Gossip

“අම්මා නැති වෙනකොට මට වයස අවුරුදු 8ක් විතර ඇති. අම්මගේ මරණෙන් පස්සේ කුඩම්මා කෙනෙක් ගෙදරට අවා.” – ජපනුන්ගේ බෝම්බ ප්‍රහාරය නිසා වසර 72ක් දුක් වින්ද ඇලන් නෝනා

“ජා ඇළ ශ්‍රී කාන්ති ටෙක්ස් ටයිල් කිව්වම නොදන්නා කෙනෙක් මීට අවුරුදු තිහ හතළිහකට උඩ මේ පළාතේ හිටියේ නැහැ.
තට්ටු දෙකේ කඩේ. ඒ වගේම තමයි ඩබ්ලිව්.එල්. පෙරේරා සහ පුත්‍රයෝ හාඩ්වෙයාර් එක. ඒක තමයි පනහේ දශකයේ තොටළග ඉදලා මීගමුවට වෙනකම් තිබුණ ලොකුම හාර්ඩ්වෙයාර් එක. මේවා මගේ මහත්තයගේ පවුලේ දේපොළ. දැන් හැබැයි මේ කිසි දෙයක් නැහැ. කරන්න කෙනෙක් නැතුව විකුණලා දාලා හැම දෙයක්ම සමසේ දරුවන්ට බෙදලා දැම්මා.”
වන්නකු මිටිවඩුගේ ඇලන් මේරි පෙරේරා මාතාව අතීතයේ සාඩම්බර පිටුවකින් මතකය අවදි කළාය.
1917 වර්ෂයේ බක් මස තිස්වැනි දින ජා ඇළ දෑළතුර ප්‍රදේශයේදී උපන් මේරි මාතාව කොයි කවුරුත් ඇමතුවේ “ඇලන් නෝනා” යන ආදරණීය නාමයෙනි.
ඇලන් නෝනා දරුවන් අටදෙනෙකුගේ මවක වන අතර මේ වන විට ගත කරන්නේ සිය දිවියේ 102 වන වසරයි.
සිය ජීවිතයෙන් වසර දහයකට ආසන්න කාලයක් පාකිස්ථානයේද ජීවත්ව ඇති ඇය, මේ වන විට කටුනායක ප්‍රදේශයේ සිය බාල පුත්‍රයාගේ නිවසේ ජීවත් වෙයි.
පේදුරු පෙරේරා හා මරියා ප්‍රනාන්දු ඇලන් නෝනාගේ මව් පිය දෙපළයි. පවුලේ බඩපිස්සිය වූ ඇලන් නෝනාට සහෝදරයන් තිදෙනෙකි.
පියා මුල් කාලයේ ගුරුවරයෙකු ලෙස කටයුතු කළත් පසු කාලීනව වතු ක්ෂේත්‍රයේ රැකියාවක නිරත වූවාය. ව්‍යාපාරික පසුබිමකට උරුමකම් කියූ පරපුරකින් පැවත ඒමත්, ස්ථිර රැකියාවත් හේතුවෙන් කිසිදු අගහිඟයකින් හා ගැටලුවකින් තොරව ජීවත් වීමට මේ පවුල වාසනාවන්ත විය. දුෂ්කර සමය එළැඹෙන්නේ මරියා ප්‍රනාන්දු මාතාවගේ වියෝවත් සමගයි.
“මගේ අම්මා නැති වෙනකොට මට වයස අවුරුදු අටක් විතර ඇති. කොහොම හරි අම්මගේ මරණෙන් පස්සේ ටික කාලයක් ගියාම කුඩම්මා කෙනෙක් ගෙදරට අවා. එයා ඇත්තටම හරි හොඳයි. ඒ වෙද්දී මම ඉගෙන ගත්තේ දෑළතුර රෝමානු කතෝලික විද්‍යාලයේ. නමුත් තාත්තගේ රැකියාවේ වෙනසත්, කුඩම්මට දරුවෙකු ලැබීමත් නිසා මට බෝලවලාන කන්‍යාරාමයට යන්න සිද්ධ වුණා. අවුරුදු 10ක් මම බොලවලානේ හිටියා. ඒ කාලය තුළ මහන්න, උයන්න පිහන්න, ඒ සෑම දේම ඉගෙන ගත්තා. මම 8 පන්තිය පාස් වුණා.”
බෝලවලාන කන්‍යාරාමයේ වසර දහයකට ආසන්න කාලය, ඇගේ ජීවිතයේ වටිනාම කාලය ලෙස ඇය සිතයි, ඒ දෙවිසමිඳුනට ඉතා කිට්ටු වීමට ඒ කාලය තුළ ඇයට හැකි වූ බැවිනි.
මා ඇය සොයා ඇගේ නිවසට ගිය අවස්ථාවේත් ඇගේ අතේ කොන්තයක් තිබිණි. ඇය එය භාවිත කරමින් ජපමාලය කියමින් සිටියාය. ඇය අසල තිබූ කතෝලික ආගමික පොත් තොගයද ඇගේ ආගමික භක්තිය හෙළි කරයි.
ඇලන් නෝනා විවාහ වී ඇත්තේ විවාහ යෝජනාවකට අනුවයි. එවකට ජාඇල ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වූ වර්ණකුල පටබැදිගේ බෙන්ජමින් පෙරේරා මහතා ඇලන් නෝනාගේ ස්වාමිපුරුෂයා විය. දෑළතුරේ රෝගුස් මුනිදුන්ගේ දේවස්ථානයේ පැවති දිව්‍ය පූජා යාගයකින් අනතුරුව ඇලන් නෝනා සිය නිවසට කැන්දාගෙන යෑමට බෙන්ජමින් මහතා කටයුතු කළේ දෙදෙනාම දැඩි කතෝලික භක්තිකයන් වීම හේතුවෙනි. විවාහයෙන් පසු දරුවන් අටදෙනෙකු ලැබීමට තරම් මේ දෙදෙනා වාසනාවන්ත වූහ.
“මම විවාහ වුණේ වයස අවුරුදු 19න්. ලොකු දුව ලැබුණේ 1940දී. එයාගේ නම හැරියට් එයා දැන් කලඑළියේ ජිවත් වෙනවා.
දෙවෙනියා මාලනී දැන් ජීවතුන් අතර නැහැ. අවුරුදු 72ක් වෙද්දී එයා ජීවිතෙන් සමුගත්තා.
තුන්වැනියා ඇන්ටනි, ව්‍යාපාරිකයෙක්. එයා ස්වර්ගස්ථ වුණේ වයස අවුරුදු 49දී. සිව්වේනියා ක්ලැරන්ස් එයා අවුරුදු 39දී අපිව දාලා ගියා. ඒ හැම දෙනාම ජීවත් වුණේ කලඑළියේ. පස්වෙනියා හයිසින්ත් එයාට දැන් අවුරුදු හැත්තෑ එකක් වෙනවා එයා විවාහ වුණේ වෙන්නප්පුවෙන්. හයවෙනියා ඩෙන්සිල් එයාට දැන් 69 ක් විතර ඇති. එයා හෝටල් ක්ෂේත්‍රයේ තමයි රැකියාව කළේ.
එයා දැන් ඉන්නේ නාත්තන්ඩියේ. හත්වැනියා නෙවිල්. මේ ගේ එයාගේ. එයාට දැන් වයස 67ක් විතර ඇති. එයත් එක්ක තමයි මම ජීවත් වෙන්නේ. නෙවිල් දක්ෂ ගුරුවරයෙක්. එයා කාලයක් පකිස්ථානේ ඉගැන්නුවා. ඒ නිසා මටත් එහෙ ගිහින් ඉන්න ලැබුණා. මගේ පවුලේ බඩපිස්සී ඉවෝන් පෙරේරා එයා ගුරුවරියක් විදිහට වැඩ කළා. දැන් නම් රැකියාවක් කරන්නේ නැහැ. එයා දැන් ඉන්නේ වෑවල. මට තියෙන ලොකුම සතුට ජීවත්ව ඉන්න මගේ දරුවෝ ඔක්කොම මාව බලනවා. මට තියන දුක මගේ දරුවෝ තුන්දෙනෙක් මේ වෙනකොට මාව දාලා ගිය එක විතරයි.
‘පාස්කු ඉරිදාවේ ගුවන් ප්‍රහාරය’ ලෙස හැඳින්වෙන්නේ ජපනුන් විසින් පාස්කු ඉරිදා දින එනම් 1942 අප්‍රේල් 5 වැනි දින කොළඹට කළ ගුවන් ප්‍රහාරයයි.
“ජපන්නු කොළඹට බෝම්බ දානවා කියලා දින කීපයක ඉඳලා ලොකු රාවයක් තිබුණා. අපි අපේ වතුවල ලොකු වළවල් කපලා ඒකට සූදානම් වෙලා හිටියා.
බෝම්බ කියන ඒවා ගැන ලොකු අවබෝධයක් අපිට තිබුණේ නැහැ. අහලා තිබුණේ උඩින් ඇවිල්ලා දානවා, ඔක්කොම මැරිලා යනවා කියලා තමයි.
ඒ නිසා ලොකු මරණ බයක් අපිට තිබුණා. මේ වෙන කොට හැරියට්ට වයස අවුරුදු දෙකයි. මට මාලනී ලැබෙන්න හිටියා. එදා පාස්කු ඉරිදාවක්. කතෝලිකයෝ වුණාම පාස්කු ඉරිදා සතුට සමරනවනේ. නමුත් අපි එදා හිටියේ ලොකු බයකින්. මොකද අහස් යාත්‍රා කීප වරක් කැරකුණා. ඒ නිසා අපි පාස්කුව පැත්තකින් තියලා වළට බැහැල හිටියා.
“එක පාරම අහස්යාත්‍රා කීපයක් ඇවිල්ලා බෝම්බ දැම්මා. අපිට තේරුණෙ අපේ ගෙවල්වලට දැම්මා කියලා තමයි.
ඒ ගැන කියන්න වචන නැහැ. එදා ජපන්නු කළ විනාශය නිසා මම අවුරුදු 72ක් දුක් වින්දා. අපේ ගම්වල ඉන්නවා තවත් ඒ දුක විඳින අය. මොකද දන්නවද…
මට එදා ඇතිවුණ බය නිසා මට ලැබෙන්න හිටිය දරුවාගේ මානසිකත්වයට බලපෑමක් එල්ල වුණා.
අදටත් අපේ ගමේ ජීවත් වෙනවා මන්ද මානසික කීප දෙනෙක්ම. පස්සේ ආරංචි වුණා මුතුරාජවෙලට තමයි බෝම්බ දාල තියෙන්නේ කියලා. ඒ කියන්නේ අපි හිටපු තැනට හැතැක්ම දෙකක් විතර ඇති. ඒ වගේම කඳාන නාගොඩ ප්‍රදේශයටත් බෝම්බයක් වැටිලා තිබුණා. අද එතනට කියන්නේ බෝම්බ හන්දිය කියලා. මුතුරාජවෙල බෝම්බ වැටුණු තැනට බෝම්බ පිට්ටනිය කියලා කියනවා.”
“බිව්වා නේද වදකහ සුදිය…” එය ලෝකයේ කොහේ සිටියත් ශ්‍රී ලාංකිකයන් එක් වන සතුටු සාජ්ජ අතරතුරදී නිතර ඇහෙන ගීතයකි.
ජනප්‍රිය ගායකයකු හා සංගීතඥයකු වූ සී.එල්. ෆොන්සේකා විසින් රචනා කර ඔහුගේ සංගීත කණ්ඩායමත් සමග ගායනා කෙරුණු මේ ගීතය පසු කලෙක බයිලා ගීත කියූ සෑම ගායකයකු විසින්ම ගායනා කරනු ලැබුණි. එකල ලංකාවේ සිදු වූ එක්තරා සත්‍ය සිදුවීමක් පාදක කොටගෙන ලියැවුණු මේ ගීතයේ පසුබිම ගැන ඇලන් නෝනාට හොඳින් මතකය.
“ලේක්හවුසියෙන් ඛෙදාහැරුණු දිනමිණ, සිළුමිණ පුවත්පත් දෙකත්, ටයිම්ස් ආයතනයේ ලංකාදීපයත් හැරුණු කොට ඒ දවස්වල තිබුණේ රේඩියෝ සිලෝන් නමින් හැඳින්වූ ගුවන්විදුලි සේවය පමණයි. 1955 වර්ෂයේ මේ පත්තර වගේම ගුවන් විදුලියත් තමන්ගේ සම්පූර්ණ කාලය, ඉඩ වෙන් කළේ සූර්යග්‍රහණය ගැන කියන්නයි. මට පත්තරේ හරියට මතක නැහැ. එක පත්තරේක දාලා තිබුණා සූර්යග්‍රහණය වෙන අවස්ථාවේදී වදකහ අඹරලා බිව්වම ලස්සන වෙනවා, මුහුණ වඩනවා කියලා. මේක ආකාර දෙකකට දාලා තිබුණා. එදා උදේ එළිය වැටිලා ටික වෙලාවකින් සම්පූර්ණයෙන් අඳුරු වුණා. උදේ එළි බැස්ස කුක්කුල්ලු නැවත ගස් නැග්ගා. අනෙක් සත්තු කලබල වුණා. මිනිස්සුත් ගෙවල් ඇතුළට වුණා. මොකද එක එක මත පැතිරුණ නිසා.
“ඔය අතරේ විශාල පිරිසක් කලින් සූදානම් කරගෙන හිටි වද කහ බිව්වා. අපේ ගමෙත් විශාල පිරිසක් බීලා තිබුණා. සවස් වෙද්දී මේ සියලු දෙනා ඉස්පිරිතාලෙ ගෙනියන්න සිද්ධ වුණා. මොකද වමනය, පාචනය හැදිලා මේ අය මැරෙන්න වැටිලා හිටපු නිසා. අදත් අපේ ගමේ ජීවත් වෙනවා. එදා වදකහ බිලා බේරුණු අයියෙකුයි මල්ලියෙකුයි. කීප දෙනෙක් මැරුණත් කියල ආරංචි වුණා. අපූරුම වැඩේ තමයි මේ ලෙඩ්ඩු රෝහල්වලට ගෙනියද්දී ඒ රෝහල්වල හිටපු අයත් වදකහ බීලා රෝහල්ගත වෙලා.”
මේ සිදුවීමෙන් පසු මේ ලිපියට මුල් වූ වෙද මහතා අධිකරණයට කැඳවා ඇති අතර ඔහු අධිකරණයට පැමිණ ඇත්තේ අදාළ පුවත්පත හා වදකහ යුෂ අඩංගු බෝතලයකද සමගයි. තමන් ප්‍රකාශ කළේ වදකහ මේස හැන්දක් බීමට බවත්, කෝප්ප ගණන් බී රෝගී වූවාට තමනට කිරීමට දෙයක් නැති බවත් පවසා ඇති ඔහු, අධිකරණය ඉදිරියේ වදකහ මේස හැන්දක් පානය කර පෙන්වා ඇත.
තිහේ දශකයේ අග භාගයේ බෙන්ජමින් මහතා දුංතෙල් නිෂ්පාදනය කර ටින් කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කර ඇත.
මේ සඳහා ඔහුගේ සහෝදරයෙකුගේ සහායද ලබා ගෙන තිබෙන අතර මෙලෙස නිෂ්පාදනය කළ දුංතෙල් ටින් බර කරත්ත දෙකක් යොදා ගනිමින් කොළඹට ප්‍රවාහනය කර තිබේ.
“අපේ වෙළද සලකුණ වුණේ රාජාලියා. මේ රාජාලියා හිටියේ ලෝක ගෝලයක් උඩ. අපි වසර ගණනාවක් මේ ව්‍යාපාරය කළා .
අපේ මේ ව්‍යාපාරය වැටුණේ තවත් තරගකාරී ව්‍යාපාර ආයතනයක් ආව නිසයි. ඊට පස්සේ අපි හාඩ්වෙයාර් එකක් දැම්මා. මේකේ යකඩවලට අමතරව රැලේ බයිසිකල්, රේඩියෝ, තුවක්කු පතොරම්, වෙඩි බෙහෙත් ඒ වගේ ද්‍රව්‍යත් තිබුණා. අපි ඉක්මනින් දියුණු වුණා. නමුත් 1961 වෙද්දී අපේ සියලු දෙනා කියන්න ගත්තා අපි ටෙක්ස්ටයිල්ස්වලට යන්න ඕනෑ කියලා.
ඒ නිසා තිබුණ ගොඩනැගිල්ල කඩලා අපි තට්ටු දෙකට ගොඩනැගිල්ලක් ගැහුවා. මේක විවෘත කළේ 1962 වර්ෂයේ. මේකෙනුත් හොඳ අදායමක් තිබුණා. මේකෙ මුලින්ම කැෂියර්ට හිටියේ ලොකු දුව හැරියට් තමයි. පහු කාලෙක මහත්තයාගේ සහෝදරයා නැති වුණාට පස්සේ මේක කරගෙන යන්න අමාරු වුණා. ඒ නිසා මේක විකුණලා සියලු මුදල් සමසේ බෙදලා දුන්නා.”
“මගේ අන්තිම බලාපොරොත්තුව සුබ මරණයක්” පැයකට ආසන්න කාලයක් කතාබස් කිරීමෙන් පසු ඇලන් නෝනා මාතාව එසේ පැවසුවාය.
ඇය එසේ කීවත් ඇයට ජීවිතය පිළිබද බලාපොරොත්තුවක් දීමට මට සිතිණි. “අම්මට තාම 102යි නේ. අවුරුදු 112ක් ජීවත්වෙන කීප දෙනෙකුත් ලංකාවේ ඉන්නවා”
මා එසේ පැවසූ විට මුව පුරා සිනහවක් නගා ගත් මේ මාතාව ඇගේ අත තිබූ කොන්තය පෙන්වමින් පැවසුවේ ඇය දෙවියන් කෙරෙහි දක්වන භක්තියයි. “මම දෙවියන්ට හැමදාම යාච්ඤා කරනවා, ජපමාලය කියනවා. මට කිසි දුකක් නැහැ. තව කාලයක් මට ජීවත් වෙන්න පුළුවන්. මොකද මගේ දරුවෝ, දරුවන්ගේ දරුවෝ මට හොඳට සලකනවා ඒ ගැන හොදට ලියන්න පුතේ…”

[ප්‍රසාද් පූර්ණමාල් ජයමාන්න]

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!