Gossip

”ඇ‍ඟේ හැඩ තල ගැන විශේෂයක් දක්වනවා” ”කොහොමත් විශාල ඉලක්ක කවදත් මට තිබුණෙ නැහැ”

දුවලා දෙන්නා සෘජුවම කලාවට සම්බන්ධ නොවුණත් කලාවට සම්බන්ධයි

නව පරපුර අතහැරලා අපට යන්න බෑ

විජය නැති අඩුව හොඳටම දැණුනා

කුසුම් රේණු වේදිකාව, පුංචි තිරය, පුළුල් තිරය එක සේ ජයගත්තියක්. හැමදාමත් ඇය විවිධ චරිතවලින් ප්‍රේක්ෂකයන්ගේ හද බැඳගත්තා.මේ දිනවල ඈ ජයශ්‍රී ඇමතිතුමා චිත්‍රපටයෙන් රසිකයින් අතරට ඇවිත්. වේදිකාව, සිනමාව, පුංචි තිරය යන ත්‍රිත්වයේ ම දක්ෂ රංගන ශිල්පිනියක් වීමත්, අප දකින ඇයගේ නිහතමානි සුන්දර සිනාවත්, “කුසුම් රේණු” යනු චරිතාංග රංගන ශිල්පිනියක් වග සනාථ කරයි.

‘ජය ශ්‍රී ඇමතිතුමා” එක්ක ගෙවන ජීවිතේ කොහොමද?

මේ තාක් ප්‍රහසන රංගනයන් ඉදිරිපත් කළාට මෙම නිර්මාණය ගැන හැමෝම හොඳ ප්‍රතිචාර ඉදිරිපත් කළා. නිෂ්පාදකතුමා පවා මගේ රංගනය ගැන ඇගැයීමක් කළා. ඒ වගේම මෙතුවක් ප්‍රහසන රංගනය ඉදිරිපත් කළේ විජය නන්දසිරි මහතා සමඟ. ඔහු නැතිව කළ පළමු නිර්මාණය තමයි මේ; එක්තරා විදියක අභියෝගයක් වුණා. සමාජය තුළ සිදුවන ප්‍රායෝගික දේවල් අධ්‍යයනය කරමින් මෙයට සාධාරණයක් සිදු කළා කියලා මම හිතනවා.

රංගනය තුළ විවිධ චරිත නිරූපණයේදී සමබරතාව රැක ගන්නේ කොහොමද?

වේදිකාව තුළින් ලබපු පන්නරය සහ තවමත් ප්‍රායෝගිකව විවිධ චරිත අධ්‍යයනය කරමින්, වේදිකාව, සිනමාව, පුංචි තිරය තුළ ජීවත් වීම මෙම සමබරතාවය රැක ගැනීමට රුකුලක් වෙනවා. ප්‍රහසන රංගනයේදී ප්‍රේක්ෂකයාට හිනා වෙන්න අවස්ථාව ඉතුරු කර, අපිව පාලනය කරමින්, චරිතයට සාධාරණයක් ඉටු කිරීම රංගන ශිල්පීන්ගේ දක්ෂතාව විය යුතුයි.

වේදිකාව, සිනමාව, පුංචි තිරය යන ත්‍රිත්වය ගත්තොත්, කොතනද ඔබගේ හිත වඩාත් ම නතර වෙන්නේ?

වේදිකාව තුළ. හේතුව වේදිකාවෙන් ලබන අත්දැකීමෙන් අපිට අපිවම විනිශ්චය කර ගැනීමට පුළුවන්. ඒක තමයි රංගනයේ මූලික අඩිතාලම.

ප්‍රවීණ රංගන ශිල්පි ශ්‍රියන්ත මෙන්ඩිස් මහතාගේ ආදරණීය බිරිය වීම ඔබව රංගන ශිල්පිනියක් කළාද?

ශ්‍රියන්තව මට මුණ ගැසෙද්දිත් කලා ක්ෂේත්‍රයේ ඉඳිම, ඒ වගේම ඔහුත් එක්ක විවාහ වෙද්දි වේදිකාවේ හොඳම නිළිය සම්මානය ලබා ගැනීමත් විශේෂයක්. මම ‘කුසුම් රේණු’ හැටියට කලාව තුළ සිටියා මිස ශ්‍රියන්තගේ බිරිය වීම වාසියක් වුණා කියන්න බැහැ. නමුත්, විවාහ වුණාට පසුව ශ්‍රියන්තගෙන් ලොකු සහයෝගයක් ලැබුණා ඔහුත් ක්ෂේත්‍රයේ සිටින ප්‍රවීණයෙක් නිසා.

ප්‍රවීණ රංගන ශිල්පිනියක් වන ඔබට නවක ශිල්පිනියන්ගේ අවතීර්ණය කොයි ආකාරයට ද දැනෙන්නේ?

තරුණ පරපුරත් සමඟ වැඩ කරන්න සිදු වෙනවා. නමුත් ඔවුන්ට දොස් කියලා විවේචනය කරන්නට තරම් කුහක නැහැ මම. ඉතා සහයෝගයෙන් තමයි වැඩකටයුතු සිදු කරන්නේ. අපි ක්ෂේත්‍රයට ආ කාලයට වඩා වෙනස් සමාජ මට්ටමක් අද තියෙන්නේ. තාක්ෂණය දියුණුයි. ඉතින් මේ දරුවන් හුදකලාවට හුරුවීමනිසා තමයි වැරැද්දක් සිදු වෙනවා නම් සිද්ධ වෙන්නේ. එදා රූගත කිරීම්වලට ආවම තියන තැන නෙමෙයි අද තියෙන්නේ. වැරැද්දක් දුටු විට ඊට අවවාදයක් කරන එක වැඩිහිටියන් ලෙස අපගේ යුතුකම. එහෙම නැතුව ඔවුන් අත හැරලා අපට යන්න බැහැ.

රංගන ක්ෂේත්‍රයේදී ගනුදෙනු කිරීමේදී කලකිරීම් ඇතිවෙලා තියෙනවද?

ඇත්තටම මට එහෙම දැනිලා නැහැ. රංගනය තුළදි ඊට සාධාරණයක් කර, ප්‍රේක්ෂකයාට භාරදී අනෙක් නිර්මාණවලට දායක වීම හැර, යමක් ආපසු බලාපොරොත්තු වෙන්නේ නැහැ. කොහොමත් විශාල ඉලක්ක කවදත් මට තිබුණෙ නැහැ. මම විශ්වාස කරන්නේ යමක් ලැබෙන්නේ, පලදෙන්නේ, විඳවන්නේ ගෙවන්නේ පෙර භවයේ කළ‍ පින් අනුව කියලයි.

හොඳ උදාහරණය තමයි, “ජය ශ්‍රී ඇමැතිතුමා චිත්‍රපටය. එහි ප්‍රධාන චරිතයකින් දායක වුණත් මේ වෙනතෙක් කිසිම සම්මුඛ හෝ කවරයක් සඳහා ආරාධනා ලැබුණේ නැහැ. නමුත්, ඒ ගැන මම පසුතැවෙන්නේ නැහැ. යමක් ඉල්ලා පසුපස දිවීමේ පුරුද්දක් මා ළඟ කවදත් නැහැ.

ඔබේ දරුවන් කලාවට නැඹුරුවීම තුළ අඩුවක් තියෙනවා නේද?

එයාලා වෙනත් මාධ්‍යයන් තෝරා ගත්තත් කලාව හා සම්බන්ධයි. මගේ පොඩි දූ හඬකැවීම් ශිල්පිනියක් ලෙසත්, ලොකු දූ මෝස්තර නිර්මාණ ශිල්පිනියක් ලෙසත් කටයුතු කරනවා. ඔවුන් තෝරා ගත් වෙනස්ම මාර්ගය ගැන ‍ගොඩක්ම සතුටුයි.

“ජය ශ්‍රී ඇමතිතුමාගෙන් පසු මොන ආකාරයේ නිර්මාණවලින් දකින්න පුළුවන්ද?

“අත්තම්මයි මමයි” කියලා හරිම ලස්සන පිටපතක් ලැබුණා. ඒ වගේම දැනට වේදිකාගතවන ‘රාස්සපරාස් – චෞදරී – හංකිති 13, සුබ සහ යස, සුදු සහ කළු යන නිර්මාණවල දර්ශන වාර තියෙනවා.

මේ කාර්ය බහුලකමත් සමඟ කාල කළමනාකරණය කොයි ආකාරයෙන් ද සිද්ධ වෙන්නේ?

මගේ ගෙදර වැඩට කෙනෙක් ඉන්නවා. එයා සියලු කටයුතු බලා ගන්නවා. ඒ වගේම ශ්‍රියන්තගේ ආදරය සහයෝගයත් තියෙනවා. මේ සෑම දෙයක් ම සමඟ ඉතා සැහැල්ලුවෙන් සිටිනවා. විශේෂයෙන් කියන්න ඕන මගේ පුංචි මිනිපිරියගේ සුරතල් නිසා අපි හැමෝම හරිම සතුටින්.

කුසුම් රේණු කියන සුන්දර රංගන ශිල්පිනිය තමන්ගේ ශරීරය හැඩට තබා ගැනීමට විශේෂ උනන්දුවක් දක්වනවා නේද?

අනිවාර්යයෙන්ම. එය එසේ කළ යුතුයි. මම වේදිකා නාට්‍යවල රංගනයේදි, ඇ‍ඟේ හැඩ තල ගැන විශේෂයක් දක්වනවා. හේතුව, නිර්මාණය කරන ඇඳුම් වේදිකා නාට්‍ය අවසන් වෙනතුරු සමාන මිම්මකින් තිබිය යුතුයි. ඒ වගේම කටහඬ. ඒ කැපවීම නිසා සුන්දරව සැහැල්ලුව හැමදාම සිටිනවා.

උපුටාගැනිම – සිළුමිණ

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!