Gossip

“අවුරුදු 4 දී උණට දීලා තියෙන්නේ අවුරුදු 40ක වැඩිහිටියකුගේ බෙහෙත්.” – ඇස් වහලා කිසිවකුට වංචාවක් කරන්න බැරි ඇස් නොපෙනෙන ඩිරෙක්ටර් මහත්තයා – Photos

පැමිණියේ නිෂ්ඵල ගමනක් දැයි කිහිප විටක් සිතුණේ හමු වීමට පැමිණි කෙනා විනාඩි ගණනක් ප්‍රමාද වන විටය.
බොහෝ විට රජයේ කාර්යාල කාර්යබහුල වන්නේ බදාදා දිනවලය. එහෙත් මේ කාර්යාලයේ එදිනත් කලබලකාරි බවක් පවතින බව ඒ අඟහරුවාදා උදෑසන අපට පෙනිණි.
සර් පොඩි මීටින් එකක. ටිකක් වෙලා ඉන්න වෙයි.” කාර්යාලයේ කෙනෙක් පැමිණ අපට කීය.
හමු වෙන්න ආව කෙනා ඔයා අඳුරනවාද?” ඡායාරූප ශිල්පියා අසයි.
නැහැ
දැන් මෙතැනින් ඇතුළට ගියේ ඒ මහත්තයා තමයි. අර එක්කෙනෙක් අල්ලගෙන ගියේ” ඔහු වැඩිදුරටත් කියයි.
කාලය ගෙවිණි. මඳ වේලාවකට පසු අපට කතා කළේ එම රාජ්‍ය ආයතනයේ සභාපතිවරයාය.
ඔයගොල්ලන් නිහඬව ඉන්න. බලන්නකෝ එයාගේ ප්‍රතිචාරය.
දැන් අප සිටින්නේ සභාපතිවරයාගේ මේසය ඉදිරියේය. අප හමු වන්නට පැමිණි මහත්මයා අනෙක් පස කෙළවරේය. බැලූ බැල්මට පෙනෙන්නේ ඔහු දිගු කල්පනාවක බවය.
උදයසිරි මහත්තයා අපේ ආයතනයට අයත් බංගලාව තියෙන හරිය කොහොමද? සභාපතිවරයා අසයි. ප්‍රශ්නය අසා තත්පර ගණනක් ගියේ නැත.
එතැන හොඳයි. ඒ පරිසරය බොහෝම ලස්සනයි. එතැන ෆොරස්ට් එකට අයිති ඉඩමක් තියෙනවා. අපි ඔය තැනට එන්න ඕන දිය ඇලි පසු කරගෙන.උදයසිරි මහතා තවත් බොහෝ තොරතුරු පවසයි.
අපි ඔහු දෙස බලාසිටියේ පුදුමයෙනි. දෑස් නොපෙනෙන ඔහු මෙතරම් විස්තරයක් කියන්නේ කෙසේද?
ඊටත් වඩා ඔහු නීතිය ගැන කතා කරන්නේ කෙසේද? උසාවියේ නඩුවලට පෙනී සිටින්නේ කොහොමද? ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම වැනි වගකිව යුතු ආයතනයක නිතී අධ්‍යක්ෂ ලෙස කටයුතු කරන්නේ කෙලෙසද? හිත මතු වූයේ දහසකුත් එකක් ප්‍රශ්නය. මේ අපූරු මිනිසා හමුවේ ඒ ප්‍රශ්න සියල්ලටම පිළිතුරු ලබාගත යුතුව ඇත.
මට තියෙන එකම පුදුමය මෙපමණයි. මේ තරම් හොඳට හැම දෙයක්ම විස්තර කරන්න ඔහු කොහොමද ලෝකය දකින්නේ කියන එකයි. ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමේ සභාපති නිතිඥ සිරිමෙවන් ඩයස් මහතා පැවැසුවේ උදයසිරි මහතා නැති තැනකදිය.

පෙනීම නැති වීම

අසන කාටත් පුදුම හිතෙන චරිතයක් වන නිතිඥ උදයසිරි රාජපක්ෂ මහතා බාල වියේදී අභාග්‍යසම්පන්න සිද්ධියකට මුහුණ දුන්නේය.
එතකොට මට අවුරුදු හතරක් විතර ඇති. මගේ අම්මාගේ නංගි එක්ක මම විනෝද චාරිකාවක ගියා. ඇයට මම කිව්වේ ඉස්කෝලේ පුංචි කියලා.
ඒ ඇය පාසල් ගුරුවරියක් නිසා. කොහොම වුණත් මේ ගමන ගිහින් ආවට පස්සේ මට උණ හැදුණා. බෙහෙත් ගන්න ගියාම දොස්තරට මගේ වයස අවුරුදු හතරයි කියලා කිව්වාලු. නමුත් දොස්තර කොළේ ලියලා තියෙන්නේ හතළිහයි කියලා. අවුරුදු හතලිහ වයසේ කෙනෙකුට දෙන බෙහෙත් තමයි මට දීලා තියෙන්නේ. බෙහෙත්වල මාත්‍රාව වැඩිවෙලා ටික ටික මගේ පෙනීම අඩු වුණා. මම තාත්තාගෙන් හැන්දෑවක ඇහුවා ඇයි මේ කළුවර කියලා. තාත්තා ඒක එච්චර ගණන් ගත්තේ නැහැ.
ආච්චි කිව්වා ඇයි පුතේ එහෙම කියන්නේ දැන් මේ හොඳට එළිය තියෙනවානේ කියලා. මගේ පෙනීම නැහැ කියලා දැනගත්තාට පස්සේ ගෙදර අය මට ප්‍රතිකාර කරන්න නොගිය තැනක් නැහැ. අවුරුදු විසිපහ වන තුරුම බෙහෙත් කළා. දැනුත් ගෙදර අය නම් උනන්දු වෙනවා බෙහෙත් කරන්න.
ඒත් මගේ උනන්දුවක් දැන් ඒ ගැන නැහැ. මට මතකයි මාස එකහාමාරක් විතර ඇස් රෝහලේ නතර වෙලා හිටියා. අක්ෂි විශේෂඥ වෛද්‍ය රත්නවේල් මහතා තමයි මාව පරික්ෂා කළේ. කාලෙකට පෙර වියානාවල ඉඳලා අක්ෂි වෛද්‍යවරුන් කණ්ඩායමක් අපේ රටට නැවකින් ආවා. මාව එතැනටත් එක්ක ගෙන ගියා. එත් පලක් වුණේ නැහැ”
ළමා වියේම ඇස් පෙනීම නැතිව ගියද ඔහු කිසිවිටෙකත් ජීවිතයේ පසු නොබැස්සේය. පුංචි උදයසිරිගේ ලෝකය එළිය කරන්නට බොහෝ දෙනෙක් ඔහු වටා වුහ. ඒ අතර අත්තම්මා පුංචි අම්මලා, මාමා හා ලොකු අම්මා වුහ.
අපේ අම්මාගේ මහ ගෙදර තිබුණේ මදුරාවල. මගේ තාත්තා පොලිසීයේ වැඩ කළේ. ඔහු ආර්. එම්. බී. ජයවර්ධන. අම්මා ලීලා ජයවර්ධන. නංගිලා දෙන්නයි මල්ලිලා දෙන්නයි මමයි තමයි පවුලේ ඉන්නේ. මුලින් නම් මාව ඉස්කොලෙන් ගන්න කැමති වෙලා නැහැ. මගෙ නැන්දා හොරණ ශ්‍රිපාලි විද්‍යාලයේ ඉගැන්නුවේ. මම ඉගෙන ගත්තේ ඒ ඉස්කෝලේ. ඇස් පෙනෙන ළමයි එක්ක මම ඉගෙන ගත්තේ. පුංචි අම්මලා මට පොත් කියවනවා.
සැබෑ මිනිසෙකුගේ කතාව, ගැඹුරු මුහුද, ඩොල්ෆින් දිවයින පොත් පුංචි අම්මා මට ඇහෙන්න කියවනවා.
මම ඒ පොත් වින්දා. ඒ පොත්වල තියෙන පරිසරය මගේ හිතේ මැවුණා. ඒ වගේම තමයි පවුලේ අය මාව විනෝද ගමන් වන්දනා ගමන් එක්ක ගෙන ගියා. මම බොහෝ සඳකඬපහණ ගැන දන්නවා. මම ඒවා ගැන ඉගෙන ගත්තේ ඒ සඳකඬපහණ අතගාලා බලලා. සාමාන්‍ය පෙළ විභාගය සමත් වුණාට පස්සේ මම ඉංග්‍රීසි සාහිත්‍යය, ආර්ථික විද්‍යාව, තර්කශාස්ත්‍රය, සිංහල ආදි විෂයවලින් උසස් පෙළ විභාගයට පෙනී සිටියා. උසස් පෙළ සමත් වී මම කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයට ඇතුළත් වුණා.
දෑස නොපෙනන ඔහු එතරම් දුරක් පැමිණියේ කොහොමද? මට ඇති වන ප්‍රශ්නයම ඔබටත් ඇති විමට පුළුවන. බ්‍රේල් ක්‍රමය ද ඔහු ඉගෙන ගත්තද උදයසිරි උසස් පෙළ විභාගයට පෙනී සිටින්නේ එදිනෙදා දෙන පාඩම් එදිනම නැවත නැවත මෙනෙහි කර පාඩම් කිරිමෙන්ය.
මම කවදාවත් පාඩම් වැඩ හෙටට කල් දැම්මේ නෑ. මම හැම දෙයක්ම මතකයේ රඳවා ගන්නවා.
ඒ මතකයත් එක්ක තමයි අධ්‍යාපන කටයුතුවලදී බොහෝ දුරක් එන්න පුළුවන් වුණේ. මම කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පිඨයට ඇතුළත් වුණේ 1986දී . නමුත් ඒ කාලේ රටේ තිබුණ තත්ත්වයත් එක්ක අපට විශ්වවිද්‍යාලයෙන් පිට වෙන්න ලැබුණේ 1993 අවුරුද්දේ. විශ්වවිද්‍යාලයෙන් අයින් වුණාට පස්සේ මම උපාලි සේනාරත්න නිතීඥ මහත්මයා ළඟ කෙටි කලක් පුහුණු වුණා.”

වෘත්තිය නීතිඥයකු වීම
ඒ අතරතුර උදයසිරි මහතා නඩු සඳහා පෙනී සිටීමට උසාවිද ගියේය. ඔහු ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමට බැඳෙන්නේ එක්දහස් නවසිය අනූ අට වසරේදීය.
මම ඒ සඳහා ඉදිරිපත් වුණා. නමුත් මට වඩා අඩු සුදුසුකම් තිබුණ කෙනෙක් මේ තනතුරට එන්න හැදුවේ. මුලින්ම මට මේ තනතුර දෙන්න කැමති වුණේ නැහැ.
ඒ මගේ ඇස් නොපෙනෙන නිසා. මට පොඩි නඩුවකටත් යන්න වුණා. (ඔහු පවසන්නේ හිනැහෙමිනි) නමුත් ඒ කාලේ මේ ආයතනයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ තාබුගල මහතා කිව්වා මේ තනතුර දෙන්න සුදුසුම කෙනා මම කියලා. ඔහු එය සැවොම ඉදිරියේ පැවැසුවා. ඒ වගේම ඒ මහත්මයා මාව විශ්වාස කළා. කෙසේ හෝ එදා සිට අද දක්වා අවුරුදු විසි ගණනක් මම මේ ආයතනයේ නීති අධ්‍යක්ෂ ලෙස කටයුතු කරනවා.
ඔහු කාර්යබහුල චරිතයකි. ඉඩම් පැවරීම, ඔප්පු ලබාදීම ඇතුළු බොහෝ කටයුතු එහි සිදු වේ.
ඒ සියලු කටයුතුවල නීතිමය වගකීම ඇත්තේ ඔහුටය. ඒ සඳහා ඔහුට සිය කාර්ය මණ්ඩලයෙන් උපරිම සහයෝගයක් ලැබේ. කාන්ති මිස් ඔහුගේ වෘත්තීය කටයුතුවලට නොමඳ සහායක් ලබා දෙයි.
මම සර්ට ලියුම කියවනවා. ඒ ලියුමේ තියෙන එක අකුරක් ඉලක්කමක් නෑර කියවනවා. සර් එය හොඳින් අහගෙන ඉන්නවා.
නොතේරෙන තැනක් තිබුණොත් නැවත කියවනවා. අපේ සර්ට පුදුම මතක ශක්තියක් තියෙන්නේ. සමහර වේලාවට අපිට මතක නැහැ සමහර ලියුම් දාපු ෆයිල් ගැන. ඒ වේලාවට අපි ඇවිල්ලා අහන්නේ සර්ගෙන්. සර් කියනවා අහවල් ෆයිල් එකේ අහවල් දිනයට අහවල් පිටුවේ ඔය කියන එක ඇති කියලා.
අපි හොයලා බලනකොට ඇත්තටම එහෙම තියෙනවා. චාන්දනි මිසුත් සර්ට ලියුම් කියවනවා. අපේ මුළු කාර්ය මණ්ඩලයම සර්ට හරි ආදරෙයි. ඔහු එහෙට මෙහෙට එක්ක ගෙන යන්නේ අපි. දරුවෙක් බලනවා වගේ අපි අපේ සර්ව බලාගන්නවා.
වසර ගණනාවක් තිස්සේ ආයතනයේ සේවය කරන කළමනාකාර සහකාරිනි කාන්ති ස්වර්ණලතා කියයි.
ඔහුට කාගේ හෝ උදව් අවශ්‍යය. කාර්යාලයේදී දිවා උදෑසන ආහාර ගන්නා විට කාර්යාලයේ කවුරුන් හෝ ඔහුගේ මේසය මත සියල්ල පිළිවෙළකට තබයි.
මේ සියල්ල කිරීම ඔහුගේ කාර්යාලයේ කිසිවෙකු කරදරයක් ලෙස නොසිතයි. ඔහු සියල්ලන් සමඟ සිටින්නේ බොහෝ සතුටිනි.
ඔහු කරන්නේ වගකිවයුතු රස්සාවකි. දෑස් නොපෙනෙන ඔහුට කවුරුන් හෝ වංචා නොකර සිටී ද?
කාටවත් එහෙම කරන්න බැහැ. මේවා හැම තැනකම ලියැවෙනවා. ඒ මොනවා වුණත් මම කවදාවත් මා එක්ක ඉන්න අයව අවිශ්වාස කරන්නේ නැහැ.
මම ඔවුන්ව හොඳටම විශ්වාස කරනවා. මේ වන තුරු කවුරුවත් එහෙම වංචා කරලා නැහැ.” උදයසිරි මහතා තමන් හා සහයෝගයෙන් වැඩ කරන කාර්ය මණ්ඩලය පිළිබඳ පවසන්නේ බොහෝ විශ්වාසයෙනි.
වේලාවකට අපිට පුදුමත් හිතෙනවා. වෙනත් නීතිඥ මහත්තුරු කොළ බල බලා කතා කරද්දි සර් මතකයෙන් තමයි කතා කරන්නේ.
ඔහු පනත් ගැන වගන්ති ගැන කටපාඩමින් කියනවා. ඒක හරි පුදුමයි.! කාර්යාලයේ කෙනෙක් පැවැසුවේය.

දෑස් නොපෙනීම දැන් ඔහුට සාමාන්‍ය දෙයකි. ඔහු ඒ ජීවිතයට හුරුවුයේ බාල වියේදීමය. එහෙත් ඔහු තම ජීවිතයම අඳුරු කර නොගත්තේය.
මගේ මාමා වැඩ කළේ මහ බැංකුවේ. ඔහු එච්. ඩබ්ලිව් ගුණසේකර. මාමා බැංකුවේ රිපෝර්ට් මුලින්ම ලියෙව්වේ මම ලව්වා. මාමා කියනවා පුතේ මේක ඔයාට ලියන්න පුළුවන් කියලා. ඔහු තමයි මට මා ගැනම විශ්වාසයක් ඇති කළේ. මගේ එක් පුංචි අම්මා කෙනෙක් සිංහල ගුරුවරියක්. ආච්චි අම්මා බොහෝම ආදරයෙන් මා බලා ගත්තා.
මගේ අම්මාට දැන් අවුරුදු අසූ ගණනක්. එත් අම්මා තවමත් මා එන තුරු මඟ බලාගෙන ඉන්නවා. නංගියි අම්මයි මා එක්ක ඉන්නවා. අනෙක් සහෝදරයන් නෑයන් මා ගැන බලනවා. ”
ඔහු පවසන්නේ බොහෝ ළෙන්ගතු හඬිනි. සැමගේ ආදරය ලබමින් දවස ගෙවන ඔහුට දැන් ජීවිතයේ දුකක් නැති තරම්ය.

“එදා විශ්වවිද්‍යාලයේ මා සමඟ ඉගෙනගත් අය අද බොහෝම ඉහළ තැන්වල. ඔවුන්ට තවමත් මා ගැන මතකයි. ඩොක්ටර් ක්‍රිශාන්ති පින්තු ජයවර්ධන, චුලනි කොඩිකාර, ඩොක්ටර් ශ්‍යාමලි ගෝමස්, ජයන්ත ධනපාල වගේ අය තවමත් ඉඳහිට කතා කරනවා. ඒ දවස්වල මට ගෙදරින් යෝජනා කිහිපයක්ම ගෙනාවා විවාහ වෙන්න කියලා. නමුත් මට කැමැත්තක් තිබුණේ නැහැ ඒ ගැන. මට ජීවිතේ දුකක් නැහැ. සැහැල්ලුවෙන් ඉන්නවා.”

සැමගේ ආදරය ලැබීම
උදයසිරි අපූරු පුද්ගලයෙකි. කවිය, ගීතය. නවකතාව ගැන විඳීමක් ඇත.
අපේ උත්සවවලදී සර් ලස්සනට ගීත ගයනවා. දවසක් වාහනයේ රියැදුරා මාරුවෙලා. එයා සර්ගේ ගෙදර තියෙන පාර දන්නේ නැතිලූ.
සර් තමයි ගෙදරට යන පාර කියලා තියෙන්නේ. ඒ මනුස්සයා පුදුම වෙලා. සර් දෑස හොඳට පෙනෙන කෙනෙක් වගේ රියැදුරට මඟ ලකුණු ඔක්කෝම කියනවාලු. ඒ වගේම තමයි නඩුවක් ගැන, ලෝකයේ තොරතුරක් ගැන ඇහුවත් සර් කියන්නේ.” ප්‍රදීප් කියන විට උදයසිරි මහතා අසා සිටින්නේ හිනැහෙමිනි. අප යමක් ඇසූ විට ඔහු සෙමෙන් මේසයට තට්ටු කරයි. මොහොතක් නිහඬව සිටින ඔහු ඉන්පසු චතුරව එයට පිළිතුරු දෙයි. ඒ ඔහුගේ පුරුද්දුය. ඔහුගේ කතා අසා සිටින විට සැබැවින්ම ඔහුට දෑස් පෙනෙන්නේදැයි යන සැකය සිත මතු වෙයි.

මම ගමනක් යන විට ඒ යන අයත් සමඟ කතා කරනවා. මඟ ලකුණු අහනවා. මඟ දිගට විස්තර අහනවා.
මේ හැම දේම මගේ මනසේ තැන්පත් වෙලා තියෙනවා. කාලයක් ගියත් මට මතකයි. හැම දේම. කෙනෙක් ඉඩමක් ගැන තොරතුරු කියන විට මම ඒ ගැන හොඳින් අහ ගන්නවා. බැරිම වුණොත් ඇඳ ගන්නවා. අත්දැකිම් එක්ක මතකයත් එක්ක තමයි මම හැම දේම දකින්නේ. මම කිසිම දවසක කිසිම කෙනෙකු අවිශ්වාස කරන්නේ නැහැ.ෙ
ඔහුගේ ජීවිතයේ මහා බලාපොරොත්තු නැත. නමුදු ඔහු දැනුමින් පොහොසත්ය. අප දන්නා තරමින් දෘශ්‍යාබාධිත නීතිඥයකු ලෙස රාජ්‍ය ආයතනයක වගකිවයුතු නිලයක් දරන එකම පුද්ගලයා ඔහු වනු ඇත.

උපුටා ගැනීම – සිළුමිණ පුවත්පත

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!