Gossip

සහෝදරයාගේ පිහි පහරයි ඥාතියාගේ ගල් පහරයි….! සෙංකඩගල පුරවරයම ශෝකයෙන් ඇළලුනු කතාව මෙන්න

සැබැවින්ම අහිංසකයකු මරා දැමීම පිළිබඳ සෝචනීය පුවතකින් ඉකුත් සතියේ සෙංකඩගල පුරවරයම ශෝකයෙන් ඇළලී ගොස් තිබිණි.
එක බඩවැල කඩාගෙන ආ සහෝදරයකුගේ පිහි පහරකින් ද ලේ ඥාති සහෝදරයකුගේ ගල්පහරින් හිස පුපුරා යෑමෙන් සිදුවූ අධික ලේ වහනයෙන් ද ජීවිතයෙන් සමුගත්තේ, මහනුවර දංගොල්ල මාලිගාවත්ත පදිංචි ගල්වළේගෙදර ධනුෂ්ක මධුෂංක නැමැති විසිහත් හැවිරිදි තරුණයෙකි.
ඔහුගේ මරණය ට වගකිව යුත්තෝ බොහොමයක් ඇති බව නොකියා බැරිය. සෝචනීය සිදුවීම පිළිබඳ තතු කියවා යද්දී නියපොත්තෙන් කැඩිය හැකි තැනක් තිබූ බව කාටත් වැටෙහෙනු ඇත. දැන් ප‍්‍රමාද වැඩිය. නමුත් යළිත් මෙවැන්නක් සිදු නොවන්නට වගකිව යුත්තෝ වගබලා ගත යුතු බව අගවමි.
ගල්වළේගෙදර ධනුෂ්ක මධුෂංක එක්දහස් නවසිය අනූ එකේ උපත ලැබුවේ ගල්වළේගෙදර ගුණරත්න සහ පේරාගේ පද්මිණි පෙරේරා යුවළගේ තෙවැනි දරුවා ලෙසය.
පිරිමි දරුවන් සය දෙනෙක් සහ බාල ගැහැනු දරුවන් දෙදෙනකු ගෙන් පිරි ගල්වළේගෙදර පවුලේ ශක්තිය වූයේ පියා ය.
පෙදරේරුවකු ලෙස සේවය කළ පියාගේ ආර්ථිකයට ශක්තියක් වන්නට කුළුදුලේ පිරිමි දරුවා වන දේශාන් මධුෂංක සහ තෙවැන්නා වූ ධනුෂ්ක මධුෂංක යුදහමුදාවට එක්වූහ.
දෙවැන්නා දිනේෂ් මධුෂංක විවාහවී ඇඹිලිපිටියේ පදිංචියට ගියේය. බාල දරුකැළ වන චාමර , සඳරුවන් , චතුරංග , හිරුණි , අරුණි නිවසේ විසූහ.
යුදසමයේ දී වැඩිමහල් දේශාන් වෙඩිවැදී මිය ගියේය. ඒ දුටු ධනුෂ්ක මධුෂංක හෙවත් අද කතාවේ කතානායක ජීවිතයට ඇති ආශාව මත හමුදාවෙන් පැන එන්නට තීරණය කළේය.
අධික උස තාප්පයකින් පැන හමුදා සේවයට සමුදෙන්නට උත්සාහ කළද ඔහු තාප්පයෙන් වැටී හිසට බරපතළ තුවාල සහිතව යුදහමුදා රෝහලට ඇතුළත්ව ප‍්‍රතිකාර ලබන්නට සිදුව තිබිණි. කතා කිරීමේ අපහසුතාවක් කලක් පුරා පැවැති බැවින් ඔහුට දිගින් දිගටම වෛද්‍ය ප‍්‍රතිකාර වෙත යොමුවන්නට සිදුව තිබිණි. තවදුරටත් හිසේ ස්නායු සහ වෙනත් ආබාධ සහිත තත්ත් මානසික රෝගි තත්ත්වයකටත් නතුව සිටි බැවින් ධනුෂ්ක මුල්ලේරියාව රෝහලෙන් කාලයක් පුරා ප‍්‍රතිකාර ලැබුවේය.
ධනුෂ්කගේ පදිංචිය මහනුවර බැවින්ද , පේරාදෙණිය රෝහලේ මානසික රෝගි ප‍්‍රතිකාර ඒකකය හෙවත් හයේ වාට්ටුව ඉතා හොඳ තත්ත්වයෙන් ප‍්‍රතිකාර ලබා දෙන බැවින්ද මුල්ලේරියාවෙන් ධනුෂ්ක පේරාදෙණියට මාරු කර එවා තිබුණේ වසර දෙදහස් පහළොවේදීය.
එතැන් පටන් විශාදය රෝගය වෙනුවෙන් වන සියලූ ප‍්‍රතිකාර ධනුෂ්ක වෙනුවෙන් ලැබුණු අතර , ඔහු වරින් වර නේවාසිකවද ප‍්‍රතිකාර ලැබුවේය. මෙම වසරේ ධනුෂ්ක පේරාදෙණිය රෝහලට ඇතුළත් වූයේ , ඉකුත් නොවැම්බර් විසිනවවැනිදාය. නේවාසික ප‍්‍රතිකාරවලින් යම්තාක් ගුණයක් ලද ඔහු ගේ එකම අභිප‍්‍රාය වී තිබුණේ යළි නිවස බලා යෑමය.
ධනුෂ්ක මධුෂාන් හිත හොද තරුණයෙකි. ඔහු නිතරම සිනහා මුසු මුහුණින් කතාබස් කරන්නේය.
ඔහුගේ එකම ආශාව අන්අයට උදව් කිරීමය. මෙය ලියන මා ධනුෂ්ක හඳුනන්නේ මහනුවර දළදා මාලිගයේ සපත්තු ආරක්‍ෂිත කවුළුවේ සේවය කළ නිසාය.
ඔහු හඳුනන නොහඳුනන කාටත් එක සමානව උදව් කරන්නේ තමන්ගේ ඥාතියකු සේ සලකාය. ඔහුගේ සිත සැනින් අන්අයගේ දුකේදී සලිත වන බව මම අත්දැකිමෙන් දන්නෙමි. ඔහු රෝගියකු බව කිසිවිටෙකත් පිටතට නොපෙනෙයි. මේ මනුසත් ගුණ ඇත්තා මෙපමණ කෙටි කලකින් මෙලොව හැර දමා ගියේ , සමාජයේ ඇති කුහක බව නිසාත් , ඔහුගේ ජීවිතයේ වටිනාකම අනික් උදවිය තේරුම් නොගත් නිසාත් බව යළි යළිත් කියමි.
ධනුෂ්ක නේවාසික ප‍්‍රතිකාර ලබනු දැක බලන්නට නිවැසියන් වරින් වර පැමිණි අතර අවසන් වරට දෙසැම්බර් නව වැනිදා රෝහලට පැමිණ තිබුණේ, සිය මල්ලී වන චාමර සහ රවීන්ද්‍ර ප‍්‍රසාද් යන ඥාති සොහොයුරාය. වාට්ටුවේදී ද යම් බහින්බස් වීමක් සිදුව තිබූ අතර ඉන් ධනුෂ්ක කෝපයට පත්ව තිබූ සෙයකින් හැසිරුණු බව සැලය. නිවැසියන් පිටව ගිය පසුව ධනුෂ්ක හයේ වාට්ටුවෙන් පැන ගොස් තිබුණේ, ආරක්‍ෂක නිලධාරීන්ද සිටියදීය.
”අපේ රෝහලේ ආරක්‍ෂක නිලධාරීන් යොදවා රෝගීන්ට ආරක්‍ෂාව සලසලා තිබෙනවා. මානසික රෝගීන් කියන්නේ ඉතාම ශක්තිවන්ත අය. මේකියන රෝගියාත් සිරුරෙන් ශක්තිමත් පුද්ගලයෙක්. ඔහු විශාදය රෝගයකින් පෙළී සිට තිබෙනවා. බාහිර ක‍්‍රියාකාරකම් සිදු කරන තැන සිටි මේ රෝගියා ආවේගයෙන් පැන ගිහින් තිබෙනවා. අපි එසැනින් ඒ බව රෝහල් පොලිසියටත් මහනුවර පොලිසියටත් දැනුම් දීලා තිබෙනවා”. පේරාදෙණිය රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය අර්ජුන තිලකරත්න මහතා කියා සිටියේය.
ධනුෂ්කගේ පියා වන ගල්වළේගෙදර ගුණරත්න කියා සිටියේ මෙවැන්නකි.
”මගේ පුතා නවවැනිදා ගෙදර ආවේ නොහිතපු වෙලාවක. එයා පරෙවියෝ දෙන්නෙක් අල්ලගෙන ආවා. මායි නෝනයි දුවලා දෙන්නයි මැටල් ගොඩක් ඇද ඇද හිටියේ. පුතා ඇවිත් පරෙයියෝ දාන්න කූඩුවක් හදන්න පටන් ගත්තා. ටික වෙලාවකින් එයාගේ හොඳම යාළුවා ජීවන්ත සුමේධ එක්ක ත‍්‍රීවිලරයෙන් ආවා. ඇවිත් පුතාට ගමනක් යන්න කතා කළා. පුතා බෑම කිව්වා. හදිසියක් යමංකෝ කියා ඇවිටිලි කළ නිසා පුතා අකමැත්තෙන්ම වගේ ගියා. අපි හිතුවා ආපහු ඉස්පිරිතාලෙට එක්ක යනවා කියලා. දවල් වෙලා දැන ගන්න ලැබුණා පුතා ත‍්‍රීවිල් එකෙන් පැන්නා කියලා. තවත් ටික වෙලාවකින් පණිවිඩයක් ආවා පුතාව වත්තක මරලා දාලා ඉන්නවා කියලා. මේ වෙලාවේ මගේ අනිත් පුතා චාමර ගෙදර හිටියෙත් නෑ.
චාමරයි රවීන්ද්‍රයි වත්තේ හිටපු තැනට අපි ගියා. යද්දි පුතා ඉන්නවා දැක්කේ නැහැ. ජීවන්තයි සුමේධයි වත්තේ හිටියා. අපි ධනුෂ්ක හොයන කොට වත්තේ පහළ කොටසේ ගල ළඟිනුත් පහළ පුතා වැටිලා ඉන්නවා. මේ අපරාදෙ කළේ කවුද කියා මා කෑගැහුවා. චාමරගෙයි රවීන්ද්‍රගෙයි ඇගේ ලේ ගෑවිලා තිබුණා. මේ දරුවෝ මේ හැටි දරුණු වුණේ ඇයි කියන්න මං දන්නේ නැහැ. මගේ අසරණ කොල්ලා අද මට නැති වෙලා. ඒ ළමයා ගෙදර ඉන්න හරිම කැමතියි. මානසික ලෙඬේ හැඳුනාට පස්සේ තනිවම කියවනවා. එක විතරයි වෙනස. අපිට හරි ම ආදරය කරපු දරුවෙක්…”
මහනුවර පොලිසියේ මූලික පරීක්‍ෂණවලින් අනතුරුව සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්‍ෂණ පේරාදෙණිය පොලිසියේ ස්ථානාධිපති පො.ප මහින්ද කල්දේරා මහතා වෙත පැවරී තිබිණි. මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්.එම්. වික‍්‍රමසිංහ , නියෝජ්‍ය පොලිස්පති ජේ. එල්. රණවීර, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සිසිර කුමාර පොලිස් අධිකාරි විජිත අල්විස් යන නිලධාරීන්ගේ මෙහෙයවීමෙන් පේරාදෙණිය පොලිස් ස්ථානාධිපතිවරයාගේ අධීක්‍ෂණයෙන් පවත්වන ලද වැඩිදුර පරීක්‍ෂණ සඳහා ආර්. කේ. කපුකොටුව උ.පො.ප ජයසේකර උ.පො.ප. ලහිරු පො.සැ. (33161) බෝමුල්ල පො.සැ. (49301) ජයශාන්ත යන පොලිස් නිලධාරීන්ද සහාය දැක්වූහ. එම පරීක්‍ෂණවලින් අනතුරුව ධනුෂ්කගේ හොඳම මිතුරා වන ජීවන්තත් බාල සහෝදරයා වන චාමරත් ඇතුළු සිව් දෙනකු අත් අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පොලිසිය කටයුතු කර තිබිණි. අතිරේක මහෙස්ත‍්‍රාත් යුරේෂා ද සිල්වා මහත්මිය විසින් සැකකරුවන් විසිවැනි දින තෙක් රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළාය.
මරණයට සැලසුම් කිරීම ආධාර අනුබල දීම මරණයට පත්කිරීම ඇතුළු චෝදනා රැසක් අභිමුව සැකකරුවන් හිරබත් කද්දී ධනුෂ්ක මේ පීඩිත සමාජයෙන් අකාලයේ තුරන්ව ජීවිත ගමනින් නිදහස ලබා සිදුවන්නේ කුමක් දැයි බලා සිටිනු ඇත.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!