Gossip

“අලියා හොඬ දික් කරලා මාව අල්ල ගන්නකොටම මා ඇඳගෙන හිටිය කමිසය ගැලවිලා අලියාගේ හොඬේ පැටළුණා – අලියාගේ කෙළවලින් මාව නෑවුණා”

“අලියා හොඬ දික් කරලා මාව අල්ල ගන්නකොටම මා ඇඳගෙන හිටිය කමිසය ගැලවිලා අලියාගේ හොඬේ පැටළුණා. අලියා කට ඇරගෙන හයියෙන් කෑගහගෙන ආයෙත් අල්ලන්න හොඬ දික් කළා. අලියාගේ කෙළවලින් මාව නෑවුණා. තව අඟල් පහක් විතර දුරක් අලියට මා ළඟට එන්න පුළුවන්කම තිබුණා නම් මගේ මරණය සිදුවෙනවා.”‍

මිනීමරු අලියකු වන ‘නියපොත්තා’ගෙන් තම ජීවිතය බේරාගත් කුඹුක්කඩවල ග්‍රාමයේ පදිංචි දෙදරු පියකු වන රත්නසිරි බණ්ඩාර (අවු.54) ගොවි මහතා තමන්ට සිදුවුණ අලි අනතුර නිසා සිය දකුණු පාදයේ අස්ථියක් බරපතල ලෙස කැඩී යාමෙන් කුරුණෑගල ශික්ෂණ රෝහලේ හදිසි අනතුරු ඒකකයේ ඇඳක් මතට වී සිටිමින් තමන් මුහුණදුන් බිහිසුණු අද්දැකීම සම්බන්ධයෙන් එසේ අදහස් දැක්වීය.

පොල්පිතිගම ප්‍රාදේශීය ලේකම් කොටසට අයත් කුඹුක්කඩවල ග්‍රාමයේ ගෙවතුවලට මෙන්ම පහලවෙල, කනුකැටිය, ඇලගාව යාය, කුඹුරුවලට සහ කුඹුක්කඩවල මහවෙලට දිනපතාම වන අලින් රංචු පිටින් පැමිණෙන නිසා ගොවීන්ගේ වගාවන්ට නිරන්තර හානි සිදුවෙයි. එමෙන්ම ප්‍රදේශවාසීන්ගේ ජීවිතවලට ද දැඩි තර්ජනයක් එල්ල වී ඇත.

ඇහැටුවැව ප්‍රාදේශීය ලේකම් කොටසට අයත් වීරමුන්‍යයගම වැව යටතේ ඇති දැනට වගා කර තිබෙන කුඹුරු ආරක්ෂා කර ගැනීම සඳහා දිනපතාම රාත්‍රී කාලයේ ගොවීහු පැල් රකිති. කුඹුක්කඩවල පදිංචි රත්නසිරි බණ්ඩා ගොවි මහතා ද ඔහුගේ කුඹුර ආරක්ෂා කර ගැනීම සඳහා කුඹුරේ පැලට ගොස් ආපසු එමින් සිටියදී පසුගිය 3 වැනිදා පෙරවරුවේ ‘නියපොත්තා’ නමින් හඳුන්වන මිනීමරු වන අලියාගේ ග්‍රහණයට හසු වී ජීවිතයත් මරණයත් අතර සටනකට මැදි වී පෙර වසනාවකට මෙන් ජීවිතය බේරාගෙන ඇත.

රත්නසිරි බණ්ඩා ගොවි මහතා පදිංචි ගමේ හිතවත් ගොවි මහතකු සමග පාපැදි දෙකකින් එමින් සිටියදී හදිසියේම මගදී ‘නියපොත්තා’ හමු වී ඇත. නොසිතූ මොහොතක ‘නියපොත්තා’ මුහුණට මුහුණ හමුවීමන් බියට පත්වූ හිතවත් ගොවි මහතා පාපැදිය බිම දමා පලා ගොස් ඇත. රත්නසිරි ගොවි මහතා ද ඔහුගේ පාපැදිය නියපොත්තා දෙසට තල්ලු‍ කර දමා පලා යාමට සුදානම් වුවත් අලියාගේ ග්‍රහණයට හසු විය. රත්නසිරි ගොවි මහතා ඇඳ සිටි කමිසය ගැලවී යාමත් සමග නියපොත්තගේ ග්‍රහණයෙන් මිදීමට හැකි වී ඇත. නියපොත්තාගෙන් ආරක්ෂා වීමට සමීපයේ තිබූ ගල් කන්දක් උඩට නැගගත් නිසා ‘නියපොත්තා’ සිය හොඬෙන් ගොවි මහතා නැවතත් අල්ලා ගැනීමට හොඬ දිගු කළත් එය කර ගැනීමට නොහැකි වී ඇත. වියරුවෙන් මෙන් කෑගසා ‘නියපොත්තා’ රත්නසිරි ගොවි මහතාට පහර දීමට සුදානම් වුවත් එම ස්ථානයට යාමට නොහැකි වූ නිසා ගොවි මහතාගේ ජීවිතය බේරී ඇත.

අඟල් 5ක් පමණ දුරක් නියපොත්තට ඉදිරියට ඒමට හැකියාව තිබුණා නම් රත්නසිරි ගොවි මහතාගේ ජීවිතය ‘නියපොත්තාට’ බිලිවනු ඇත. ප්‍රදේශය පුරා මෙසේ රංචු පිටින් සැරිසරන වන අලින් මර්ධනය කිරීමට වගකිව යුත්තන්ගේ අවධානය යොමු නොවීම නිසා කුඹුක්කඩවල ප්‍රදේශයේ ජනතාවගේ ජීවිත මෙන්ම ඔවුන්ගේ කෘෂිකර්මික වගාවන් ද දැඩි අවදානමකට ලක්ව ඇත.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!