Gossip

ඊළඟට පුපුරණ බෝම්බය කාටවත් නවත්වන්න බෑ – සංවේදී වූ කාදිනල් හිමිගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

බොරැල්ල දේවස්ථානයේ බෝම්බය තැබීම පිටුපස මහමොළකරුවෙකු සිටින බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසනවා.

මහජන ආරක්ෂක අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ කෙසේ වෙතත් එම පුද්ගලයාද නුදුරේදීම අත්අඩංගුවට ගන්නා බවයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ කාදිනල් හිමියන් ඊයේ සිදුකළ ප්‍රකාශයට පිළිතුරු දෙමින්.

එහිදී කාදිනල් හිමියන් සඳහන් කර තිබුණේ,

“අපේ පල්ලියේ අවුරුදු ගාණක් වැඩකරපු 4 දෙනෙක්ව පොලීසියට කැඳවාගෙන ගියා. පස්සේ පොලිස් මාධ්‍ය ප්‍රකාශකගේ ප්‍රකාශයේ සඳහන් වුණා බෝම්බය තබාගියේ ‘මුනි’ කියන කෙනා කියලා.”

“පොලීසිය අපිට කිව්වේ හවස 3න් පස්සේ CCTV දර්ශන නැරඹුවාම ඇති කියලා. නමුත් අපි මේ CCTV දර්ශන හොඳින් නැරඹුවා. උදේ වරුවේ සිට.”

“ඒ අනුව අපිට පේනවා.. එදා උදේ 9.52ට පුද්ගලයෙක් දේවස්ථාන භූමියට ඇතුළුවෙනවා.”

“අපිට පේනවා මේ සිද්ධියේ ඇත්ත හොයාගෙන යනවාට වැඩිය.. කතන්දරයක් ගොතන්නට හදන වැඩක් හැටියට.”

“ඒ නිසා අපි පොලීසියේ මේ ක්‍රියාදාමය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. අවංකකම නැතිව දේශපාලන ලෝකයේ නායකයන්ට ගැතිකම් කරන්න නොවෙයි පොලීසිය තියෙන්නේ.”

“ඒ නිසා කරුනාකරලා බොරු කරන්න එපා. ඔය යුනිෆෝම් එක ගලවලා දාලා ගෙදර යන්න.”

ඊට ප්‍රතිචාර දක්වමින් අදහස් දැක්වූ මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා,

“පොලීසිය පිළිබඳව ඒ වගේ ප්‍රකාශ කළාම ජනතාවගේ තියෙන විශ්වාසය පළුදු වෙන්න පුළුවන්. නමුත් ඇත්ත වශයෙන්ම එතැන වුණේ… අපි දන්නවා ඇපලෝ රෝහලේත් බෝම්බයක් තියලා. ඒක තියපු කෙනාම තමයි එක රපෝත්තු කළේ. මෙතැනත් මේ බෝම්බෙ තියපු එක්කෙනාම තමයි ඒ පියතුමාට රපෝත්තු කළාට පස්සේ හැන්දෑවේ 5ට පමණ පොලීසිය එතනට ගිහිල්ලා සැකකටයුතු හතරදෙනෙක් ගත්තා. ඒ ළමයාට අවුරුදු 14යි. ඒ ළමයා ඊට පස්සේ මහෙස්ත්‍රාත්තුමිය ඉදිරියේ තමයි කිව්වේ මේ පල්ලියේ මාස 8ක් පමණ වැඩකරන ද්‍රවිඩ ජාතික මුනී කියන පුද්ගලයා තමයි එයාට මේ බෝම්බය සහිත මල්ල භාරදුන්නේ කියලා. ඊටපස්සේ ඒ බෝම්බය සහිත මල්ල භාරදුන්න පුද්ගලයා තමයි අල්තාරය උඩ බෝම්බය තිබ්බේ කිව්වා.”

“ඊට පස්සේ ඒ මනුස්සයා ඒක පිළිගත්තා. ඒ බෝම්බෙ වටේට රබර් පටියක් දාලා පින් එක ගලවලා හඳුන්කූරක් තියලා ගිනිකූරු 15ක් දාලා අන්තිමට හඳුන්කූර පත්තු වුණාට පස්සේ ගිනිකූර පත්තුවෙලා බෝම්බය පුපුරන්න තමයි සකස් කරලා තිබ්බේ. ඊට පස්සේ ඒ පුද්ගලයාගේ කාමරය ඇතුලේ ටේප් තිබුණා, හඳුන්කූරු තිබුණා, ගිනිකූරු තිබුණා. ඉතින් ඒ වගේ පුද්ගලයෙක් අත්අඩංගුවට ගත්තම. පල්ලියේ ඉන්න පුද්ගලයෝ අත්අඩංගුවට අරන් හිරිහැර කරනවා කියන එක මොනතරම් බාල තත්ත්වයක් ද කියල තමයි මට අහන්න තියෙන්නේ. ඒක හින්දා එහෙම කරන්න නරකයි. උදේ පාන්දර නොන්ඩි ගහගෙන පුද්ගලයෙක් ආපු බව ඇත්ත. ඒ පුද්ගලයා පිළිබඳව පොලීසිය පරීක්ෂණ පවත්වනවා. පොලීසියට දියයුතු ඒ CCTV දර්ශන මාධ්‍යයට නිකුත් කරාම වෙන්නේ ඒ අදාළ පුද්ගලයාට පුළුවන් හැංගෙන්න. පල්ලියම තමයි උදව් කරන්න ඕන අපිට ඒ පුද්ගලයා අල්ලන්න”.

“CCTV දර්ශන සවස 3 ඉඳල බැලුවේ ඉක්මනට අදාළ පුද්ගලයන්ව අත්අඩංගුවට ගන්න ඕන නිසා. මේක 5ට රිපෝට් කළේ. එහෙම කියල පොලිසිය උදේ ඒවා බලන්න එපැයි කියල නෑ. පොලිසිය උදේ තියෙන CCTV දර්ශන විනාශ කරන්න කියල නෑ. ඉතින් ඒ වගේ ඒවා තියෙනවානම් ඒවා පොලිසියට දන්වන්න ඕන”.

“අනිත් එක තාම දවස් දෙකයි. මේ පරීක්ෂණය තාම පවත්වාගෙන යනවා. ප්‍රධාන මිනිහව අපි අල්ලගත්තා. ඇපලෝ රෝහලේ බෝම්බ සිද්ධියයි. පල්ලියේ බෝම්බ සිද්ධියයි පිටිපස්සේ කවුරු හරි ලොකු කුමන්ත්‍රණකාරයෙක් ඉන්නවා. මේ රජය අපහසුතාවයට පත්කරන්න, පොලීසිය හමුදාව අපහසුතාවයට පත්කරන්න ඉන්නවා පුද්ගලයෝ. ඒ මහමොළකරුවා අපි ඉදිරියේදී අනිවාර්යයෙන්ම අත්අඩංගුවට ගන්නවා කියන එකත් අපි අනිවාර්යයෙන්ම කියනවා.”

මේ අතර පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය එල්ල වී අදට (14) දින 1,000ක් සම්පුර්ණ වෙනවා.

ඒ වෙනුවෙන් දෙවියන්ට කන්නලව් කිරීමේ දේව මෙහෙයක් අද පෙරවරුවේ තේවත්ත ලංකා අප ස්වාමී දූ ජාතික බැසිලිකාවේදී පැවැත්වුණා.

ඒ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන්.

මෙම අවස්ථාවට කොච්චිකඩේ හා කටුවාපිටිය දේවස්ථානවලදී බෝම්බ ප්‍රහාරයන්ට ලක්ව තුවාල ලැබූවන් හා මියගිය අයගේ පවුල්වල අයද එක්වී තිබුණා.

එහිදී අදහස් දැක්වූ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ,

“පාස්කු ඉරුදින මිනීමැරුම සිදුවී අදට හරියටම දවස් 1000ක් සම්පූර්ණ වී තිබෙනවා. ඒ කියන්නේ ලොකු කාලයක් මනුෂ්‍යයෙකුට මේ තරම් කාලයක් තිස්සේ මේ විදියට දුක් දරන්න පුළුවන් ද කියන එක ඇත්තෙන්ම අපිට නොතේරුනාද?.”

“මේ තරම් දුක් ඉවසා දරාගෙන ඉන්න මනුෂ්‍යයන්ට පුළුවන් වුනේ කොහොමද කියලා වෙලාවකට පුදුමත් හිතෙනවා.”

“මට කියන්න තියෙන්නේ දුක්විඳින ජනතාවගෙන් මම ගොඩක් දේවල් ඉගෙනගත්ත කියලා. අපේ ජනතාවට බොරු කරන්න හදන අයගේ බොරු එකින් එක හෙළිදරව්වෙමින් තියෙන්නේ දෙවියන් වහන්සේගේ ක්‍රියාදාමය තුළයි. ඒ නිසා මේ වෙනකොට ජනතාව දිනන ලකුණු අපි හැමෝටම පෙනෙන්න පටන් අරන් තියෙනවා. අපේ මේ පාස්කු ප්‍රහාරය පිළිබඳව සත්‍යය යටගහන්න හැදුවත් ජනතාව දවසින් දවස බලවත් වී පාලකයින් දවසින් දවස අවුල් සහගත තත්ත්වයකට පත්වෙන බව පැහැදිලියි.”

“ඒ නිසා කවුරු කවුරුත් අපිව යට කරන්නට, අපට වුන දේ ඉතිහාසයෙන් මකා දමන්නට කොච්චර උත්සහ කරත් එය හරියන්නේ නෑ. බෝම්බය නම් දැන් ඉතින් පුපුරලා ඉවරයි. නමුත් දැන් පත්තුවෙන බෝම්බය නම්, ඒ මුස්ලිම් අන්තවාදීන් විතරක් එකතුවෙලා කරපු වැඩක් කියලා ලඝු කරලා යට ගහලා ඇත්ත යටපත් කරන්නට බලවතුන් උත්සහ කෙරුවත් එන්න එන්නම ඇත්ත එළියට එන බෝම්බයයි දැන් පුපුරන්නේ.

ඒ ඇත්ත කතාව යටපත් කරන්න කී දෙනෙක් උත්සහ කළා ද. ? එහෙත් එහෙම කරන්න ඒ යට පුළුවන් වුනාද ? යටගහන්න හදන තරමටම එය මතුපිටට එනවා දියේ ගිල්වන්න හදන රබර් බෝලයක් වගේ. මේ ප්‍රහාරය කුමන්ත්‍රණයක් කියල පැහැදිළියි. අන්තවාදීන් පිරිසකගේ මේ ක්‍රියාව ගැන කළින් දැන දැනත් එක පැත්තකින් ඒකට ඉඩදීලා. අනිත් පැත්තෙන් එය වැළක්වීමට කටයුතු කළ අයට අවහිර කරලා. සමහර නායකයන්ට ඕන කලේ දේශපාලන වාසි ලබාගැනීමට ප්‍රහාරය පාවිච්චි කරන්නැයි කියල දැන් පැහැදිළි වෙමින් තියෙනවා.”

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!