Gossip

අසරණ මිනිස්සුන්ව කබලෙන් ලිපට වට්ටන ඩේලි කලෙක්ෂන් ජාවාරම

සමහර මිනිස්සු බෙහෙත් ටික ගන්න බැරිව එදා වේල හරිහම්බ කරගන්න විදිහක් නැතිව අන්ත අසරණව ජීවිතේ ගෙනියනවා.
සමහර වෙලාවට අතේ කරේ තියෙන තියෙන රත්තරන් බඩු උකස් කරලා දරුවට කිරි ටික දෙනවා.
තමන් සමහරු දරුවන්ව ඉස්කෝලේ යවන්න බෙහෙත් ටික ගන්න සල්ලි ඕන කමට තමන් ළඟ තියෙන දේ හරි විකුණනවා.
එහෙම මිනිස්සුන්ට තාවකාලික සහනයක් දීලා ගිනි ගොඩකට ඇදදාන ගමේ ගොඩේ ජයටම කරගෙන යන වැඩක් තමයි ඩේලි කලෙක්ෂන් කියන්නේ.
රුපියල් පන්දාහක් දීලා දවස් හැට පහක කාලයක් දෙනවා දවසට රුපියල් 100 ගාණේ ගෙවන්න කියලා.
අද මේ සූරගෙන කන පොලී ජාවාරම නිසා පවුල් දහස් ගණනක් විනාශ වෙලා තියෙනවා. පාරට වැටිච්ච මිනිස්සු ජීවිත පවා නැතිකරගත්තු මිනිස්සු ගම්වල ඉන්නවා.
මහ බැංකුවේ ලියාපදිංචි කරලා කියලා බොරු කාඩ් එකක් හදාගෙන අත්සන් කරලා කරන මේ ජාවාරම් ගැන හොයලා යම් නීතිමය ක්‍රමයක් මේවාට හදන්න තවමත් කිසිම කෙනෙක් ඉදිරිපත් වෙලා නෑ.
කරකියාගන්න දෙයක් මනුස්සයෙකුට නැතිවුණාම, ගිලෙන්න යන මිනිහා තුත්තිරි ගහෙත් එල්ලෙනවා වගේ එවෙලෙට මේ ඩේලි කාරයාගේ පිහිට පතන්න අද හුගක් අය පුරුදු වෙලා.
හැබැයි ගත්තු දවසේ ඉදලා ඒ මිනිහගෙන් ගැලවීමක් ලැබෙන්නේ නෑ.
සමහර වෙලාවට ලෙඩක් දුකක් හැදුනොත් එදා වේල හොයාගන්න මිනිහට මේ ඩේලි ගත්ත සල්ලි දීගන්න වෙන්නේ නෑ..
ඒ වගේම තමයි සල්ලි එකතු කරන්න දවස ගානේ එන පුද්ගලයා ඩේලි ගත්තු මනුස්සයාගේ බිරිඳව එහෙම නැත්නම් දියණියව තමන්ගේ ඕනෑ එපාකම් පිරිමසා ගන්නා තැනට පත් කරගන්න ඔවුන් මාන බලනවා.
ඒ මානසික පීඩන නිසා පවුල් ප්‍රශ්න, ආරවුල් කොපමණනම් ගම් තුල ඇතිවෙනවද..?
මේවා නිසියාකාරව සොයා බැලීමට පියවර ගන්නේ කොහොමද..?
ඇතැම් විට යම් මුදලක් ගෙවීමට අතපසුවුවහොත් මෙම මුදල් ලබාදුන් පුද්ගලයා පොලිසියේ හිතවත්කම් සොදාගෙන බියවැද්දීම්ද හරි අපූරුවට සිදුවෙනවා.
යම් මුදල් ප්‍රශ්නයක ඉන්න කෙනෙකුට ඒ අවස්ථාවට මේ ඩේලි කලෙක්ෂන් ක්‍රමයෙන් මුදල් ලබාගැනීම සහනයක් වුවත් එය තමාගේම ගෙල තමා විසින්ම සිරකරගැනීමක් හා සමාන දෙයක්.
මහබැංකුව සහ රජයේ වගකිව යුතු නිලධාරීන් මේවා ගැන සොයා බලා මිනිසුන්ගේ ශ්‍රමය පවා සූරා කන ජීවිත වනසන මුදල් ජාවාරම් ගැන සොයා බලා ඒවාට වැට බැදීමටත් යම් නීති පැනවීමටත් කටයුතු කරන ලෙස අපි සිහිපත් කරමි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!