Gossip

අවුරුද්දට වැඩ කරන්නේ දින 30යි – පඩිය කෝටි 15 යි – සිරිසේන කනස්සල්ලෙන්

රජයේ සේවය තරම් විපක්ෂයේ හා ජනතාවගේ විවේචනයට ලක්වන වෙනත් අංශයක් ශ්‍රී ලංකාවේ තිබේදැයි යන්න සැක සහිතය. රජයේ සේවකයන්ගේ මන්දගාමී බව, සුළු වැඩක් කිරීමටත් අල්ලසක් ඉල්ලා සිටීම, කැන්ටිමට වී අයිස් ගැසීම, අතිකාල බලා‍පොරොත්තුවෙන් වුවමනාවෙන්ම හෙමින් වැඩ කිරීම යන චෝදනා රජයේ විවිධ දෙපාර්තමේන්තුවලට එල්ල වෙයි. මේ අතර හෘදය සාක්ෂියට අනුව තමන්ගේ දවසේ නියමිත වැඩ කොටස අකුරට කරන ලක්ෂ ගණන් රජයේ සේවකයන් සිටින බවද අප අමතක නොකළ යුතුය. නමුත් උදේ 9 ට කන්තෝරුවට පැමිණ හවස පහ වනතුරු කැන්ටිමේ තේ බිබි නැතිනම් දවසේ පත්තරය කියවමින් හෝ ජංගම දුරකථනයෙන් යූ ටියුබ් බලමින් ඉතා අඩුවෙන් රාජකාරි කරන අයිස්කාරයින් අපේ රජයේ කන්තෝරුවල දහස් ගණනින් සිටින බව කවුරුත් දනිති.

අනුරාධපුර තිස්සමහාරාමය වැනි ඈත පළාතක සිට අසරණ පුද්ගලයකු කොළඹ හැඳුනුම්පත් කාර්යාලයට, මෝටර් රථවාහන කාර්යාලයට වැඩක් කරගන්නට එන්නේ පැය හතර පහකින් ආපු වැඩේ කරගෙන ආපසු යන්නටය. නමුත් දුප්පත් මිනිසකුට අවශ්‍ය දෙය කාර්යක්ෂමව ආචාරශීලීව ඉටු කරදීමට උනන්දුවක් උවමනාවක් ඇත්තේ රජයේ සේවකයින් කීයෙන් කී දෙනාටද?

අසරණයකු පුළුවන් තරම් රස්තියාදු කොට ඔහු වැඩේ ඉටු නොකර ගෙදර යැවීමෙන් කෲර රස වින්දනයක් ලබන රජයේ සේවකයන් නිසා මුළු රාජ්‍ය සේවා පද්ධතියම අපකීර්තියට පත්වේ.

අර මේසයට යන්න ඊළඟ කාමරේ අර මහත්තයා ගාවට යන්න කියා අසරණයා මුළු දවසම රස්තියාදු කරන ඔවුන් ඊළඟට කියන්නේ කෝ ග්‍රාමසේවක මහත්තයා අත්සන් කරලා තියෙන්නේ ඉරට යටින්නේ. ආයිත් ගමට ගිහින් ඉරට උඩින් අත්සන ගස්සා ගෙන එන්න කියාය.

කෑම පැය තව පැය දෙකක් දික්කරගනිමින් කැන්ටිමට වී යහපාලනයද මහින්ද චින්තනයද වැඩිය හොඳ කියමින් සගයන් සමග විවාද කරමින් විනෝද වන මේ කන්තෝරුකාරයින්ට තමන්ගෙන් වැඩක් කරගැනීමට උදේ පටන් ‍පෝලිමේ සිටින අහිංසකයින් පෙනෙන්නේ මාර කරදරකාරයින් රැසක් හැටියටය.

මේ අසරණයින්ට තමන්ගේ අවශ්‍යතා ඉටුකරවා ගැනීමට කන්තෝරුව ඉස්සරහා කැරකෙන තරැව්කාරයින්ගේ පිහිට පැතීමට සිදුවෙයි. කොළඹ පාස්‍පෝට් කාර්යාලයෙන් හා රථවාහන දෙපාර්තමේන්තුවෙන් ඉක්මනට යමක් කරගැනීමට මේ තැරැව්කාරයින් ලවා සමහර නිලධාරීන් අල්ලස් ලබා ගන්නා ආකාරය කලකට පෙර රූපවාහිනී සේවයකින් රහසේ පටිගත කොට තිබුණා මට මතකය.

ශ්‍රී ලංකාවේ සමහර රජයේ දෙපාර්තමේන්තු අද දූෂිත අකාර්යක්ෂම ආයතන බවට පත්ව තිබෙන්නේ කන්තෝරුවල ලොක්කන් සුළු සේවකයන් පාලනය කිරීමට බය නිසා යැයි තවත් පුවත්පතක් සඳහන් කර තිබුණි. මෙයට තවත් හේතුවක් වන්නේ රජයේ නිලධාරීන්ගේ කාර්යක්ෂමතා මැනීම සඳහා නිසි ක්‍රමවේදයක් රජය මගින් හඳුන්වා දී නැති නිසාය.

නමුත් යුරෝපා රටවල රජයේ සේවකයින්ට අයිස් ගහන්නට ඉඩ නොලැබෙන්නේ ඔවුන් දවසකදී සතියකදී කළයුතු වැඩ ප්‍රමාණය ඔවුන්ගේ කළමනාකරුවන් මනාව පාලනය කරන නිසාය. ලිපිකරු සුද්දෙකුට තමාට දවසක පාරිභෝගිකයන් කීදෙනෙකුට උත්තර ලිපි යැවිය යුතුද සංඛ්‍යා‍ලේඛන කොපමණ ගණනක් සතියකට ඉදිරිපත් කළ යුතුද Projects කීයක් ඉවර කළ යුතුද යන්න පිළිබඳ නියෝග ඔවුන්ගේ ලොක්කාගෙන් ලැබේ. වැඩ කිරීමේදී මතුවන ගැටලු ගැන ලොක්කා සමග සාකච්ඡා කොට වැඩ ප්‍රමාණය අඩු කර ගැනීමට ඔහුට හැකියාව තිබේ. එසේම තමාගේ දෛනික කාර්යයන් ඉක්මනට ඉවර වුවහොත් වැඩ ගොඩක් ඇති තම සගයාට උදව්වට යෑමට පවා ඔහුට පුළුවන.

එසේ වුවද අවාසනාවට අද ලංකාවේ බොහෝ රාජ්‍ය සේවා දෙපාර්තමේන්තුවල වැඩ කෙරෙන්නේ සුළු නිලධාරියාට හිතෙන හිතෙන අන්දමටය. නිලධාරියා සතියේ කළ යුතු වැඩ සියල්ල ඉටුකළාදැයි ඔහුගේ ලොක්කාට හොයන්නට පුළුවන්කමක් නැත්තේ සුළු නිලධාරියාට සතියේ ඉලක්කයක් ඔහු කල්තියා ලබා දී නැති නිසාය. එනිසා තමන් හමුවට එන මහජනතාව රස්තියාදු කරමින් කැන්ටිමේ කයිවාරු ගැසීමට අපේ සමහර රජයේ සේවකයින් පුරුදු වී ඇති බව ජනමාධ්‍ය නිතර පැමිණිලි කරති.

අපට පඩි ගෙවන්නේ මහජනතාවගේ බදු මුදලින්ය. එනිසා දවසේ පැය අටම අපි මහජනතාවට උපරිම සේවය සැපයිය යුතුය යන හැඟීම ඇතැම් රජයේ සේවකයන්ට නැතිවීම රටේ ඉදිරි ගමනට බලවත් බාධකයකි.

එංගලන්තයේ රජයේ නිලධාරීන්ගේ වැඩ ක්‍රමානුකූලව කෙරෙනවාද ඔහු සේවාදාකයින්ට නිසි ලෙස සේවය කරන්නේද යන්න මැන බැලීමට ක්‍රියාත්මක වන වැඩපිළිවෙළවල් කිහිපයක් තිබේ. එයින් ප්‍රධාන වන්නේ වාර්ෂිකව පැවැත්වෙන Appraisal වැඩ තක්සේරුවයි. ආයතනයේ ලොක්කා හා සුළු නිලධාරියා සමග එකට වාඩි වී ඔහුගේ පසුගිය වසරේ තම රාජකාරිය කළ අන්දම, ඔහු දැක් වූ දක්ෂතා හා දුර්වලතා ගැන අවංක සමාලෝචනයක යෙදේ. මෙම සාකච්ඡාවේදී සුළු නිලධාරියාට තමන්ගේ අතපසුවීම් ගැන අවබෝධයක් ලැබෙන අතර හොඳට වැඩ කළ අවස්ථා ගැන ප්‍රශංසාද හිමි වේ. ඉදිරි වසරේ සුළු නිලධාරියා කෙසේ දවස නාස්ති කළත් බොසා ඒවා දන්නේ නැත.

අපේ රටේ පිංපඩි ගනිමින් අයිස් ගහන, මහජනතාව රස්තියාදු කරවන රජයේ සේවකයන්ට ආදර්ශයක් ගත හැකි විශිෂ්ට ශ්‍රී ලාංකිකයෙකු ගැන මේ දිනවල ඇමෙරිකන් ජනමාධ්‍ය කතා කරයි.

මේ විශිෂ්ට ලාංකිකයා නම් 1995 සිට නිව්යෝක් විශ්ව විද්‍යාලයේ සේවය කරන හරේන්ද්‍ර හැරල්ඩ් සිරිසේන මහතාය.
ඔහු කොලොම්බියා විශ්ව විද්‍යාලයෙන් ශ්‍රාස්ත්‍රපති උපාධිය (Msc) ලැබූවෙකි. 1995 සිට 2003 දක්වා නිව්යෝක් ටෙක්නිකල් විදුහලට අනුයුක්තව සිටි කාලයේ තමන්ට ඉතා වගකිවයුතු වැඩකොටසක් භාර දී තිබුණු බවත් තමා එය ඉතා වගකීමෙන් ඉටුකළ බවත් සිරිසේන මහතා කියයි. නමුත් 2003 දී විශ්වවිද්‍යාලය තමාගේ වැඩ රාජකාරි සියල්ලම අලුතෙන් පැමිණි තරුණ සහායිකාවට පැවරූ බවද සිරිසේන මහතා කියයි.

මට දැන් වසරකට ඩොලර් දස ලක්ෂයක (රුපියල් කෝටි පහළොවක) පඩියක් විශ්වවිද්‍යාලයෙන් ලැබෙනවා. නමුත් මට කරන්න තියෙන එකම වැඩේ යුනිවර්සිටි එකෙන් යවන එක්තරා ලියුම් වර්ගයකට අවශ්‍ය ළමයින්ගේ නම හා ලිපිනය ටයිප් කරන එක විතරයි. මේ රාජකාරිය මම කරන්නේ අවුරුද්දට දවස් 30 ක් විතරයි. සිරිසේන මහතා නිව්යෝක් ටයිම්ස් පත්‍රයට කියයි.

මගේ වාර්ෂික සේවා කාලයෙන් සියයට 86ක් නැතිනම් දවස් 171 ක් මට රාජකාරි කියලා කරන්න කිසි දෙයක් නැහැ. මම ඉතින් අපේ ඔෆිස් කාමරයේ මගේ කුටියට වෙලා උඩ බලං ඉන්නවා. බොහොම වෙලාවට මම සංගීතයට සවන් දෙනවා. නැතිනම් කම්පියුටර් එකෙන් ක්‍රිකට් බලනවා. එහෙම නැත්නම් මොළයට සුවයක් දැනෙන්න කියලා ගණිත විසඳුම් කරනවා. ප්‍රහේලිකා පුරවනවා. හැමදාම ඔෆිස් එකට වෙලා අයිස් ගහන්න ගියහම ඔළුවට හොඳ නැහැනේ. ඉතින් මම හිටපු ගමන් යුනිවර්සිටි එකේ පාක් එකට ගිහින් කුරුල්ලන්ටයි ‍ලේනුන්ටයි කන්න දෙනවා. සමහර දවස්වල මට කරන්න වැඩක් නැතිකමට ඔෆිස් එකේදී ඉබේටම නින්ද යනවා. 72 හැවිරිදි සිරිසේන මහතා තවදුරටත් කියයි..
තමාගේ උපාධියට පළපුරුද්ද හා සුදුසුකම්වලට ගැළපෙන අන්දමේ වැඩ රාජකාරි බහුල රැකියාවක් දෙන ලෙස විශ්වවිද්‍යාල බලධාරින්ට දහපහළොස් වතාවක් තමා ලිඛිතව දැනුම් දුන්නත් ඔවුන් බිරි අලින් මෙන් සිටිනවා යැයි ඒ මහතා චෝදනා කරයි.

මේක කොපමණ මුදල් නාස්තියක්ද? මට කොච්චර දේවල් කරන්න පුළුවන්කම තිබුණත් බලධාරින්ට කිසිම ගාණක් නැහැ.

“what a waste of money. I could have done so much. but they didn’t care” සිරිසේන මහතා තවදුරටත් කියයි.

මේක මහජනතාවගේ විශ්වාසය බරපතළ ලෙස කඩකිරීමක් යයි සිරිසේන මහතාගේ නීතිඥ හිටපු නිව්යෝක් නීතිපති ඔලිවර් කොංපල් කියයි.

වයස වැඩිවීම හා සුළු ජාතිකයෙකු වීම නිසා හැරල්ඩ් සිරිසේන මහතාට සෑහෙන රාජකාරියක් නොපැවරීම බරපතළ වැරැද්දක්. අපි එනිසා විශ්වවිද්‍යාලයට විරුද්ධව නඩු කියනවා. පුදුමේ කියන්නේ හැමෝටම ඉහළ අධ්‍යාපනය ලබාදෙන්න තරම් අධ්‍යාපන අරමුදලක් තමන්ට නැහැ කියලා විශ්වවිද්‍යාලය මැසිවිලි නගනවා. ඒ අතරම හැරල්ඩ් සිරිසේන වගේ අයට නිසි රාජකාරියක් නොදී විශාල පඩි ගෙවමින් ඔවුන් මුදල් නාස්ති කරනවා.

සිරිසේන මහතාගේ පැමිණිල්ල ගැන අපි දැන් සලකා බලාගෙන යනවා. ඔහුගේ රැකියාවේ නිසරු බව ගැන පියවරක් ගැනීමට අපි සරසවියේ මානව සම්පත් අංශයට භාරදීලයි තියෙන්නේ.යි නිව්යෝක් විශ්වවිද්‍යාලයේ උප කුලපතිවරයාගේ මාධ්‍ය ප්‍රකාශක කියා සිටියි.

රුපියල් කෝටි 15ක පඩියක් ලබන තමාට කරන්නට නිසි රාජකාරියක් නැතැයි ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීම ගැන නිව්යෝක් ජනමාධ්‍ය ඔහුට බලවත් ලෙස ප්‍රශංසා කරයි.

සිරිසේන මහතාගේ මේ අවංක ප්‍රකාශය ලංකාවේම අයිස් ගහන නිලධාරි පෙළැන්තියට ලොකු ප්‍රහාරයකි.

කවදාහරි ලංකාවේ කන්තෝරු නිලධාරිනියකද හැරල්ඩ් සිරිසේන මහතාගේ අඩිපාරේ යමින් තම ලොක්කා හමු වී අනේ සර් හැමදාම ඔෆිස් එකට වෙලා නිය‍පොතු පාට කර කර ඉඳලා මටත් හොඳටම ඇතිවෙලා. ප්ලීස් මට පැය අට පුරාම මහන්සි වෙලා කරන්න ඩියුටියක් දෙන්න කියා ආයාචනා කළොත් ඇයට ජනාධිපති සම්මානයෙන් බුහුමන් කළ යුතු යැයි මට සිතේ.

උපුටා ගැනීමකි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!