉන් ඔවුන්ගේ බිය තුරන් වීම සිදු කෙරේ.

මෙම ගොඩනැගිල්ලද සහරාන් විසින් එලෙස පුහුණුවීම් සඳහා යොදා ගන්නට ඇති බව ආරක්ෂක අංශ සැක කරනු ලබයි.

එමෙන්ම අන්තවාදී ජාතිවාදීන් ට මෙම ගොවිපළේ සිට බෝම්බ සෑදීම පිළිබඳ පුහුණුව ලබාදී ඇති බවටත් තොරතුරු හෙළිව ඇත. සහරාන් හෂිම්ගේ සොහොයුරා වූ රිල්වාන්ට එක් ඇසක් හා දෑත තුවාල වූයේද මෙහි 2018 වසරේදී බෝම්බ සෑදීමේදී බව ආරක්ෂක අංශ විසින් අනාවරණය කර ගෙන තිබේ. මෙහිදී තුවාල ලැබූ රිල්වාන් කාත්තන්කුඩියේ සිට බස්නාහිර පළාතට රැගෙන ගොස් එහි රෝහලකට ඇතුළත් කර ප්‍රතිකාර ලබා දුන් බවද මේ වන විට තොරතුරු අනාවරණය කර ගෙන ඇත.

මෙම ගොවිපළේ එතරම් කාලයක සිට බෝම්බ සෑදීම සිදු කළේ නම්, බෝම්බයක් පිපිරී ගොස් රිල්වාන් තුවාල ලබා බස්නාහිර පළාතට ගෙන යනකම් කිසිදු ආරක්ෂක නිලධාරියකුට නිරීක්ෂණය වීම හෝ තොරතුරු නොලැබිමද විමතියට කරුණකි.

මෙම සෝදිසි කිරීමේදී සැක කටයුතු කිසිවක් හමු නොවූ බව සඳහන් කරන ‍පොලීසිය ගොවිපළේ හිමිකරුව අත්අඩංගුවට ගෙන තිබේ.

සහරාන් හෂිම්ගේ පුහුණු මධ්‍යස්ථානයක් ප්‍රථමවරට ආරක්ෂක අංශ විසින් සෙයා ගනු ලැබූයේ 2019-01-16දා වනාතවිල්ලුව, ලැක්ටෝවත්ත ප්‍රදේශයේදීය. එහිදී අධිබලැති පුපුරන ද්‍රව්‍ය ඇතුළු පුහුණුවීම්වලට යොදා ගැණුනු උපකරණ රැසක් සොයා ගනු ලැබිණි.

ඉන් අනතුරුව හමුවුයේ කාත්තන්කුඩි -ඔල්ලිකුලිම් පුහුණු කඳවුර වන අතර පසුව හමු වුයේ නුවරඑළිය හා වාලච්චේන පුහුණු කඳවුරු දෙකය. ඒ අනුව මේ වනවිට සහරාන්ගේ පුහුණු කඳවුරු හතරක් සොයා ගෙන තිබේ.

කුරුණෑගල හා හම්බන්තොට ප්‍රදේශවලද මෙකී පුහුණු කඳවුරු පවත්වාගෙන ගොස් ඇති බවටද මේ වන විට තොරතුරු අනාවරණය වී තිබේ. හම්බන්තොටින් පුහුණු වූ සහරාන්ගේ අනුගාමිකයන් හත් දෙනෙකුද ඉකුත් 07දා කාත්තන්කුඩියේදී අත්අඩංගුවට පත්ව තිබුණේ එකී තොරතුරු තවත් තහවුරු කරමිනි.

සටහන – ශානිකා මාධවි පීරිස්

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!