Gossip

අපේ ඉදිරියට ආපු දළ පූට්ටුවා ත්‍රිරෝද රථය පොඩි කර ඊළඟට අප ගාවට එයි කියලා මර බිය අපේ හිතේ තිබ්බා – මිනිස්සු ගාවත් නැති ගුණාංග තිබ්බ දළ පූට්ටුවා ගැන රට්ටු කිව්ව කතා

ගල්ගමුවේ දළපූට්ටුවා පසුගිය දවස්වල වගේම මේ දවස්වලත් මිනිසුන්ගේ හිත්වල තාමත් දෝංකාර දෙනවා.

හිත් පිත් නැති තෘෂ්ණාවෙන් පෙලෙන මිනිසුන් නිසා තම ජීවිතයෙන් වන්දි ගෙවන්නට සිදු වුන දළ පූට්ටුවා ගැන සමාජජාල මාධ්‍යයන්වල වගේම බොහෝ තැන්වල කතාබහට ලක්වුණා.

අලි මිනිස් ගැටුම තුලින් බොහෝ අලි ඇතුන් ජීවිතක්ෂයට පත් වුනත් ඒ හැමටම වටා දළ පූට්ටුවා බොහොම සංවේදී කතා ගොඩක් අපිට දැනගන්න ලැබුනා.

මේ සතාගේ දෑස් අන්ධ වෙන්නේ මිනිස් වෙඩි පහරින්. ශරීරය කිලෝ පන්දහකට වැඩිය බර සතෙක්. ඒ කිලෝ පන්දහ තුළ අඩු ගානේ යකඩ මූනිස්සම් කිලෝ විස්සක්වත් ඇඟ ඇතුළේ තියාගෙන තමයි එයා මේ රටටම, මිනිස්සුන්ට, ගමට මෛත්‍රී කරමින් ඇවිද්දේ,” කියලා පරිසරවේදී නයනක රන්වැල්ල කියපු කතාව කොච්චර ඇත්තද කියලා අපිට හිතුනෙ මේ සංවේදී කතාව ඇහුනට පස්සෙ.

එය 2016 වසරේ සිංහල අවුරුද්දට ආසන්න දිනයකි. එවක මගේ බිරිඳ අප දෙවන දරුවා ප්‍රසූත කිරීම පිණිස අටමස් ගැබිණියකව සිටියාය. එක්තරා අඳුරු සැන්දෑවක නිවසේ ආහාර පිසීමට කම්මැළි බැවින් අපට ආසන්නතම ගල්ගමුව නගරයට ගොස් ආහාර ගනිමු යැයි බිරිඳ මට යෝජනා කළාය.

ඒ අනුව මම සියඹලන්ගමුවේ පිහිටි අප නිවසේ සිට බිරිඳ සහ එවක එකොළොස් හැවිරිදිව සිටි මගේ දියණියද කැටුව මා සතු ත්‍රිරෝද රථයෙන් සියඹලෑව පාර ඔස්සේ ගල්ගමුව නගරයට යාමට පිටත් වුණෙමි. අතරමගදී අප හිතවත් අසල්වැසියෙකු ද ගල්ගමුව දෙසට යමින් සිටි බැවින් අපි ඔහුද ත්‍රිරෝද රථයට නංවා ගතිමු.

සැන්දෑ ඇඳිරියත්, වැසි ඇඳිරියත් එකට සුසංයෝග වූ ඒ සැදෑවේ ත්‍රිරෝද රථය සියඹලාවට හැරෙන තැන පිහිටි වංගුව පසුකරනවාත් සමඟම මගේ ඉදිරි මාර්ගයේ සුදු පැහැති යමක් දිස් විය. එවිට මට දැක ගත හැකි වූයේ මාර්ගයේ අප ඉදිරියට එන දළ සහිත ඇතෙකි. ඒ අපට හොඳින් ‍හුරු පුරුදු දළ පූට්ටුවා නම් සද්දන්තයා බව එක්වරම මට සිහිපත් විය. දැන් දළ පූට්ටුවා පැමිණෙනුයේ කෙලින්ම අපගේ ත්‍රිරෝද රථය ඉලක්ක කරගනිමිනි. ඒ මොහොතේ මට මගේ දියණිය සහ ගැබ්බර බිරිඳ සිහි විය. ඒ අනුව මා හනික ත්‍රිරෝද රථයෙන් පිටතට පැන දිවීමට සැරසුණෙමි. ඒ දළ පූට්ටුවා ත්‍රිරෝද රථය අමතක කොට මා පසුපස එළවාවි යන විශ්වාසයෙනි. නමුත් මා රථයෙන් පැන ගත විගසම මගේ දියණියද රථයෙන් පිටතට පැන ගත්තාය.

මට එක්වරම දෙවියන් සිහි විය. ඒ අතර මගේ බිරිඳ කෑ ගැසීමට දිරියක් නොමැතිව ත්‍රිරෝද රථය තුළ නිසොල්මන්ව සිටියාය. දළ පූට්ටුවා ක්‍රමයෙන් රථයට සමීපවත්ම අන්කිරීමට කිසිවක් නොහැකි මගේ අසල්වැසියා සහ බිරිඳද රථයෙන් බැස ගත්තේ මරණ දඬුවමට නියම වූවන් ලෙසිනි. දැන් අපට සැඟවීමට කිසිම තැනක් නැත. අඩුම ගණනේ අවට සැලකිය යුතු වන රොදක්වත් නැත. එනිසා අන්ත අසරණ බවට පත් වූ අපි කරකියා ගත හැකි අන්කිසිවක් නොමැතිව ත්‍රිරෝද රථයේ පිටුපසට මුවා වීමු. ඒ අප ඉදිරියට එන දළ පූට්ටුවා ත්‍රිරෝද රථය පපඩමක් සේ පොඩි කර දමා ඊළඟට අප වෙත යොමු වෙතැයි යන මර බියද සිතේ පුරවාගෙනය. එහෙත් තම සුපුරුදු සන්සුන් ගමනින් ඉදිරියට පැමිණි දළ පූට්ටුවා ත්‍රිරෝද රථය ඉදිරියට විත් මඳක් නිසොල්මන්ව සිට එයට හොඬවැලින් කුඩා කුඩා තට්ටුවක් දමා අප පිළිබඳ කිසිදු තැකීමකින් තොරව නැවත වනය දෙසට හැරුණි.

ඔහුගේ මෙම නික්ම යාම දුටු අපට හැඟුණේ අප සැම මරණයෙන් පිබිදුණු අයුරකි. ඔහු අපට අපට එදා එලෙස අභය දානය නොදෙ‍න්නට මා සේම මගේ දියණිය ගැබ්බර බිරිඳගේ, මගේ මිතුරා සේම ඒ වන විට මෙලොවට එන්නට සැරසී සිටි ම‍ගේ සිඟිති පුතුගේ ද ජීවිත අහිමි වන්නට ඉඩ තිබිණි.

ඈත ශ්‍රී ලාංකික අපිට උරුම වෙලා තිබුණු අලි මිනිස් සබැඳියාව අදටත් පවතින බවට මේ කතාව හොඳටම සාක්ෂි සපයනවා. අලි ඇතුන් බොහෝ විට විවිධ ප්‍රචන්ඩකාරී ක‍ටයුතු වල යෙදුනද දළ පූට්ටුවා සතු මෙවැනි ගුණාංග නිසාම දළ පූට්ටුවා වෙනුවෙන් බොහෝ දෙනාගේ නෙතඟට කඳුලක් ආ බව නොරහසක්.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!