Gossip

“අපි ඉපදෙනකොටත් එන්නෙ නිරුවතින්.. අපි මැරෙනකොටත් වෙන කෙනෙක්නෙ අපේ ඇඳුම් මාරු කරන්නෙ. මගේ ඇඳුම් යටත් ඔබගේ ඇඳුම් යටත් තියෙන්නෙ එකවගේ ශරීරයක්.”

ක්‍රිස්ට්‍රිනාට ගෝමරි වෙන්න අවස්ථාව ලැබුණෙ කොහොමද?
මේ චිත්‍රපටිය රූපගත කළේ මීට අවුරුදු පහකට කලින්. ඒ කාලෙ මම හිටියෙ මැලේෂියාවෙ. මගේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබමින්.
ප්‍රසන්න අයියා මගේ යාළුවකුට කියලා තිබුණා මේ වගේ චිත්‍රපටයකට ගැහැනු ළමයෙක් හොයනව කියලා.
පස්සෙ මගේ පින්තූර දැකල ගෝමරිගේ චරිතයට මාව සුදුසුයි කියලා හිතල තමයි මට ගෝමරිගේ චරිතයට කතා කළේ.

ක්‍රිස්ටිනාට රංගනය අහම්බයක්ද?
මම පොඩි කාලෙ ඉඳන්ම රඟපාන්න මාර කැමතියි. මම ඉගෙන ගත්තෙ ස්ටැෆඩ් ජාත්‍යන්තර පාසලේ. මම සාමාන්‍ය පෙළ දක්වාම පාසලේ වේදිකා නාට්‍යවල රඟපෑවා. විශ්විද්‍යාලයෙදි කෙරුණ කෙටි චිත්‍රපටවලත් රඟපාලා තියෙනව.

රංගනය ගැන විසල් අත්දැකීමක් නැති ඔබට ගෝමරි වෙත ප්‍රවේශ වීම පහසු කාරණයක්ද?
අපේ නිෂ්පාදන කණ්ඩායමම මට පුදුම විදිහට උදව් කළා. මුළු චිත්‍රපටයම රූපගත කළේ කෑලෑව ඇතුළෙනෙ.
ඇත්තටම කැලෑවක ජීවිත් වෙමින් මේ වගේ නිර්මාණයක් කරන එකම මට අපූරු අත්දැකීමක් වුණා. ගෝමරි අභියෝගාත්මක චරිතයක් විශේෂයෙන්ම ගෝමරිගේ චරිතය ඇතුලේ දෙබස් තිබුණෙ නැහැනෙ. ඒ නිසා මට හැඟීම් ප්‍රකශනයට ලොකු වෙහෙසක් දරන්න සිදුවුණා.

ගෝමරිගේ චරිතය තුළ තියෙන ශරීරය නිරාවරණය වන දර්ශන ඔබට අභියෝගයක් වුණේ නැතිද?
මේ හැම දෙයක්ම අවසානයේ මමත් ලංකාවේ කෙනෙක් මමත් ලංකාවේ ඉන්න ඕනෑ. මම කරලා තියෙන්නෙ බොහෝ නිළියන් නොකරන විදිහේ දෙයක්.
මම තේරුම් අරන් තියෙන විදිහ අනුව මම පවසන්නෙ අපි අපේ ශරීරය දිහා සාමාන්‍ය විදිහට බලන්න කියලයි.
උදාහරණයක් විදිහට කුඩා දරුවෙක් නිරුවතින් දුවනව කියන්නකො එතැනදි අපි එයාට උසුළු විසුළු කරනව. හිනහ වෙනව. එහෙම ප්‍රතිචාර දක්වන විදිහෙන්ම අපි අපේ ශරීරය ගැන හිතන විදිහ අපිට පේනවනෙ. මම කියන්නෙ ඒ හිතන විදිහෙ වෙනසක් වෙන්න ඕන. මම මේ කියන්නෙ දරුවන්ට නිරුවතින් යන්න කියලා නෙවෙයි.
හැබැයි අපි හැමෝටම තියෙන්නෙ එකවගේ ශරීරයක්. ඒක මෙචච්ර ලොකු දෙයක් වගේ මතයක් හදන්න ඕන නැහැ. අපි මේ ඒ හිතන විදිහ වෙනස් කළොත් සමාජයේ ඇතිවන ස්ත්‍රී දූෂණ අඩුවෙයි. අපි ඉපදෙනකොටත් එන්නෙ නිරුවතින් අපි මැරෙනකොටත් වෙන කෙනෙක්නෙ අපේ ඇඳුම් මාරු කරන්නෙ. මගේ ඇඳුම් යටත් ඔබගේ ඇඳුම් යටත් තියෙන්නෙ එකවගේ ශරීරයක්. ඇයි මේකත් එක්ක මෙච්චර ලොකු දෙයක් හදන්නෙ.

සංසාරේ දඩයක්කාරයා ප්‍රේක්ෂකයන් අතරට යාමත් සමග ඔබට ලැබුණ ප්‍රතිචාර කෙබඳුද?
චිත්‍රපටය ප්‍රදර්ශනය ඇරඹුණාට පස්සෙ සමහරු අපේ සිනමාවේ කව්රුවත් කරලා නැති දෙයක් මම කරලා තියෙන්නෙ කියලා මට ප්‍රශංසා කළා. තවත් පිරිසක් මට අසභ්‍ය වචනයෙන් බැණල තිබුණා. ඔවුන් මගේ ලිංගික ජීවිතය ගැනත් විමසමින් ඒ වගේ ප්‍රතිචාර තියෙනව.
ඔයා හිතන්නකො මට ආසම ගවුමක් තියෙනව ඒක රතුයි කොටයි. මම ඒක ඇඳගෙන යද්දි සමහරු කියනවා ආ ඒක හරි ලස්සනයි. තවත් පිරිසක් කියනව බලන්නකො ඇඳල ඉන්න හැටි කිසිම හැදියාවක් නැහැ. ඔය වගේ දේවල් අපි යමක් කරනව නම් මිනිස්සු මොනව හරි දෙයක් කියයි. ඒ අයට ඕන දෙයක් කියන්න පුළුවන්. මම කරන දේට හැමෝම අකැමැති වෙන්න පුළුවන් හැබැයි අන්තිමට ගත්තම හැමෝම කැමැති දේවල්ම මට කරනන් බැහැ.

ක්‍රිස්ටිනා උපාධිය සඳහා තෝරගන්නෙ සිනමාකරණයද?
මම විශ්වවිද්‍යාලයේ ගුවන්විදුලි සන්නිවේදනය කළේ. පසුව මම රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් විදිහටත් වැඩ කළා.

ගෝමරිගෙන් පසුව ඔබගේ රංගන දිවියට එක්වුණ නිර්මාණ මොනවද?
සංසාරේ දඩයක්කාරයාගෙන් පසුව මම වෙන මොකුත් නිර්මාණයකට ගියේ නැහැ. උපාධිය සම්පූර්ණ කරලා ඇවිත් හොඳ නිර්මාණයකට සම්බන්ධ වෙන්න ඕන කියලා හිතුවා.
ඒත් ඒ කාලෙම අපේ පළවෙනි දරුවා ලැබුණා. ඊට පස්සෙ දෙවෙනි දරුවත් ලැබුණා. ඊට පස්සෙ මම දරුවො දෙන්න එක්ක ගෙදර හිටියෙ. ආයෙමත් උත්සාහ කළා රූපවාහිනී වැඩසටහනකට ටෙලි නාට්‍යයකට හරි සම්බන්ධ වෙන්න. එහෙම හිතද්දි තාත්තා මියගියා. ආයෙමත් වැඩක් කරන්න තිබුණ උවමනාව කල් ගියා. දැන් තමයි ආයෙත් මම හිතන්නෙ මම නිර්මාණවලට සම්බන්ධ වෙන්න ඕන කියලා.

කුඩා දරුවන් දෙදෙනෙක් සමග කලා කටයුත්තකට උවමනා නිදහස සොයාගැනීම අසීරුයිද?
ඔව්. ඒත් කොහොම හරි කරන්න ඕන ඇත්තටම වෙන අයට දරුවො බලන්න සේවිකාවො ඉන්නව. හැබැයි මට එහෙම උදව්වට කව්රුත් නැහැ.
මමයි මගේ සැමියයි තමයි දරුවො දෙන්නව බලාගත්තෙ. ඒත් මම තේරුම් අරන් තියෙනව. ළමයි ඉන්නව කියලා අපි අනිත් දේවල් නවත්වන එක හරි නැහැ කියලා.
කොහොම හරි හැමදේම සමබරව කරගන්න පුළුවන් වෙන්න ඕනෑ. මම අවුරුදු පහක් මහන්සිවෙලා ඉගෙනගත්ත දේ පාවිච්චි කළේ නැතිනම් ඒක අපරාදෙ.

ගෝමරිගේ චරිතයේ ඔබ ගත් තීරණවලට සැමියාගෙන් ලැබුණ ප්‍රතිචාරය කෙබඳුද?
මම මේ චිත්‍රපටය කළාට පස්සෙයි විවාහ වුණේ. එයා මට පුදුම විදිහට උදව් කරනව.
චිත්‍රපටය ආවට පස්සෙ හැමෝම එයාගෙන ඇහුවා ඔයාට තේරෙන්නෙ නැතිද මෙයා මොනවගේ දෙයක්ද කරලා තියෙන්නෙ කියලා. එයා කිව්වෙ, සීගිරි ළඳුන් හැට්ට ඇඳලද ඉන්නෙ. සුද්දො ලංකාවට එන්න කලින් අපේ කාන්තාවෝ හැට්ට නැතිව ඉඳල තියෙනව. ඒ කාලේ කාන්තාවක් උඩුකය වැස්මක් නැතිව ඉන්නව කියන එක මහ ලොකු දෙයක් නෙවෙයි.
දැන් ඇයි ඒක ගැන ලොකුවට කතා කරන්නෙ කියලයි.

පවතින සංස්කෘතික සීමාවන් නොතකමින් මේ සමාජය තුළ ජීවත් වීම ම අභියෝගාත්මයි නේද?
මෙහෙමයි, අපේ පළවෙනි පුතා හම්බවෙනකොට අපි විවාහ වෙලා හිටියෙ නැහැ. දෙවෙනි දරුව ලැබෙද්දියි අපි නිත්‍යානුකූලව විවාහ වුණේ.
ඒ දේ කළෙත් පවත්නා නීතිමය රාමුව තුළ ඉදිරියෙදි ළමයින්ට ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙයි කියලයි.
එහෙම නැතිව කසාද සහතිකයක් නැතිව අපි එකට ජීවත් වෙලා දරුවො හැදුවා කියලා අපේ බැඳීමේ වෙනසක් වෙයි කියලා නෙවෙයි.

ඉදිරියේදිත් ක්‍රිස්ටිනා ගෝමරි වැනිම අභියෝගාත්මක චරිත බාරගනියිද?
මම ආසයි අලුත් වැඩ කරන්න ප්‍රශ්නෙ තියෙන්නෙ මට මොන විදිහෙ වැඩද ලැබෙන්නෙ කියන එකයි.
හැමෝම මට නිරුවත් දර්ශන ඇතුළත් චරිතවලට කතා කරයි. එහෙම වෙන්න මම අකැමැතියි. ඇඳුම් නැති එකට අපේ සංස්කෘතිය ගොඩක් සංවේදියි. ගෝමරිගේ චරිතයෙන් පස්සෙ ගොඩක් අය මගෙන් ඇහුවෙ තවත් මේ වගේ දර්ශන ඇතුළත් චිත්‍රපට රඟපානවද කියලයි. මම ඒකට අකමැතියි.
මම දන්නව මට මේ වගේ දෙයක් කරන්න පුළුවන් වගේම මට අනිත් විදිහේ චරිතත් කරන්න පුළුවන් කියලා. අනිත් කාරණය මම තවත් වතාවක් ගෝමරි වැනි චරිතයක් රඟපානව කියන්නෙ ඒක මට අභියෝගයක් නෙවෙයි. මොකද මම ඒක එක වරක් කරලා තියෙන දෙයක්නෙ.

උපුටා ගැනීම – අරුණ පුවත්පත – සුරංජි පතිරණ

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!