Gossip

“අනේ තාත්තේ අපිට මෙහෙම කරන්න එපා කියලා පින්සේණ්ඩු වෙන්න මම නම් යන්නේ නැහැ. මම දැන් ඉන්නේ තාත්තා නඩු දානකම්”

වික්ටර් රත්නායකයන්ගේ දෙවැනි විවාහයත් සමඟ විවිධ පාර්ශවවලින් ඔහුට චෝදනා එල්ල වුණා.
මේ ගැන වැඩියෙන්ම කතාබහ ඇතිවෙන්න පටන් ගත්තේ ඔහුගේ පුතුන් දෙදෙනා සිදුකළ ප්‍රකාශ නිසා.
ඔවුන්ගේ විරෝධය මැද සිදුවූ මේ විවාහය නිසා ඔවුන්ට විශාල අසාධාරණයක් සිදුවුණා කියලයි ඔවුන් කිව්වේ.
කොහොම හරි දැන් ලෙලුම් රත්නායකට එන්තරවාසියකුත් ඇවිත්.
මේ ඒ ගැන ඔහු සතිඅන්ත පුවත්පතකට කියූ කතාවයි.

මොකක්ද මේ ඔබටයි ලෙලුම්ටයි එව්වා කියන එන්තරවාසිය?
තාත්තගේ ගීත පාවිච්චි කරලා මුදල් හම්බ කරන්න එපා කියලා නීතිඥයෙක්ගේ මාර්ගයෙන් මටයි මල්ලිටයි එන්තරවාසියක් එවලා තියෙනවා. දැන් තාත්තාව මෙහෙයවන්නේ තාත්තා ළඟ ඉන්න ගැහැනු කෙනා. ඒ නිසා තාත්තා අසරණ වෙලා තියෙනවා.

මේ එන්තරවාසිය සම්බන්ධයෙන් මොන වගේ ක්‍රියාමාර්ගයක්ද ගන්න ඉන්නේ?
මේ එවපු ලිපිය ගැන මම තාත්තාගේ සමීපයේ ඉන්න විද්වත් කිහිපදෙනෙක්ට කිව්වා. ඒ අයගෙන් මම ඇහුවා දැන් මම මොකද කරන්නේ කියලා. ඒ අය හැමෝම කිව්වා, තාත්තාගේ ගීත කියන එක නවත්වන්න එපා. තාත්තාට නඩු දාන්න කියන්න කියලා. නඩු දැම්මට පස්සේ තාත්තා කොයි වගේ කෙනෙක්ද කියලා මිනිස්සු තේරුම් ගනියි කිව්වා. මමත් දැන් ඉන්නේ තාත්තා නඩු දානකල්. මම බලෙන් එයාගේ සිංදු කිය කිය යන්නේ නෑ. හැබැයි අවශ්‍ය වුණොත් මම තාත්තාගේ ගීත නොකියා ඉන්නෙත් නෑ.

ඒ කියන්නේ තාත්තාගේ ගීත ඉදිරියටත් පාවිච්චි කරනවාද?
තාත්තාගේ ගීත මගේ ජීවිකාව කරගෙන නැහැ. අපි එහෙම කරන්න හිතලා නැහැ. නමුත් තාත්තා විවාහ කරගත්ත ගැහැනු කෙනාගේ හිතේ ඇති ඒ දේවල් අයිති කරගන්න. එයා ආවෙත් තාත්තාගේ දේවල් කඩා වඩා ගන්නනේ. තාත්තාගේ ගීතවලින් තව ගාණක් හොයා ගන්න පුළුවන් කියලා එයා තමයි ඔය සැලසුම් ක්‍රියාත්මක කරන්නේ.

එන්තරවාසිය සම්බන්ධයෙන් තාත්තාගෙන් අහලා බැලුවේ නැද්ද?
මේ අවුරුද්දේ මාර්තු 01 වැනිදා තාත්තා අපිට කිව්වේ ‘උඹලාගෙයි මගෙයි සියලු සම්බන්ධකම් ඉවරයි. මගේ මරණයටවත් එන්න එපා. උඹලා ඉන්න වේදිකාවකවත් සිංදු කියන්නේ නෑ’ කියලා. මම තාත්තාගේ ප්‍රසංග සංගීතවත් කරලා තමයි ප්‍රධානව කීයක් හරි හම්බ කළේ. මාස දහයක් තිස්සේ මට තාත්තාගේ ප්‍රසංගවලට සම්බන්ධ වෙන්න බැරිවුණා. දැන් තාත්තා නිසා මගේ ජීවනෝපාය නැතිවෙලා තියෙනවා. තාත්තා කෙනෙක් මොන තරහක් තිබ්බත් ඔය වගේ දේවල් කරන්නේ නැහැ.

තාත්තාව මුණ ගැහිලා මේ ප්‍රශ්න නිරාකරණය කර ගත්තොත් හොඳයි නේද?
තාත්තානේ අපිට කතා කරලා මීට පස්සේ සම්බන්ධකම් නැහැ කියලා කිව්වේ. එයා කාගේ හරි කීමකට හරි අපිට එහෙම කිව්වනේ. අපිටත් කොන්දක් තියෙනවා ‘අනේ තාත්තේ අපිට මෙහෙම කරන්න එපා’ කියලා පින්සෙණ්ඩු වෙන්න මම නම් යන්නේ නැහැ. තාත්තාට තිබුණ කොන්ද අපිටත් තාම තියෙනවා. මම කොන්ද නමන්නේ නැහැ. හැම දෙයක්ම අයින් කරගෙන අපි එකතු වෙලා වැඩ කරමු කියලා, අපි ගැන දුකක්වත් ඇති වෙලා තාත්තා කිව්වොත් අපි එකඟයි. නමුත් මේ ළඟදී තාත්තගේ මිත්‍රයෙක් වුණ සරත් සේනාරත්න තාත්තාට ගිහින් අපිට ඇතිවෙලා තියෙන ප්‍රශ්නය කියලා තිබ්බා. ඒ වෙලාවේ තාත්තා කිව්වලු හොඳ වැඩේ ඔවුන්ට ඔහොම වෙලා මදි කියලා.

තාත්තා එකතු වෙලා වැඩ කරමු කිව්වොත් සියලු ප්‍රශ්න අමතක කරනවාද?
ප්‍රසංගවලට සම්බන්ධ වෙලා කීයක් හරි හොයා ගන්න ඉඩ දුන්නොත් ලොකු පිනක්. හැබැයි ඒ ගැහැනු කෙනා අපේ පවුලේ කෙනෙක් කියලා මම පිළිගන්නේ නැහැ. කොහොමත් අපි එයාව ප්‍රතික්ෂේප කරනවා. අපි එකට වැඩ කරමු කියලා කතා කළොත් අපි තාත්තාට පිටුපාන්නේ නැහැ.

කිව්ව විදියටම තාත්තා දරුවෝ එක්ක තිබ්බ සියලු සම්බන්ධකම් නැවැත්තුවාද?
තාත්තාගේ ගෙදර තිබ්බ අපි පොඩි කාලේ ගත්ත පින්තූර. අම්මා, තාත්තා අපි ඉන්න ඡායාරූප, අපේ වෙඩින් ෆොටෝ, අපේ දරුවන්ගේ ෆොටෝ රාක්කයක් තිබ්බා. තාත්තාගේ ගෙදර තිබ්බ අපේ ඡායාරූප කුණු මල්ලක දාලා නගර සභාවේ කුණු ලොරියකට දාලා තියෙනවා. මගේ මියගිය නංගිගේ සැමියාට නගර සභාවේ අය ඒ ඡායාරූප ටික ගිහින් දීලා තිබුණා.

මීට කලින් ගීතවල අයිතිය ඔබට පවරලා තිබුණා නේද?
2013දී තාත්තා ඒක මට ලිව්වා. තාත්තාගේ ගීතත්, තාත්තා වෙන අයට නිර්මාණය කළ ගීත සම්බන්ධ අයිතියත් මට පැවැරුවා. නමුත් ඒක අයින් කරගන්න නම් තාත්තා ඔප්පු කරලා පෙන්නන්න ඕන ළමයි එයාට සැලකුවේ නැහැ කියලා. නමුත් තාත්තාට එහෙම පෙන්වන්න බැහැ.

ඒ ඇයි?
මොකද තාත්තාගේ 75 වැනි උපන් දිනය වෙනුවෙන් තිබ්බ ප්‍රසංගය සංගීතවත් කළෙත් මම. 75 වැනි උපන් දිනය වෙනුවෙන් පවත්වපු දේවල් ගැන සාකච්ඡා කළේ මගේ නංගිගේ ගෙදර. මල්ලිත් ඒකට උදවු කළා.

හැබැයි දරුවෝ වික්ටර් රත්නායක මහත්මයාට සැලකුවේ නෑ කියලත් කතාවක් පැතිරෙනවා?
ඔව්. එහෙම රාවයක් ගිහින් තියෙනවා. අපි තාත්තාට සැලකුවේ නෑ කියන්නේ අමූලික බොරුවක්. තාත්තාව ළඟින් ඇසුරු කළ බොහෝ දෙනෙක් දන්නවා අපි තාත්තාට සලකපු විදිය. අපි වැරැද්දකට කළේ තාත්තා විවාහ කරගත්ත ගැහැනු කෙනාට විරුද්ධ වීම විතරයි.

වික්ටර් රත්නායක මහත්මයා පුතාලට හොඳට සැලකුවා කියලා තමයි හැමෝම කියන්නේ?
මම දැන් ඉන්නේ මාලඹේ ගෙයක් හදාගෙන. ඒවා ඔක්කොම වගේ බිරියගේ තාත්තගෙන් ලැබුණු දේවල්. මගේ තාත්තාගෙන් ඒ දේවල් ලැබුණේ නැහැ. මගේ මල්ලිට කෝටි දෙකක් වටිනා මහ ගෙදර ලැබුණා. මට එහෙම දෙයක් ලැබුණේ නැහැ තාත්තාගෙන්. සීයයි, ආච්චියි දැන් ගොඩක් කාලෙකට කලින් දීපු ගෙයක් විකුණලා මගේ වෙඩින් එකට ගිය ගාණ තාත්තා කපාගෙන ලක්‍ෂ අටක් විතර මට දුන්නා. ඒ කාලේ ආදර පූජාසනේ කියලා සී.ඩී. එකක් තාත්තා මුදල් වියදම් කරලා කළා.වෙන තාත්තලා තමන්ගේ දරුවන්ට ස්ථාවරයක් හදලා දෙනවා. ඒත් අපේ තාත්තා එහෙම ලොකු දෙයක් කළේ නැහැ. එහෙම කළේ නැහැ කියලා ප්‍රශ්නයකුත් නැහැ.

හැබැයි තාත්තා එක්ක එකතු වෙලා ප්‍රසංගවලට සම්බන්ධ වෙලා හොඳ පසුබිමක් හදාගන්න ලැබුණා නේද?
තාත්තාගේ ප්‍රසංගවලට අපි සම්බන්ධ වෙලා උදවු කළා මිසක් අපේ ප්‍රසංගවලට තාත්තා උදවු කළේ නැහැ. එයාගේ වැඩ ගොඩදාගන්න අපි ගොඩක් උදවු කළා. රෝහණ වීරසිංහ මහත්මයා මේ ළඟදී මට හම්බවෙලා පැත්තකට කතා කරලා “පුතේ තාත්තගේ 76 වැනි උපන් දින ප්‍රසංගයේ සංගීත කටයුතු මට භාර දුන්නා. ඒක මම කළාට පුතා තරහා වෙන්නේ නෑ නේද?” කියලා ඇහුවා. ඒ අයත් දන්නවා තාත්තා ගත්ත තීරණය වැරැදියි කියලා.

දැන් ජයන්ත ජීවනෝපාය සලසා ගන්නේ කොහොමද?
බිරියගේ තාත්තාගෙන් ලැබුණ ගේ මම ලබන සතියේ විකුණනවා. මම මගේ දරුවන්ගෙ අධ්‍යාපන කටයුතු ගැන බලන්න ඕන. මගේ දුවයි, පුතයි දෙන්නම උසස් අධ්‍යාපනය ලබනවා. එයාලා කැමැති පැතිවලින් ඉදිරියට යවන්න මම උපරිම උත්සාහ කරනවා. ඒ නිසා අපේ ඉඩම විකුණලා ළමයින්ගේ අධ්‍යාපනයට අවශ්‍ය මුදල් ටික වෙන් කරලා ඉතිරි මුදලක් තිබ්බොත් බැංකුවට දාලා ඒකෙන් එන මුදලකින් කුලියට ජීවත් වෙන්න ගෙයක් ගන්න තමයි කල්පනාව.

වෙනත් වැඩවලට සම්බන්ධ වෙන්නත් බැරිද?
මට ඉස්සරහට වැඩ ලැබෙයිද නැද්ද කියලා විශ්වාස නැහැ. මොකද අද තියෙන්නේ මහ මෝඩ සමාජයක්. වික්ටර් රත්නායක ඕන වැරැදි දෙයක් කළාට ප්‍රශ්නයක් නැහැ. ළමයි සලකන්නේ නැති නිසා තාත්තා විවාහයක් කරගත්තා කියලානේ කතාව ගිහින් තියෙන්නේ. ඒ කතා බොරු වුණත් එහෙම කතා යන නිසා සමහරු අපිට වැඩ දෙන්නේ නැහැ. අපේ වැඩවලට අනුග්‍රහය දෙන්න කවුරුත් කැමැති නැහැ. වික්ටර්ට සලකපු නැති පුතාලා කියලා තමයි එහෙම කරන්නේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!