Gossip

“එයාගෙ කැමැත්තට මම තහංචි දාලා නැහැ – ජීවිතේ ලොකු බලාපොරොත්තුවක් නැහැ “- රොෂාන් පිලපිටිය සහ රිද්මා පිලපිටිය කියපු දේ

ජනප්‍රිය රංගන ශිල්පී රොෂාන් පිලපිටියගේ බිරිඳ තමයි රිද්මා පිලපිටිය කියලා කියන්නේ. ඇයත් දැන් රංගනයට පිවිසිලා තියෙනවා. ඉතිං මේ ගැන ඔවුන් දෙදෙනා සති අන්ත පුවත්පතක් හමුවේ කියා තිබුණේ මේ විදියට.

රොෂාන් දැන් කොහොමද ජීවිතය?
සමබරව ගෙවී යනවා. වරදක් නැහැ. හොඳයි.

විවාහ ජීවිතේ කොහොමද?
විවාහවෙලා වසරක් සම්පූර්ණ වෙනවා. දෙන්නා සතුටින් දෙන්නාට දෙන්නා තේරුම් ගනිමින් ජීවත් වෙනවා.

අද ඒ තේරීම ගැන හිතන්නෙ කොහොමද?
රිද්මා මාව හොඳින් තේරුම් ගෙන සිටින්නේ. ඒ වගේම මගේ රැකියාව ගැනත් හොඳ වටහා ගැනීමක් එයාට තියෙන්නෙ. ඇත්තටම ඒ තේරීම නිවැරදියි කියලා හිතනවා.

දැන් ඇය රඟපෑමටත් ඇවිත්? ඒ අවස්ථාව ලබාගත්තේ කොහොමද?
මම දිනෙක ගිහාන් රෝහණ අධ්‍යක්ෂවරයා හමුවන්න ගිහින් හිටියා. රිද්මා මා එක්ක ඇවිත් හිටියෙ. ඒ වෙලාවෙ තාරකා වාසලමුදලි ආරච්චි රිද්මාව දැකලා එයාගෙ තිර පිටපතකට අනුව ගිහාන් රෝහණ අධ්‍යක්ෂණය කරන නිර්මාණයකට එයාව තෝරා ගත්තා. තාරකා තමයි ඒ චරිතයට සුදුසු පෙනුම තියෙනව කියලා රිද්මාට ඒ අවස්තාව ලබා දුන්නෙ.

රොෂාන් කැමතිද රිද්මා දිගටම රඟපානවාට?
මම කොහොමටත් තහංචි දාන්නෙ නැහැ. එයා ගෙදර වැඩ වලට හොඳින් දායක වෙනවා. මගේ වැඩ ගැනත් සොයා බලනවා. ඒ නිසා එයාගෙ කැමැත්තට මම තහංචි දාලා නැහැ.

කොහොමද ගෙදර ගෙවන ජීවිතය?
රිද්මාට හොඳ රහට උයන්න පුළුවනි. උයන පිහන දේට මගෙන් ලොකු සහයෝගයක් නැහැ. එයා හරිම ආසාවෙන් කැපවීමෙන් ගෙදර කටයුතු කරනවා.

විවේකයේදී?
රිද්මා ආසයි ෆිල්ම්ස් සහ නාට්‍ය බලන්න. මම වේදිකා නාට්‍යයක රිහසල් ගියාමත් එයා එනවා ඒක බලන්න. අපට ජීවිතේ ලොකු බලාපොරොත්තුවක් නැහැ. බොහොම සරලව සාමකාමීව ජීවත් වෙනවා. රට ගැන, රටේ තියෙන වාතාවරණය ගැන සමාජයට ලොකු කලකිරීමක් තියෙන්නේ. ඒත් අපේ මේ රට දාලා යන්න ඕනෑය කියන තැන අපි දෙන්නා නැහැ. ඒ අඳොනාව කියා ගෙන ලතැවෙනවාට වඩා රටේ තියෙන අවුලට බැන බැන ඉන්නවාට වඩා සමාජය සහ රට තේරුම් අරගෙන අපට ගැලපෙන විදියට ජීවිතයට මුහුණ දෙනවා. ජනවාරි 1 වැනිදා දෙන්නා එකතු වෙලා කිරිබත් හැඳුවා. පන්සල් ගියා.
විශේෂිත දේ කියලා මොනවත් කළේ නැහැ.

රිද්මා, ඇත්තටම ඇයි ඔබට රඟපෑමට එන්න හිතුණේ?
ලොකු අරමුණක් තිබුණේ නැහැ. රඟපෑම ගැන යම්කිසි හැදෑරීමකුත් කරලා තිබුණා. ඉතින් තාරකා අක්කා ඒ අවස්ථාව ගිහාන් රෝහණ මහතා හරහා මට ලබා දුන්නාම එය ගෞරවයෙන් බාර ගත්තා.

මේ විදියට දිගටම චරිත ලැබුණොත්?
හොඳ දේ ලැබුනොත් බාර ගන්නවා. ඒත් මගේ ප්‍රධාන වගකීම වන්නේ ගෙදර රාජකාරී වගකීම් ටික හරියට කිරීමයි.

ඔබ රඟපාන මේ චරිතය ගැන කිව්වොත්?
වත්පොහොසත්කම් ඇති පවුලක ටිකක් මුරණ්ඩු ළමයෙක්. මව්පියන්ගේ හුරතලය මැද හැදී වැඩුණු තරුණියකගේ චරිතයක්. මේ නිර්මාණයෙහි නම ‘ඉන්ද්‍රචාපා’. මගේ චරිතයේ නම ‘ක්ලෝවි’ හැබැයි රොෂාන් අයියා මට රඟපාන්න එපාය කියලා නීතිරීති දාලා නැහැ.

රිද්මාට රසට උයන්න පුළුවන් කියලා රොෂාන් කිව්වා. එයා මොනවද හදලා ඉල්ලන්නේ?
රොෂාන් අයියා හරිම සරලයි. පොල් සම්බෝල එක්ක රතුහාල් බත් සහ පරිප්පු හොද්ද තියෙනවා නම් ආයෙ තව මොනවත් එයාට ඕනෑ නැහැ. ගමේ කෑම වලට තමයි ආසා කරන්නෙ.

අද රිද්මාට ජීවිතය දැනෙන්නෙ මොන විදියටද?
හොඳයි අපි විවාහ වෙලා වසරක් සම්පූර්ණ වෙනවා. ඉතින් මේ කාලය හරිම සුන්දරයි. හරිම ආදරණීයව අපි විවාහ ජීවිතය ගත කරනවා.

රිද්මාට රොෂාන් ගැන හිතෙන්නේ මොන විදියටද?
රඟපෑමට හරිම දක්ෂයි. ඒ දක්ෂතාවය එයාගෙ ඇ‍ඟෙන්ම ආ දෙයක්. ඕනෑම දෙයක් ගැන හොඳ මතකයක් තියෙන්නෙ. ඕනෑම මාතෘකාවක් ගැන හිස් නැතුව එයාට අදහස් ප්‍රකාශ කරන්න පුළුවන් දක්ෂතාවයක් තියෙන්නෙ. ඇත්තටම එයා හොඳ දැනුමක් ඇති පොතක් වගෙයි. ඕනෑම කෙනෙකුට ප්‍රශ්නයකදී උපදෙස් ගන්න තරම් පුළුවන් හොඳ චරිතයක්.

උපුටා ගැනීමකි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!